ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ අසුනක් වෙන්කර ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වෙනවා. ඔවුන් මෙම අවස්ථාව දිනා ගත්නේ ඉතිහාසයේ 5 වැනි වරට වන අතර ඊට පෙර ඔවුන් 2020, 2021, 2022 සහ 2024 වසරවල අවසන් මහා තරගයට වූවා. ඒ සෑම අවස්ථාවක ම ජයග්‍රාහකයා බවට පත් වීමට ද ඔවුන් සමත් වෙනවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරග ආරම්භ කරමින් (5) පැවැති Galle Gallants සහ Jaffna Kings අතර Qualifier 1 තරගයේ දී ප්‍රසාද ලකුණු පුවරුවේ 1 වැනියා ව සිටි Galle Gallants කණ්ඩායම පරාජයට පත් කරමිනුයි ඔවුන් මෙම අවස්ථාව දිනා ගන්නේ.
>>Jaffna Kings ප්‍රසාද ලකුණු පුවරුව වෙනස් කරයි<<
Qualifier 1 තරගය, Galle Gallants සහ Jaffna Kings, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Galle Gallants
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Jaffna Kings ක්‍රීඩකයෝ ඔවුන් විසින් ම 2022 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී Dambulla Aura කණ්ඩායමට එරෙහි ව කඩුලු 4කට ලකුණු 240ක් ලබා ගනිමින් තරගමාලා ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලබා ගත් වාර්තාව බිඳ හෙළමින් මෙම තරගයේ දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 242ක් ලබා ගන්නවා.
ඊට පිළිතුරු ලෙසින් Galle Gallants කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 228ක් පමණයි.
ඒ අනුව එම තරගයෙන් ජයග්‍රහණය කරන Jaffna Kings කණ්ඩායම තරගාලියේ අවසන් මහා තරගයට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබා ගන්නා ලද අතර Galle Gallants කණ්ඩායමට එම අවස්ථාව උදාකර ගැනීමට තවත් අවස්ථාවක් හිමි ව තිබෙනවා. ඒ හෙට (7) වැනිදා පැවැත්වෙන Qualifier 2 තරගයට එක් වෙමිනුයි.
මෙම තරගයේ දී දෙපිලේ ක්‍රීඩකයෝ එක් ව ලකුණු 470ක් ලබා ගන්නා ලද අතර එය ලංකා ප්‍රිමියර් ලීග් තරගමාලාවන් හී කණ්ඩායම් ද්විත්වයක් එක් ව ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වුණා.
මීට පෙර මෙම ස්ථානයේ රැඳී තිබුණේ 2024 වසරේ දී Jaffna Kings (224/7) සහ Kandy Falcons (230/3) කණ්ඩායම් එක් ව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබා ගත් ලකුණු 454යි.
Jaffna Kings
භානුක රාජපක්ෂ (නායක), කමිල් මිෂාර (කඩුලු රකින්නා), අවිශ්ක ප්‍රනාන්දු, Khawaja Nafay, Towhid Hridoy, Shakib Al Hasan, චමිඳු වික්‍රමසිංහ, දුනිත් වෙල්ලාලගේ, Lizaad Williams, ට්‍රවීන් මැතිව්, මොහොමඩ් ශිරාස්, ඩිල්ශාන් මදුශංක.
Galle Gallants
දසුන් ශානක (නායක), Sam Harper (කඩුලු රකින්නා), Thomas Rogers, චරිත් අසලංක, චාමික කරුණාරත්න, සහන් ආරච්චිගේ, Mohammad Nawaz, දිනුර කළුපහන, තරිඳු රත්නායක, සචිඳු කොළඹගේ, Akif Javed, ඒශාන් මාලිංග.
මෙම තරගයේ දී Jaffna Kings ඉනිම ආරම්භ කළ කමිල් මිෂාර සහ අවිශ්ක ප්‍රනාන්දු එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 28ක දී ලකුණු 35ක සබඳතාවක් එක් කරමින් යහපත් ආරම්භයක් ලබා ගන්නවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ අවිශ්ක ප්‍රනාන්දු ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 14ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා සිටියා.
ඉන් අනතුරු ව කමිල් මිෂාර හා එක් වෙන්නේ Khawaja Nafay. ඔවුන් දෙදෙනා විසින් 2 වැනි කඩුල්ලට පන්දු 66ක දී ලකුණු 138ක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Khawaja Nafay ගේ දුවද්දී දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 54ක් ලබා සිටියා.
