Home Sinhala Colombo Stars කණ්ඩායමෙන් අතිවිශිෂ්ට ලුහුබැඳ යාමක්!

Colombo Stars කණ්ඩායමෙන් අතිවිශිෂ්ට ලුහුබැඳ යාමක්!

1069
Colombo Stars vs Galle Gladiators

Galle Gladiators ලබා දුන් ලකුණු 194ක සුවිසල් ඉලක්කය සාර්ථකව හඹා යමින් LPL තරගාවලියේ දෙවැනි ජයත් තමන් සතුකර ගන්නට අද (13) Colombo Stars සමත් වුනා.

එහි දී චන්දිමාල්, අසලංක, රවී බොපාරා සහ සීක්කුගේ ප්‍රසන්න අවස්ථාවේ හැටියට විශිෂ්ට ඉනිම් කිහිපයක් ක්‍රීඩා කළා.

කාසියේ වාසිය දිනා ගත් Colombo Stars නායක ඇන්ජලෝ මැතිව්ස් පසුගිය තරගයේ දී මෙන්ම අදත් මුලින් පන්දු යැවීම තෝරා ගත්තා. ඒ අනුව Gladiators ඉනිම ඇරඹුවේ නායක මෙන්ඩිස් සමඟින් තානුක දාබරේයි.

සූරියවැව දී මුල් තරග කිහිපය ක්‍රීඩා කළ Galle Gladiators මේ වන විට වෙනස්ම මුහුණුවරක් ගෙන ඇති අතර අලුතින් එක්වුනු ක්‍රීඩකයින් කණ්ඩායමේ පිතිකරණයට එක් කර ඇත්තේ අමතර සවියක්. එහි දී තානුක දාබරේ, ලහිරු උදාර වැන්නන් කණ්ඩායමට නැතිවම බැරි පිතිකරුවන් වී සිටින්නේ හොඳ ප්‍රහාරක වේගයක්ද රඳවා ගනිමිනුයි.

අදත් Gladiators ඉනිමට අර්ධ ශතක සබඳතාවයක් ලබා දීමෙන් පසු තානුක දැවී ගියේ ලකුණු 33කටයි. පන්දු 22ක් පමණක් පරිභෝජනය කළ තානුක එහි දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් එල්ල කළා. ලහිරු උදාරගේ වේගවත් ලකුණු 24ට වැය වුනේ පන්දු 14ක් පමණයි.

පිතිකරණ පාරාදීසයක් බඳු වූ පල්ලෙකැලේ තණතිල්ලේ අද කුසල් මෙන්ඩිස් සහ අසාද් ශෆීක් ගිනිකෙළි පෙන්වීම ආරම්භ කළේ ඉන්පසුවයි. එහි දී අසාම් කාන්ගේ ආබාධය නිසා කණ්ඩායමට එක් වීමට වරම් ලද ශෆීක් පන්දු 33ක් පමණක් වැය කරමින් ලකුණු 58ක් ලබා ගත්තා. පිටියේ හිඩැස් සොයා යාමේ කැපී පෙනෙන හැකියාවක් පෙන්වූ ඔහු හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් එල්ල කළා.

විශේෂයෙන්ම පසුගිය තරග කිහිපය පුරාවට හොඳ ඉනිමක් ක්‍රීඩා කිරීමට අපොහොසත් වූ අසාම් කාන් වෙනුවට අසාද් ශෆීක් එක්වීම Galle Gladiatorsට වෙස් වළාගත් ආශිර්වාදයක් වනු ඇති. නායක කුසල් මෙන්ඩිස් අද කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනේ පන්දු 49ක දී ලකුණු 72ක් රැස් කරමිනුයි. ඔහුගේ ඉනිම හතරේ පහර 5කින් සහ හයේ පහර 4කින් වර්ණවත් වුනා.

20 වැනි පන්දුවාරයේ දී මෙන්ඩිස් සහ ශෆීක් යන දෙදෙනාම දවා ගැනීමට නවීන් උල්-හක් සමත් වූ අතර අන්වර් අලිව දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට ද ඔහු සමත් වුනා. සීක්කුගේ ප්‍රසන්න අද තරගාවලියේ දෙවැනි වරටත් ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූ අතර ඒ නිසා ඔහුට සිව්වැනි පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට ද හැකි වුනේ නැහැ.

