Home Sinhala ෆ්ලෙචර් – වනිඳු සුසංයෝගය කොළඹට තරු පෙන්වයි!

ෆ්ලෙචර් – වනිඳු සුසංයෝගය කොළඹට තරු පෙන්වයි!

388

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේ දෙවැනි තරගය අද (06) ක්‍රියාත්මක වූයේ වනිඳු හසරංග නායකත්වය දරන Kandy Falcons සහ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන Colombo Stars කණ්ඩායම් දෙක අතරයි.

වාර්තා පිට වාර්තා බිහිවුනු මෙම තරගය අවසානයේ Kandy Falcons ලකුණු 109ක දැවැන්ත ජයකට හිමිකම් කීමට සමත් වුනා.

අද LPL තරගාවලියේ පළමු තරගය නිමා වීමෙන් පසු සූරියවැව පිටියට පොද වැස්සක් පතිත වූවත්, තරග ආරම්භක වේලාව පසුපසට දමන්නට එය ප්‍රමාණවත් වුනේ නැහැ. කාසියේ වාසිය දිනූ Colombo Stars නායක මැතිව්ස් කාලගුණ තත්ත්වය සලකා බලා මුලින් පන්දු යැවීම තෝරා ගන්නා බව ප්‍රකාශ කළා.

දෙපිළේම නායකයින්ගේ අදහස වූයේ මෙම තණතිල්ලේ ලකුණු 140-150ක් යනු තරගයක් ලබා දිය හැකි ලකුණක් බවයි. ඒ අනුව ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමඟ කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් Kandy Falcons ඉනිම ආරම්භ කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කලක් විස්සයි විස්ස තරගවල පන්දු යැවීම ඇරඹූ ඇන්ජලෝ මැතිව්ස් අද දීර්ඝ කලකට පසුව නැවතත් Colombo Stars වෙනුවෙන් නව පන්දුව අතට ගත්තා. වැඩි වේගයක් නොමැති වුවද එල්ලය සහ පතිතය නිවැරදිව තබා ගැනීමේ රහස දන්නා ඔහු මුල් පන්දුවාරයට ලබා දුන්නේ ලකුණු 2ක් පමණයි.

ඉන් අනතුරුව ජාත්‍යන්තර තරගවලින් මේ වන විට විශ්‍රාම ගෙන ප්‍රාන්ත තරග වෙනුවෙන් සහභාගි වන සුරංග ලක්මාල් ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් දවා ගැනීමේ අවස්ථා 2ක් නිර්මාණය කළ ද, සීක්කුගේ ප්‍රසන්න ලැබුණු උඩපන්දු දෙකම බිම අත හැරියා.

එහි දී සීක්කුගේ ප්‍රසන්න පන්දුවේ ගමන් මග නිර්ණය කර ගැනීමටත්, තම සමබරතාවය රැක ගැනීමටත් කිසිදු අයුරකින් සමත්කම් දැක්වූයේ නැහැ.

ෆ්ලෙචර්ගේ අමරණීයත්වය සනාථ කරමින් තවත් උඩපන්දු දෙකක් Colombo Stars ක්‍රීඩකයින් බිම දමන්නේ ඔහුව ලකුණු 0, 9, 18 සහ 24 යන අවස්ථාවල දී දවා ගැනීම ප්‍රතික්ෂේප කරමිනුයි.

ප්‍රතිවාදීන්ගේ දියාරු පන්දු රැකීමෙන් ප්‍රයෝජන ගත් පැතුම් සහ ෆ්ලෙචර් LPL ඉතිහාසයේ විශාලම ලකුණු සම්බන්ධතාවයේ වාර්තාව තමන්ගේ නම් ඉදිරියෙන් ලියා ගත්තේ පළමු කඩුල්ලට ලකුණු 156ක් එක් කරමිනුයි.

පන්දුවාර 15.4ක් නොනවත්වා පිතිකරණයේ යෙදුණු ඔවුන්ගේ සබඳතාවය සීක්කුගේ ප්‍රසන්න බිඳ දමන්නේ තෙවැනි විනිසුරුගේ සහය ද ලබා ගනිමිනුයි. ඒ පැතුම්ගේ පිත්තේ යන්තමින් දැවටී කඩුලු රකින දික්වැල්ල අතට ඇදී ගිය පන්දුව දැවී යාමක් ලෙස පිලිගැනීමට පිටියේ විනිසුරු අකමැති වූ නිසයි.