Jaffna Kings ඉනිමේ දැවී ගිය කඩුලු එපමණක් වූ අතර එම ඉනිම අවසන් වෙද්දී කමිල් මිෂාර පන්දු 55ක දී හයේ පහර 7ක් සහ හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 108ක් ලබා සිටියා. එය මෙවර තරගාවලියට එක් වූ 2 වැනි ශතකය වූ අතර කමිල් මිෂාර ගේ විස්සයි විස්ස තරග පිටියේ හොඳම ඉනිම බවට ද එය පත් වුණා.
අනෙක් අන්තයෙන් පිටියේ රැඳී සිටි Towhid Hridoy පන්දු 21ක දී හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Akif Javed ට එක් කඩුල්ලක් හිමි වූවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Galle Gallants කණ්ඩායමේ ආරම්භක කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම දැවී යනවා. ඒ අනපේක්ෂිත සිදු වීම තරගයේ තරගකාරීත්වයට විශාල බලපෑමක් නොවීමට 2 වැනි කඩුල්ලට එක් වූ Sam Harper සහ චරිත් අසලංක වගබලා ගන්නවා.
ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට පන්දු 29ක දී ලකුණු 75ක සබඳතාවක් එක් කරන්නේ ප්‍රතිවාදීන් මවිත කරමින්. එම මවිත කිරීම නිමා වෙන්නේ චරිත් අසලංක හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමඟින් පන්දු 13ක දී ලකුණු 27කට දැවී යෑමත් සමඟිනුයි.
එම දැවී යෑමෙන් අනතුරු ව තවත් ලකුණු 21ක් Galle Gallants ඉනිමට එක් වෙද්දී තවත් කඩුලු ද්විත්වයක් දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත් වෙනවා.
අනතුරු ව නැවත වතාවක් 5 වැනි කඩුල්ලට පන්දු 27ක දී ලකුණු 63ක සබඳතාවක් එක් කරමින් තරගයට ප්‍රවිශ්ඨ වීමට චාමික කරුණාරත්න සහ නායක දසුන් ශානක සමත් වෙනවා. චාමික කරුණාරත්න පන්දු 21ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 39කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටෙනවා.
දසුන් ශානක ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 19ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.
තරගය අවසන් වෙද්දී සචිඳු කොළඹගේ පන්දු 9ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ද සහ දිනුර කළුපහන පන්දු 15ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 22ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා එක් ව පරාජිත ඉනිමේ 9 වැනි කඩුල්ලට පන්දු 14ක දී නොදැවුණ ලකුණු 38ක සබඳතාවක් එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී මොහොමඩ් ශිරාස් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර Lizaad Williams කඩුලු 2ක් ද, Shakib Al Hasan, දුනිත් වෙල්ලාලගේ සහ ඩිල්ශාන් මදුශංක කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Jaffna Kings – කඩුලු 2ක් දැවී 242 (20.0) කමිල් මිෂාර නොදැවී 108, Khawaja Nafay 54, Towhid Hridoy නොදැවී 54
Galle Gallants – කඩුලු 8ක් දැවී 228 (20.0) Sam Harper 44, චරිත් අසලංක 27, චාමික කරුණාරත්න 39, දසුන් ශානක 34, දිනුර කළුපහන නොදැවී 22, සචිඳු කොළඹගේ නොදැවී 27, මොහොමඩ් ශිරාස් 3/32, Lizaad Williams 2/39
Jaffna Kingsකණ්ඩායමට ලකුණු 14ක ජයක්.
තරගයේ වීරයා – කමිල් මිෂාර (Jaffna Kings)
- කෝඩුකාර සංජනා පාකිස්තානය පාලනය කරයි
- Galle Gallants නැවතත් පළමු ස්ථානයට
- ලහිරු උදාර තරගාවලියේ මංගල ශතකය ලබා ගනී
- ඉන්දීය යෞවනයෝ තරගාවලිය 1-0කින් ජය ගනී
- කණ්ඩායම් 5ක්: එක් කුසලානයක්: LPL අද සිට…
Eliminator තරගය, Colombo Kaps සහ Kandy Royals, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Colombo Kaps
මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් Colombo Kaps ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 203ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Kandy Royals කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 135ක් පමණයි.