Stars විදෙස් ක්‍රීඩකයින් වන ඩොමිනික් ඩ්‍රේක්ස් සහ බෙනී හවෙල් අද දැඩි ප්‍රහාරයකට හසුවූ අතර Galle Gladiators තමන්ට නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5කට ලකුණු 193ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනගමිනුයි.

LPL තරගාවලිය ඇරඹී සතියක කාලයක් ගත වුවද තවමත් පිතිකරණ අනුපිළිවෙළ හරිහැටි තීරණය කිරීමට අපොහොසත් වී සිටින Colombo Stars අද ඉනිම ආරම්භ කළේ දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ලගෙනුයි. කෙසේ වෙතත් අද දික්වැල්ල නුවන් තුෂාර යැවූ පන්දුවක් කෙලින්ම මැද ඉන්නේ වැදීමෙන් මුලදීම දැවී ගියා.

එතැන් පටන් පන්දුවාර 3ක් නිහඬව ගලා යන Colombo ඉනිම පසුව වේගවත් මුහුණුවරක් ගත්තා. සිව්වැනි, පස්වැනි සහ සයවැනි පන්දුවාරවල දී ඔවුන් ප්‍රතිවාදීන්ගෙන් ලකුණු 12ක්, 17ක් සහ 14ක් බැගින් උදුරා ගැනීමට සමත් වුනා. වහාබ් රියාස් යැවූ මුල් පන්දු 4ටම හතරේ පහර 4ක් ලබා ගැනීමට දිනේෂ් චන්දිමාල් සමත් වීම විශේෂත්වයක්.

මේ අයුරින් ලකුණු 194ක් කරා යාමට අවශ්‍ය සවිමත් අඩිතාලම දිනේෂ් චන්දිමාල් සහ චරිත් අසලංක Colombo Stars කණ්ඩායමට ලබා දුන්නා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් අද Stars වෙනුවෙන් පළමු වෙඩි මුරය දැල්වූ පිතිකරුවා ලෙස සැලකිය හැකි. ඔහු අද ලකුණු 63ක් ලබා ගැනීමට වැය කළේ පන්දු 33ක් පමණයි.

වහාබ් රියාස්ට අනුකම්පා විරහිතව පහර දුන් ඔහු අවසානයේ රියාස්ටම කඩුල්ල හිමිකර දෙමින් දැවී ගියා. පන්දු 38කින් ලකුණු 46ක් ලබා ගත් චරිත් අසලංකගේ ඉනිම නිමා වන්නේ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඔහු නමට ලියැවීමෙන් අනතුරුවයි. ඩොමිනික් ඩ්‍රේක්ස් අදත් දුවද්දී දැවී ගියා.

පසුගිය තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස්ට හොඳ සහයක් ලබා දුන් බෙනී හවෙල් අදත් තමන්ට ලැබුණු පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කරමින් වැඩ ආරම්භ කළා. කෙසේ වෙතත් ලකුණු වේගය වැඩි කිරීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හවෙල් පන්දු 9ක දී ලකුණු 22කට දැවී ගියා.

පසුගිය තරගයේ දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මැතිව්ස්ටත් අද ලකුණු 7කට වඩා රැස් කිරීමට හැකි වුනේ නැහැ. සුපිරි පන්දු යැවීමක යෙදුණු නුවන් තුෂාර අද ලකුණු 29කට දික්වැල්ල, මැතිව්ස් සහ හවෙල් යන තීරණාත්මක කඩුලු 3ම බිඳ හෙලුවා.

Stars සියලු බලාපොරොත්තු කඩවූ විටෙක ආබාධයෙන් පසු නැවත පිටියට පිවිසි සීක්කුගේ ප්‍රසන්න හයේ පහර දෙකක් එල්ල කරමින් නැවතත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉහළ දැමුවා. මේ නිසාම අනෙක් අන්තයේ සිටි රවී බොපාරාට තරගය ජයග්‍රහණයකින් අවසන් කිරීම අපහසු වුනේ නැහැ. වහාබ් ක්‍රියාත්මක කළ 19 වැනි පන්දුවාරයටත් ලකුණු 22ක් උදුරා ගත් ඔවුන්ට අවසන් පන්දුවාරයට අවශ්‍ය වූයේ ලකුණු 8ක් පමණයි.

