Home Sinhala කුසල්ගේ වාර්තාගත ඉනිම දඹුල්ලේ ජයග්‍රහණය ස්ථිර කරයි

කුසල්ගේ වාර්තාගත ඉනිම දඹුල්ලේ ජයග්‍රහණය ස්ථිර කරයි

LPL 2023

6915

2023 LPL තරගාවලියේ ඉහළ ලකුණු වාර්තා වූ තවත් තරගයක් Dambulla Aura සහ Colombo Strikers කණ්ඩායම් අතර අද (05) පැවැත්වුණා.

තරගාවලියේ 08 වැනි තරගය ලෙස නුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයෙන් ලකුණු 10ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට Dambulla Aura සමත් වුනා.

මෙම තරගයේ කාසියේ වාසිය Strikers නායක නිරෝශන් දික්වැල්ල සතු වූ අතර, ඔහුගේ ආරාධනය අනුව Dambulla Aura ආරම්භක පිතිකරු යුගලය ලෙස නායක කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු පිටියට පිවිසුණා.

ඔවුන් දෙදෙනාගේ ආරම්භක කඩුල්ලේ සබඳතාව නම් එතරම් සාර්ථක මට්ටමක නොපැවතුණු අතර, අවිශ්ක ලකුණු 12ක් පමණක් ලබා ගෙන සිටිය දී මතීෂ පතිරණගේ පන්දුවකට ධනංජය ලක්ෂාන් අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියා.

දඹුල්ල ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 24ක දී දැවී ගිය නමුත් එතැන් පටන් පිටියේ එක් වූ සදීර සමරවික්‍රම සහ කුසල් මෙන්ඩිස් විසින් දඹුල්ල ඉනිම ගොඩ නැංවීමට සමත් වුනා.

මෙහි දී සදීර සහ කුසල් විසින් පන්දු 64ක් තුළ ලකුණු 120ක සබඳතාවක් පැවැත්වීමට සමත් වීම විශේෂත්වයක්. නමුත් මෙම සබඳතාව ගොඩ නැංවීමට Strikers පන්දු රකින්නන් විසින් ද නොමද සහයක් ලබා දුන් බව විශේෂයෙන් සඳහන් කළ යුතුමයි.

එමෙන්ම දඹුල්ල ඉනිමේ 10 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවට ලකුණු 37ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් විසින් එල්ල කළ පහරක් ජෙෆ්රි වැන්ඩර්සේ විසින් උඩපන්දුවක් ලෙස රැක ගත් බවට ඉල්ලීම් කර ද. එය නොදැවුණු අවස්ථාවක් ලෙස තරගයෙ තෙවන විනිසුරු විසින් සටහන් කිරීමත් සමඟ කුසල්ට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව ලැබුණා. කෙසේ වෙතත් එය දැවී යාමක් ද, නැද්ද යන කරුණ තරමක විවාදයකට තුඩු දෙන අන්දමේ එකක් බව පෙනී ගියා.

කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් නිල වශයෙන් දවා ගැනීමේ ගෞරවය හිමි වුනේ Naseem Shah හටයි. නමුත් ඒ වන විට කුසල් විසින් දඹුල්ල ඉනිම වෙනුවෙන් සිය වගකීම උපරිමයෙන් ඉටු කර තිබුණේ පන්දු 46කින් ලකුණු 87ක් ලබා ගැනීමට සමත් වෙමිනුයි. කුසල්ගේ මෙම ඉනිම වෙනුවෙන් දැවැන්ත හයේ පහර 8ක් සහ හතරේ පහර 4ක් ද අන්තර්ගත වී තිබුණා.

මීට අමතරව සදීර විසින් ද දඹුල්ල වෙනුවෙන් වේගවත් අර්ධ ශතකයක් රැස් කරමින් පන්දු 35කින් ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වුනා. කුසල් සහ සදීර යුගලය ඉනිමේ 17 වැනි පන්දුවාරය නිමා වන විට දැවී ගොස් තිබූ අතර ඉනිමේ ලකුණු සංඛ්‍යාව 164ක රැඳී පැවතුණා. කෙසේ වෙතත් ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය යොමු කිරීමේ වගකීම අකුරට ඉටු කළ Naseem සහ මතීෂ පතිරණ විසින් දඹුල්ල ඉනිම ලකුණු 200 සීමාව පසු කර යෑම නතර කිරීමට සමත් වුනා.

මෙහි දී Naseem විසින් සිය පන්දුවාර 4 තුළ ලකුණු 21කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වූ අතර, මතීෂ විසින් සිය පන්දුවාර හතර තුළ ලකුණු 31ක් ලබා දෙමින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඔවුන් දෙදෙනා හැරෙන්නට එකඳු Strikers පන්දු යවන්නෙකු හෝ පන්දුවාරයකට ලකුණු ලබා දීමේ වේගය 8න් පහළ තබා ගැනීමට සමත් නොවීමත් විශේෂත්වයක්.

මේ අනුව නියමිත පන්දුවාර 20 නිමා වන විට කඩුලු 6ක් දැවී ලකුණු 192ක් සිය ලකුණු පුවරුවේ සටහන් කර ගැනීමට දඹුල්ල කණ්ඩායම විසින් සමත් වුනේ මෙවර තරගාවලියේ ඉනිමක වාර්තා වූ වැඩිම ලකුණු වාර්තාව ද තමන් සතු කර ගනිමිනුයි.

දඹුල්ල විසින් ලබා දුන් මෙම දැවැන්ත ඉලක්කය හඹා යාමට Strikers ආරම්භක පිතිකරු යුගලය ලෙස නිරෝශන් දික්වැල්ල සහ Babar Azam පිටියට පිවිසුණු නමුත් ඔවුන්ගේ ද ආරම්භය එතරම් සාර්ථක එකක් බවට පත් වුනේ නැහැ.