දැවී යන විට පැතුම් නිස්සංක පන්දු 41කට පමණක් මුහුණ දී ලකුණු 71ක් ලබා සිටියා. ඒ අලංකාර හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් එල්ල කරමිනුයි.

ආරම්භක පිතිකරුවන් ලබා දුන් සුපිරි ඇරඹුම තවත් මුවහත් කිරීමේ අටියෙන් Kandy Falcons විසින් කාලෝස් බ්‍රත්වයිට්ට අංක 3 පිතිකරුවා ලෙස උසස්වීමක් ලබා දී තිබුණා. ඒ කොදෙව් ප්‍රහාරක පිතිකරුවන් අතර ඉදිරියෙන්ම නම කියවෙන ඔහු තවදුරටත් බංකුවේ තැබීම අපරාදයක් වන නිසයි. බ්‍රත්වයිට් අද පන්දු 13ක දී නොදැවී ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුනා.

පන්දුවාර 20 පුරාවටම එක් අන්තයක් ආරක්ෂා කරගෙන සිට ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් අවසන් පන්දුවාරයේ තම ශතකය සපුරා ගත්තා. ඒ LPL ඉතිහාසයේ එම කඩඉම පසුකළ තෙවැන්නා බවට පත්වෙමිනුයි. මීට පෙර LPL පළමු අදියරේ දී ලෝරි එවන්ස් සහ දෙවැනි අදියරේ දී අවිශ්ක ප්‍රනාන්දු ශතක වාර්තා කිරීමට සමත් වුනා.

පන්දු 67කට පමණක් මුහුණ දුන් ෆ්ලෙචර් නොදැවී ලකුණු 102ක් ලබා ගත්තේ හතරේ පහර 11ක් සහ දැවැන්ත හයේ පහර 3ක් එල්ල කරමිනුයි. මේ අනුව Kandy Falcons ඉනිම අද නියමිත පන්දුවාර 20 අවසානයේ එක් කඩුල්ලකට ලකුණු 199ක් ලෙස සටහන් වුනේ Colomboට ලකුණු 200ක අති දුෂ්කර ඉලක්කයක් ලබා දෙමිනුයි.

මෙම අභියෝගය හඹා යාමට පිටියට පිවිසි Colombo Stars තරග අවසන් කරන්නෙකු ලෙස නම් දරා සිටින මැතිව්ස්ට ආරම්භක පිතිකරණ භූමිකාව ලබා දී තිබීම තරමක විමතිය දනවන්නක්. ඔහු සමඟ අනෙක් අන්තයෙන් ඉනිම ඇරඹූ නිරෝෂන් දික්වැල්ල පළමු පන්දුවාරයේ දී ම දැවී ගියේ නායක හසරංගගේ විශිෂ්ට පන්දු රැකීමක් හමුවේයි.

දින කිහිපයකට පෙර නිමාවූ ඇෆ්ගනිස්තාන තරගාවලියේ තරග දිනවන ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක අද බ්‍රත්වයිට්ගේ කෙටි පන්දුවක් හමුවේ වේලාසනින්ම දැවී ගියා. විස්සයි විස්ස තරග 400කට අධික අත්දැකීම් සහිත රවී බොපාරා අද රැස් කළේ ලකුණු 2ක් පමණයි.

ඉන් අනතුරුව වනිඳු හසරංගගේ මැජික් සංදර්ශන ආරම්භ වූ අතර චන්දිමාල්ගේ කඩුල්ල බිඳ හෙළමින් ඇරඹූ කඩුලු ත්‍රිත්වය බෙනී හවෙල් සහ සීක්කුගේ ප්‍රසන්න කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරමින් සම්පූර්ණ කර ගත්තා. ඒ Kandy පිළ හිතේ හැටියට ලකුණු රැස්කළ සූරියවැව තණතිල්ලේ Colombo කණ්ඩායම අන්ත අසරණ කර දමමිනුයි. වනිඳුගේ මෙම කඩුලු ත්‍රිත්වය LPL ඉතිහාසයේ වාර්තා වුනු මුල්ම කඩුලු ත්‍රිත්වයයි.