එය ඉනිමේ අවසන් පන්දුවේදී සපුරා ගත් Colombo Stars තරගාවලිය තුල තවදුරටත් ශක්තිමත්ව රැඳී සිටිනවා. එහි දී තරග 4 බැගින් ජයගෙන සිටින Kandy Falcons සහ Jaffna Kings කණ්ඩායම් ප්‍රසාද ලකුණු 8 බැගින් ලබා සිටිද්දී Galle Gladiators සහ Colombo Stars කණ්ඩායම් තරග 2 බැගින් ජයගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 4 බැගින් හිමිකර ගෙනයි.

Result


Galle Gladiators
193/5 (20)

Colombo Stars
197/8 (20)

Batsmen R B 4s 6s SR
Thanuka Dabare c Charith Asalanka b Seekkuge Prasanna 33 22 4 1 150.00
Kusal Mendis b Naveen Ul Haq 72 49 5 4 146.94
Lahiru Udara c Niroshan Dickwella b Kasun Rajitha 24 14 2 1 171.43
Asad Shafiq c Benny Howell b Naveen Ul Haq 58 33 7 1 175.76
Anwar Ali run out (Naveen Ul Haq) 1 2 0 0 50.00
Imad Wasim not out 0 1 0 0 0.00


Extras 5 (b 1 , lb 1 , nb 1, w 2, pen 0)
Total 193/5 (20 Overs, RR: 9.65)
Bowling O M R W Econ
Kasun Rajitha 4 0 32 1 8.00
Naveen Ul Haq 4 0 33 2 8.25
Dominic Drakes 3 0 40 0 13.33
Benny Howell 3 0 33 0 11.00
Seekkuge Prasanna 3 0 22 1 7.33
Muditha Lakshan 2 0 20 0 10.00
Ravi Bopara 1 0 11 0 11.00


Batsmen R B 4s 6s SR
Niroshan Dickwella b Nuwan Thushara 2 6 0 0 33.33
Dinesh Chandimal c Lakshan Sandakan b Wahab Riaz 63 33 6 3 190.91
Charith Asalanka c Asad Shafiq b Anwar Ali 46 38 3 2 121.05
Angelo Mathews c Anwar Ali b Nuwan Thushara 7 12 0 0 58.33
Dominic Drakes run out (Kusal Mendis) 0 1 0 0 0.00
Benny Howell c Anwar Ali b Nuwan Thushara 22 9 3 1 244.44
Ravi Bopara not out 31 12 5 1 258.33
Seekkuge Prasanna c Asad Shafiq b Anwar Ali 14 6 0 2 233.33
Muditha Lakshan c Lakshan Sandakan b Anwar Ali 0 2 0 0 0.00
Kasun Rajitha not out 1 1 0 0 100.00


Extras 11 (b 6 , lb 0 , nb 0, w 5, pen 0)
Total 197/8 (20 Overs, RR: 9.85)
Bowling O M R W Econ
Imad Wasim 4 0 20 0 5.00
Nuwan Thushara 4 0 29 3 7.25
Wahab Riaz 4 0 61 1 15.25
Anwar Ali 4 0 44 3 11.00
Lakshan Sandakan 4 0 37 0 9.25



ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් මෙහෙය වන Dambulla Aura මේ දක්වා තරග 4කට මුහුණ දී කිසිදු ජයග්‍රහණයක් අත්කරගෙන නැහැ. අද තරගයේ වීරයා සම්මානය ඉනිමේ නිමාව දක්වාම කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 12කින් ලකුණු 31ක් ලබා ගත් රවී බොපාරාට හිමි වුනා.

LPL තරගාවලියේ Jaffna Kings සහ Kandy Falcons අතර තරගය හෙට සවස 3ටත්, Colombo Stars සහ Dambulla Aura අතර තරගය රාත්‍රී 7.30ටත් ආරම්භ වනු ඇති. එය Colombo Stars විවේකයකින් තොරව නොකඩවා මුහුණ දෙන සිව්වැනි තරගයයි.

හෙට දිනයේ පැවැත්වෙන තරග තොරතුරු සියල්ල ද ඔබට ThePapare.com තුලින් දැනගත හැකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<