දික්වැල්ල ලකුණු 16කට දැවී යාමෙන් Strikers කඩුලු බිඳ වැටීම ආරම්භ වුනා. කෙසේ වෙතත් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක සහ Babar විසින් ලකුණු 62ක් එක් කිරීමට සමත් වුනා.

මෙහි දී Babar විසින් පන්දු 24ක් පමණක් වැය කරමින් ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වුනත්, අනෙක් පසින් පිතිකරණයේ යෙදුණු පැතුම්ට එතරම් හොඳින් සිය ඉනිම ගොඩ නැංවීමට හැකියාව ලැබුණේ නැහැ. පැතුම් පන්දු 28ක් වැය කරමින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 22ක් පමණයි.

ඔවුන් දෙදෙනා ම ඉනිමේ ලකුණු සංඛ්‍යාව 108ක් වන විට නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට දඹුල්ල පන්දු යවන්නන් විසින් සමත් වුනා. නමුත් එතැන් පටන් පිටියේ එක් වූ නුවනිඳු ප්‍රනාන්දු සහ ධනංජය ලක්ශාන් විසින් Strikers ඉනිම ජයග්‍රාහී මාවතක් රැගෙන ඒමට වටිනා උත්සාහයක් දැරුවා. කෙසේ වෙතත් ලක්ෂාන්ගේ ඉනිම ද ලකුණු 18කට නිමා වුනා.

මේ අතර නුවනිඳු ප්‍රනාන්දු විසින් පන්දු 39ක් තුළ හයේ සහ හතරේ පහර 4 බැගින් ලබා ගනිමින් ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු Strikers ඉනිම අවසන් වන තුරු නොදැවී කඩුල්ලේ ද රැඳී සිටියා.

නමුත් ඔහුට හෝ ඔහුගේ සහයට පිටියේ අනෙක් පස රැඳී සිටි චාමික කරුණාරත්න (පන්දු 7කින් ලකුණු 20) හට තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට හැකියාවක් ලැබුණේ නැහැ.

මෙහි දී දඹුල්ල වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වීමට සමත් වූ Noor Ahmad විසින් ලකුණු 34කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

Colombo Strikers ඉනිමේ නියමිත පන්දුවාර 20 අවසන් වන විට ඔවුන් ලබා ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 182ක් පමණයි.

  • Dambulla Aura – 192/6 (20) කුසල් මෙන්ඩිස් 87, සදීර සමරවික්‍රම 59, මතීෂ පතිරණ 3/31, Naseem Shah 2/21
  • Colombo Strikers – 182/4 (20) නුවනිඳු ප්‍රනාන්දු 56, Babar Azam 41, Noor Ahmad 2/34, ධනංජය ද සිල්වා 1/25

මෙම තරගයේ දී මෙවර තරගාවලියේ මෙතෙක් ක්‍රීඩකයෙකු විසින් ඉනිමක දී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වුනා.

මේ අතර මෙම තරගය ජයග්‍රහණය කිරීමත් සමඟින් 2023 LPL ලකුණු සටහනේ තෙවැනි ස්ථානය Dambulla Aura කණ්ඩායමට හිමි වූ අතර Colombo Strikers එහි සිව් වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මීට අමතරව තරගාවලියේ තවත් තරගය මේ වන විට Jaffna Kings සහ B-Love Kandy කණ්ඩායම් අතර පැවැත්වෙනවා.

එම තරගයේ තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Result


Colombo Strikers
182/4 (20)

Dambulla Aura
192/6 (20)

Batsmen R B 4s 6s SR
Avishka Fernando c Lakshan Sandakan b Matheesha Pathirana 12 18 1 1 66.67
Kusal Mendis c Babar Azam b Naseem Shah 87 46 4 8 189.13
Sadeera Samarawickrama b Chamika Karunaratne 59 35 7 1 168.57
Kusal Janith b Matheesha Pathirana 2 3 0 0 66.67
Dhananjaya de Silva not out 15 7 2 0 214.29
Alex Ross b Naseem Shah 4 7 0 0 57.14
Hayden Kerr b Matheesha Pathirana 0 2 0 0 0.00
Hasan Ali not out 6 2 1 0 300.00


Extras 7 (b 0 , lb 1 , nb 0, w 6, pen 0)
Total 192/6 (20 Overs, RR: 9.6)
Bowling O M R W Econ
Naseem Shah 4 0 21 2 5.25
Chamika Karunaratne 4 0 55 1 13.75
Mohammad Nawaz 3 0 37 0 12.33
Matheesha Pathirana 4 0 31 3 7.75
Jeffrey Vandersay  4 0 33 0 8.25
Dhananjaya Lakshan 1 0 14 0 14.00


Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c Sadeera Samarawickrama b Dhananjaya de Silva 16 8 3 0 200.00
Babar Azam lbw b Noor Ahmad  41 24 7 0 170.83
Pathum Nissanka b Hayden Kerr 22 28 1 1 78.57
Nuwanidu Fernando not out 56 39 4 4 143.59
Dhananjaya Lakshan c Hayden Kerr b Noor Ahmad  18 15 2 0 120.00
Chamika Karunaratne not out 20 7 1 2 285.71


Extras 9 (b 0 , lb 6 , nb 1, w 2, pen 0)
Total 182/4 (20 Overs, RR: 9.1)
Bowling O M R W Econ
Hayden Kerr 4 0 27 1 6.75
Dhananjaya de Silva 3 0 25 1 8.33
Pramod Madushan 3 0 36 0 12.00
Praveen Jayawickrama 2 0 16 0 8.00
Hasan Ali 4 0 38 0 9.50
Noor Ahmad  4 0 34 2 8.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<