නායක මැතිව්ස් පන්දු 23කින් ලකුණු 26ක් ලබා ගත්තත්, එය Stars ජයග්‍රහණයට කිසිසේත්ම ප්‍රමාණවත් වුනේ නැහැ. ඔහු අද වනිඳුගේ පන්දුවක් හයේ සීමාවට එල්ල කිරීමට උත්සාහ කිරීමේ දී ෆේබියන් ඇලන් උඩපන්දුව රැක ගැනීමත් සමඟ දැවී ගියා.

ඉනිමේ අවසන් කොටසේ දී කොදෙව් ක්‍රීඩක දෙදෙනෙක් වන කීමෝ පෝල් සහ ඩොමිනික් ඩ්‍රේක්ස් ලකුණු 34ක සබඳතාවයක් ගොඩ නැගුවා. කෙසේ වෙතත් පන්දුවාර 14.3ක් අවසානයේ අද Colombo Stars ඉනිම නිමාවට පත්වුනේ ලකුණු 90කට සියල්ලන් දැවී යාමෙනුයි.

පන්දු යැවීමේ දී නායක හසරංග ලකුණු 14කට කඩුලු 4ක් බිඳ දැමුවේ ලෝක මට්ටමේ පන්දු යවන්නෙකුගේ භූමිකාව මැනවින් නිරූපනය කරමිනුයි. අද Kandy Falcons තුන් ඉරියව්වෙන්ම Colombo Starsට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටි බව සඳහන් කළ යුතුමයි. තරගයේ වීරයා සම්මානය දිනයේ වාසනාවන්තම ක්‍රීඩකයා බවට පත්වුනු අන්ඩ්‍රේ ෆ්ලෙචර්ට හිමි වුනා.

Result


Colombo Stars
90/10 (14.3)

Kandy Falcons
199/1 (20)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Niroshan Dickwella b Seekkuge Prasanna 71 41 8 2 173.17
Andre Fletcher not out 102 67 11 3 152.24
Carlos Brathwaite not out 20 13 2 0 153.85


Extras 6 (b 0 , lb 3 , nb 1, w 2, pen 0)
Total 199/1 (20 Overs, RR: 9.95)
Bowling O M R W Econ
Angelo Mathews 2 0 18 0 9.00
Suranga Lakmal 4 0 29 0 7.25
Dominic Drakes 4 0 33 0 8.25
Keemo Paul 2 0 26 0 13.00
Benny Howell 3 0 34 0 11.33
Muditha Lakshan 2 0 33 0 16.50
Seekkuge Prasanna 3 0 23 1 7.67


Batsmen R B 4s 6s SR
Niroshan Dickwella run out (Wanidu Hasaranga) 5 4 1 0 125.00
Angelo Mathews c Fabian Allen b Wanidu Hasaranga 26 23 2 0 113.04
Charith Asalanka c Andre Fletcher b Carlos Brathwaite 1 2 0 0 50.00
Ravi Bopara c Wanidu Hasaranga b Zahoor Khan 2 6 0 0 33.33
Dinesh Chandimal b Wanidu Hasaranga 9 9 1 0 100.00
Benny Howell lbw b Wanidu Hasaranga 0 1 0 0 0.00
Seekkuge Prasanna lbw b Wanidu Hasaranga 0 1 0 0 0.00
Dominic Drakes c Pathum Nissanka b Fabian Allen 18 22 2 0 81.82
Keemo Paul b Ashian Daniel 22 15 1 2 146.67
Muditha Lakshan not out 6 3 1 0 200.00
Suranga Lakmal lbw b Fabian Allen 0 1 0 0 0.00


Extras 1 (b 0 , lb 0 , nb 0, w 1, pen 0)
Total 90/10 (14.3 Overs, RR: 6.21)
Bowling O M R W Econ
Zahoor Khan 2 0 8 1 4.00
Carlos Brathwaite 3 0 21 1 7.00
Isuru Udana 2 0 11 0 5.50
Wanidu Hasaranga 3 0 14 4 4.67
Chamika Karunaratne 2 0 12 0 6.00
Ashian Daniel 2 0 22 1 11.00
Fabian Allen 0.3 0 1 2 3.33



LPL තරගාවලියේ දෙවැනි දිනය වන හෙට (07) දිනයේ Dambulla Aura සහ Jaffna Kings අතර තරගය සවස 3ටත්, Galle Gladiators සහ Kandy Falcons අතර තරගය රාත්‍රී 7.30ටත් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<