Home Sinhala තුන් ඉරියව් දක්ෂතා හමුවේ Falconsට තවත් පහසු ජයක්

තුන් ඉරියව් දක්ෂතා හමුවේ Falconsට තවත් පහසු ජයක්

215

LPL තරගාවලිය පුරාවට විශිෂ්ට දක්ෂතා අතර සිටින Kandy Falcons කණ්ඩායම අද (17) තවත් පහසු ජයක් ලබා ගැනීමට සමත් වුනා. ඒ Colombo Stars කඩුලු 9කින් පරාජයට පත් කරමිනුයි.

එහිදී පිතිකරණය, පන්දු යැවීම මෙන්ම Falcons කණ්ඩායමේ පන්දු රැකීම ද ඉතා ඉහළ මට්ටමක තිබීම මෙම ජයග්‍රහණයට මනා පිටිවහලක් වුනා.

අවසන් වරට ක්‍රීඩා කළ තරගයේ දී Dambulla Aura පහසුවෙන් පරාජය කළ Stars තම ජයග්‍රාහී සංයුතිය වෙනස් නොකරමින් අද තරගයට පිවිස තිබුණා. අනෙක් පසින් Falcons තම හොඳම තුරුම්පු 2ක් වන පැතුම් නිස්සංක සහ Carlos Brathwaite විවේක ගන්වා මිනෝද් භානුක සහ Oshane Thomas අද තරගය සඳහා කැඳවා තිබුණා.

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්,

Colombo Stars : නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක, නවෝද් පරණවිතාන, ඇන්ජලෝ මැතිව්ස්, Ravi Bopara, Benny Howell, Karim Janat, සුරංග ලක්මාල්, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ.

Kandy Falcons : මිනෝද් භානුක, Andre Fletcher, කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, Najibullah Zadran, Oshane Thomas, වනිඳු හසරංග, Fabian Allen, චාමික කරුණාරත්න, ඉසුරු උදාන, චමිඳු විජේසිංහ.

මීට පෙර පැවති තරග රැසක දී මුලින් පන්දු යවා ඉතාමත් හොඳ ප්‍රතිඵල අත්කරගෙන සිටි Stars නායක ඇන්ජලෝ මැතිව්ස් අද පිතිකරණය තෝරා ගැනීම කණ්ඩායමට හිතකර වුනේ නැහැ. ඔවුන්ට දෙවැනි පන්දුවේ දී ම දික්වැල්ලගේ සේවය අහිමි වුනා. පිට පිටම සිව්වැනි වරටත් දික්වැල්ල දැවී ගියේ පන්දුව කඩුල්ලේ වැදීමෙනුයි.

ඉන්පසු චන්දිමාල් සහ අසලංක අතරේ ලකුණු 34ක සබඳතාවයක් වර්ධනය වුවත් එතැන් පටන් Stars ඉනිමට කණකොකා හැඬීම ආරම්භ වනවා. එහි දී අසලංක එල්ල කළ වේගවත් ස්වීප් පහර කමිඳු මෙන්ඩිස් උඩපන්දුවක් බවට පරිවර්තනය කර ගනිද්දී, නැවත වරක් අසාර්ථක වූ නවෝද් පරණවිතාන රැස්කළේ ලකුණු 4ක් පමණයි.

Najibullah තනි අතින් රැකගත් විශිෂ්ට උඩපන්දුවක් හමුවේ ලකුණු 20ක් ලබා සිටි චන්දිමාල් දැවී යද්දී, ශරීරය තුලට පැමිණෙන පන්දුවකට කට් පහරක් එල්ල කිරීමට ගිය Ravi Bopara වේලාසනින්ම දැවී ගියේ තම වගකීම පැහැර හරිමිනුයි.

වේගවත් ඉනිම් කිහිපයක් ක්‍රීඩා කළ Benny Howell අද තමා මුහුණ දුන් ප්‍රථම පන්දුවෙන්ම දැවී යද්දී, තරගය නැරඹීමට පැමිණ සිටි Stars ප්‍රේක්ෂකයින් “Welcome Home Benny Howell” ලෙස මුද්‍රණය කර රැගෙන විත් තිබූ පුවරු නැවත හකුළන අයුරු දැක ගන්නට ලැබුණා.

මේ අනුව එක් අන්තයක සිරවුනු නායක මැතිව්ස් පසුපෙළ පිතිකරුවන් සමඟ ඉනිම ඇදගෙන යාමට උත්සාහ කළ ද, එය ලකුණු 106 දී නතර වුනා. ඒ වන විට පන්දු 38කට මුහුණ දී සිටි මැතිව්ස් ලකුණු 41ක් ලබා සිටියේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙසයි. Stars නායකයාගේ ඉනිම හතරේ පහර 4කින් සහ එක් හයේ පහරකින් හැඩ වුනා.

මෙවර තරග සමයේ වැඩිම කඩුලු ලාභියා වන Carlos Brathwaiteගේ අඩුව මැනවින් සපිරූ තවත් කොදෙව් යෝධයෙකු වන Oshane Thomas අද තීරණාත්මක කඩුලු 3ක් දවා ගත්තා. මීට අමතරව අඛණ්ඩව තුන් ඉරියව් දක්ෂතා අතර සිටින චාමික කරුණාරත්න අද කඩුලු 4ක් බිඳ හෙලුවේ ලකුණු 11ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනුයි.

