වනිඳුගෙන් තවත් මාලිංග කෙනෙක්ව දකින මහේල

T20 World cup 2022

1084

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පසුගිය විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ අතර, මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ දී ද විශාල කාර්‍යභාර්‍යයක් තම කණ්ඩායමට ඉටු කළා.

මේ සියල්ලම ශ්‍රී ලංකාවේ නවතම සුපිරි තරුවකගේ ආගමනයක් සිදු වීමේ ආරම්භක පියවර ලෙස හඳුන්වා දිය හැකි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් The ICC Review වැඩසටහන සමඟ එක් වෙමින් වනිඳු හසරංගගේ මේ නැගී සිටීම සම්බන්ධයෙන් සහ ඔහුගේ ක්‍රීඩා දිවියේ මුල් අවදිය මෙන්ම ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින වර්තමානය ද, ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වන ලසිත් මාලිංග හා සමාන වන බවට ද අදහස් පළ කළා.

හසරංග මේ වසරේ දී ඉතා ඉහළ දස්කම් පෙන්වමින් සිටින අතර විශේෂයෙන්ම 2021 වර්ෂයේ විස්සයි විස්ස ලෝක කුසලානයේ දී වැඩිම කඩුලු ලාභියා වූ වනිඳු, ඒ සමඟින්ම ඉතා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ද දිනා ගැනීමට සමත් වුනා.

එම දස්කම් 2022 වසරේ දී ද නොකඩවා පවත්වා ගැනීමට සමත් වූ ඔහු 2022 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමේ දී පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද විශාල දායකත්වයක් ලබා දුන්නා.

තරගාවලියේ අවසන් තරගයේ දී ලකුණු 26කට බිඳ හෙළු කඩුලු 3ත් සමඟින් තරගාවලියේ දෙවැනියට වැඩිම කඩුලු ලාභියා ලෙස කඩුලු 9ක් බිඳ හෙළු වනිඳු, එම තරගාවලියේ දී සිය තුන් ඉරියව් දස්කම් ද ප්‍රදර්ශනය කළේ මුළු ලකුණු 66ක් රැස් කරමින්. එයින් ලකුණු 36ක් ම අවසන් මහා තරගයේ දී රැස් කළ ඒවා වීම ද විශේෂත්වයක්.

වනිඳුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ නවතම සංධිස්ථානය ලෙස එම තරගාවලියේ වීරයා බවට පත් වීම හඳුන්වා දිය හැකි අතර, ඔහු අත්‍යාවශ්‍යම මොහොතේ දී තරග දිනවන්නෙක් ලෙස (player for the big occasion) කටයුතු කරන බවට කීර්ති නාමයක් දිනා ගනිමින් සිටී.

මහේල ජයවර්ධන පවසන්නේ මේ සියලු දක්ෂතා සමඟින් වනිඳුට නායකත්ව ගුණාංග ද ඇති බවයි.

“පසුගිය මාස 12 දී තමන් පන්දු යවන්නෙක් විදිහට විතරක්ම නෙවෙයි, පිතිකරුවෙක් විදිහටත් පරිණත බව වනිඳු ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුවා. අසීරු අවස්ථාවල දී ඔහු එනවා, ඔහුගේ උපරිමය ලබා දෙනවා,” ICC Review වෙත අදහස් දැක්වූ ජයවර්ධන එලෙස පවසා තිබුණා.

“නායක හෝ උපනායක තනතුරක් නොමැතිව වුවද, කණ්ඩායමේ සිටින නවක ක්‍රීඩකයින්ට නායකයකු මෙන් ගුරුහුරුකම් ලබා දීමට ඔහු ඇප කැප වී සිටිනවා,” මහේල වනිඳුගේ නායකත්ව ලක්ෂණ පිළිබඳ පැහැදිලි කරමින් පවසා තිබුණා.

වනිඳුගේ සහෝදරයා මෙන්ම, මහේලගේ කණ්ඩායම් සගයා වූ චතුරංග ද සිල්වා නිසා වයස අවුරුදු 19 පටන් මහේල වනිඳුව හොඳින් දැන හඳුනා ගෙන තිබෙනවා.