ඒ අනුව තරගයෙන් ලකුණු 68ක ජයග්‍රහණයක් ලත් Colombo Kaps කණ්ඩායම තරගාවලියේ Qualifier 2 තරගයට සුදුසුකම් ලබා ගන්නා ලද අතර Kandy Royals කණ්ඩායම ලත් පරාජයත් සමඟින් ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූවා.
Colombo Kaps
කමිඳු මෙන්ඩිස් (නායක), Rubin Hermann, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), Ben McDermott, ජනිත් ලියනගේ, James Neesham, මල්ෂ තරුපති, මිලාන් රත්නායක, වනුජ සහන්, Mujeeb Ur Rahman, බිනුර ප්‍රනාන්දු සහ Shahnawaz Dahani.
Kandy Royals
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ලහිරු උදාර, පවන් සංදේශ්, Dale Phillips, කුසල් පෙරේරා (කඩුලු රකින්නා), Iftikhar Ahmed, වනිඳු හසරංග, Vijay Shankar, Shaheen Shah Afridi, ගරුක සංකේත්, නුවන් තුෂාර සහ Zahir Khan.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Colombo Kaps ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Ben McDermott. ඔහු පන්දු 39කට මුහුණ දෙමින් හයේ පහර 7ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තා.
ඊට අමතර ව ඉනිම අවසන් වෙද්දී James Neesham පන්දු 23ක දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 42ක් ද, ජනිත් ලියනගේ පන්දු 19ක දී හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 32ක් ද සහ නායක කමිඳු මෙන්ඩිස් පන්දු 16ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 28ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී නුවන් තුෂාර, Zahir Khan සහ Shaheen Shah Afridi කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි Kandy Royals කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ලහිරු උදාර සහ පවන් සංදේශ් සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 26ක දී ලකුණු 44ක සබඳතාවක් එක් කරනවා.
එම ලකුණු සබඳතාව බිඳ වැටෙන්නේ පවන් සංදේශ් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියා. ලහිරු උදාර ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා.
අනෙකුත් පිතිකරුවන් අතුරින් Iftikhar Ahmed පන්දු 12ක දී හයේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ද සහ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 10ක දී හයේ පහරක් සමඟින් ලකුණු 14ක් ද ලබා ගත් අතර අනෙක් සියලු පිතිකරුවන්ගේ ඉනිම් තනි ඉලක්කමේ ලකුණකට සීමා වූවා.
කඩුලු දවා ගැනීමේ දී වනුජ සහන් තම පන්දුවාර 4 ලකුණු 8කට සීමා කරමින් කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Shahnawaz Dahani, මල්ෂ තරුපති, මිලාන් රත්නායක සහ Mujeeb Ur Rahman කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Colombo Kaps – කඩුලු 7ක් දැවී 203 (20.0) Ben McDermott 71, කමිඳු මෙන්ඩිස් 28, ජනිත් ලියනගේ 32, James Neesham නොදැවී 42, Shaheen Shah Afridi 2/39, නුවන් තුෂාර 2/31, Zahir Khan 2/32
Kandy Royals – සියලුම දෙනා දැවී 135 (18.4) ලහිරු උදාර 50, පවන් සංදේශ් 21, Shahnawaz Dahani 2/16, Mujeeb Ur Rahman 2/41, වනුජ සහන් 2/08, මල්ෂ තරුපති 2/23, මිලාන් රත්නායක 2/23
Colombo Kaps කණ්ඩායමට ලකුණු 68ක ජයක්.
තරගයේ වීරයා – වනුජ සහන් (Colombo Kaps)
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (06) විවේකී දිනයක් වන අතර හෙට (7) තරගාවලියේ Qualifier 2 තරගය ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා Eliminator තරගය ජයගත් Colombo Kaps සහ Qualifier 1 තරගයෙන් පරාජයට පත් Galle Gallants කණ්ඩායම් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේ දී තරග වැදීමට නියමිතයි.
එම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම 2026 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා අතර ඔවුන්ට මේ වෙද්දීත් අවසන් මහා තරගය සුදුසුකම් ලබා සිටින Jaffna Kings කණ්ඩායම සමඟින් මේ මස 8 වැනි දා මෙම ක්‍රීඩාංගණයේ දී ම අවසන් මහා තරගයට එක් වීමට වරම් ලැබෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