ලකුණු 107ක පහසු ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි Falcons කණ්ඩායමේ මුල්ම කඩුල්ල ලකුණු 7 දී දැවී ගියා. එහි දී තර්ඩ් මෑන් කලාපයේ සිට කසුන් රාජිත රැකගත් අනර්ඝ උඩපන්දුවක් නිසා දැවී යන්නේ පැතුම් නිස්සංක වෙනුවට කණ්ඩායමට ඇතුළත් වූ මිනෝද් භානුකයි.

කෙසේ වෙතත් මීට පෙර Stars කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කරගත් Andre Fletcher අදත් තම ප්‍රියතම ප්‍රතිවාදීන්ට එරෙහිව රිසිසේ ලකුණු රැස් කිරීම ආරම්භ කළා. ඉනිම නිමා වෙද්දී පන්දු 40ක දී ඔහු ලකුණු 40ක් ලබා සිටියා. Fletcherගේ ඉනිම හතරේ පහර 4කින් සහ හයේ පහර 2කින් හැඩ වුනා.

නැවතත් ලකුණු අතරට පිවිසි කමිඳු මෙන්ඩිස් අද අර්ධ ශතකයක් වාර්තා කළේ පන්දු 48කට මුහුණ දෙමිනුයි. මේ අනුව වැඩි අවදානමක් නොගෙනම Falcons ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ තවත් පන්දුවාර 4ක්ම ඉතිරිව තිබිය දීයි. පිතිකරණයේ දී දුව යාමේ අපහසුවක් පෙන්වූ ඇන්ජලෝ මැතිව්ස් අද පන්දු යැවීමේ යෙදුණේ නැහැ.

Result


Kandy Falcons
108/1 (16)

Colombo Stars
106/10 (19.1)

Batsmen R B 4s 6s SR
Niroshan Dickwella b Isuru Udana 0 2 0 0 0.00
Dinesh Chandimal c Najibullah Zadran b Chamika Karunaratne 20 17 1 1 117.65
Charith Asalanka c Kamindu Mendis b Fabian Allen 12 11 2 0 109.09
Nawod Paranavithana c Najibullah Zadran b Chamika Karunaratne 4 4 1 0 100.00
Ravi Bopara c Minod Bhanuka b Oshane Thomas 1 2 0 0 50.00
Angelo Mathews c Wanidu Hasaranga b Chamika Karunaratne 41 38 4 1 107.89
Benny Howell c Chamindu Wijesinghe b Oshane Thomas 0 1 0 0 0.00
Karim Janat c Andre Fletcher b Oshane Thomas 1 3 0 0 33.33
Suranga Lakmal c Minod Bhanuka b Isuru Udana 15 29 1 0 51.72
Jeffrey Vandersay b Chamika Karunaratne 2 4 0 0 50.00
Kasun Rajitha not out 1 4 0 0 25.00


Extras 9 (b 0 , lb 6 , nb 0, w 3, pen 0)
Total 106/10 (19.1 Overs, RR: 5.53)
Bowling O M R W Econ
Isuru Udana 4 0 37 2 9.25
Chamika Karunaratne 3.1 0 11 4 3.55
Oshane Thomas 4 0 20 3 5.00
Fabian Allen 4 0 20 1 5.00
Wanidu Hasaranga 4 0 12 0 3.00


Batsmen R B 4s 6s SR
Minod Bhanuka c Kasun Rajitha b Suranga Lakmal 6 7 1 0 85.71
Andre Fletcher not out 44 41 4 2 107.32
Kamindu Mendis not out 51 48 5 0 106.25


Extras 7 (b 0 , lb 5 , nb 0, w 2, pen 0)
Total 108/1 (16 Overs, RR: 6.75)
Bowling O M R W Econ
Kasun Rajitha 3 0 19 0 6.33
Suranga Lakmal 2 0 19 1 9.50
Jeffrey Vandersay 4 0 22 0 5.50
Benny Howell 3 0 16 0 5.33
Nawod Paranavithana 1 0 7 0 7.00
Karim Janat 2 0 13 0 6.50
Ravi Bopara 1 0 7 0 7.00



මේ අනුව තරග 7ක දී ජයග්‍රහණ 6ක් ලබා සිටින Kandy Falcons ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම වැජඹෙනවා. දෙවැනි ස්ථානය ජයග්‍රහණ 4ක් ලබා සිටින Jaffna Kingsටත්, තෙවැනි ස්ථානය ජයග්‍රහණ 3ක් වාර්තා කරගත් Colombo Starsටත් හිමියි.

හෙට දිනයේත් LPL තරගාවලියේ තවත් තරග 2ක් ක්‍රියාත්මක වන අතර Galle Gladiators සහ Jaffna Kings අතර තරගය සවස 3ටත්, Kandy Falcons සහ Dambulla Aura අතර තරගය රාත්‍රී 7.30ටත් ආරම්භ වනු ඇති. ඒ සියලු තරග තොරතුරු ඔබට ThePapare.com හරහා දැනගත හැකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<