“ඇත්තම කියනවා නම් වනිඳු අපිට වඩා ගොඩක් ලාබාලයි. නමුත් ඔහුගේ සහෝදරයා අපි ක්‍රිකට් ක්‍රීඩා කරන කාලයේ දීත් ක්‍රීඩා කළා. අපි ක්‍රීඩා කරන කාලයේ දී වනිඳු 19න් පහළ ක්‍රීඩා කරමිනුයි සිටියේ, පසුව අපි ක්‍රීඩාවෙන් සමුගනිද්දියි ඔහු පළමු පෙළ තරග ක්‍රීඩා කරන්න පැමිණෙන්නේ.

අපි දැන ගෙන හිටියා මෙයාට පන්දු යවන්න වගේම පිතිකරණයේ යෙදෙන්නත් පුළුවන් බව, නමුත් අපි කිසිසේත්ම දැන ගෙන හිටියේ නැහැ ඔහු මේ තරම් දක්ෂ පන්දු යවන්නෙක් බවට පත් වෙන්න පුළුවන් අයෙක් බව. මම කියන්නේ මුල් කාලයේ දී ඔහු මේ තරම් තියුණු ක්‍රීඩකයෙක් බව පෙනුණේ නැහැ, නමුත් හැම වෙලාවකට ඔහුට තරගයක් වෙනස් කළ හැකි සාධකය වීමට හැකියාව තිබුණු බව නම් පෙනුණා.

ඒ හැකියාව නිසායි ඔහු ළාබාල වියේ දී ම, විශේෂයෙන්ම සීමිත ඕවර තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එකතු

පොඩි තැනකින් පටන් ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට්වල ප්‍රධාන තුරුම්පුව වන ගමනේ ලසිත් මාලිංග සහ වනිඳු හසරංග යන දෙදෙනාගේම සමානකම් දකින බව ද මහේල පවසනවා.

“ඔහුත් මාලිංග වගේම දකුණු පළාතේ ගාල්ලෙන් බිහි වී (මාලිංගගේ නිවෙස් වලට ආසන්න ප්‍රදේශයකම) මාලිංගට සමාන හැසිරීම් රටාවක් ද පෙන්වන අයෙක්.

ක්‍රීඩාගාරයේ (dressing room) මුල්ලකට වී හිඳිමින් නිහඬව ක්‍රීඩා දිවිය ආරම්භ කළ ඔවුන් ටිකෙන් ටික වර්ධනය වුනා. කොණ්ඩ මෝස්තර වෙනස් වෙමින්, ටැටූස් එකින් එක වැඩි වෙමින් ඔවුන් දෙදෙනාම කෙමෙන් ඉදිරියට ආ ගමන එක හා සමානයි.

වනිඳුගේ මේ ගමන් මග ලසිත් දියුණු වූ ආකාරයට ඉතාමත් සමානයි. ක්‍රීඩකයෙකු ලෙස වනිඳුගේ මේ දියුණුව මා දකින්නේ එලෙසයි.”

ජයවර්ධන පවසන ආකාරයට මොවුන් දෙදෙනාගේම ලොකුම සමානාත්මතාවය ඔවුන්ගේ තරගකාරීත්වයයි.

“වැදගත්ම දේ තමයි ක්‍රීඩා පිටිය තුලට ගියායින් පසුව ලසිත්ගේ වගේම ඔහුගේත් තියෙන තරගකාරීත්වය. මම ඔහුගේ වැඩියෙන්ම ආදරය කරන ගුණාංගය එයයි.”

වනිඳු මේ වන විට විස්සයි විස්ස තරග රටාවේ ප්‍රමුඛ පෙළේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බවට පත්ව සිටින්නේ, විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානය, තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානය ද හිමිකර ගනිමිනුයි.

තවමත් වයස අවුරුදු 25ක් පමණක් වන මෙම ‍යෞවනයා සතු හැකියාව අසීමිතයි.

“ඔහු තවම තරුණයි, ඉදිරියේ දී තවත් ගොඩ කාලයක් ඔහුට ක්‍රීඩා කිරීමට ඉතුරුයි, වැදගත්ම දේ ඔහු ඉදිරියේ දීත් තමන්ගේ කාර්‍යභාර්‍යය තේරුම් ගෙන ක්‍රීඩා කිරීමයි, එමෙන්ම තරගකාරී වීමයි,” යනුවෙන් මහේල වනිඳුගේ අනාගතය වෙනුවෙන් සිය හැඟීම් ගොනු කර සිටියා.

තවත් මෙවැනි ක්‍රීඩාවේ උණුසුම් තතුවිත්ති ඔබ හා සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC නිල වෙබ් පිටුව ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<