Home Sinhala නිශ්ක්‍රීයව සිටි Dambulla Aura සුපිරි ජයක් සමඟින් යළි නැගිටියි

නිශ්ක්‍රීයව සිටි Dambulla Aura සුපිරි ජයක් සමඟින් යළි නැගිටියි

ලංකා ප්‍රිමියර් ලීගය 2022

1192

තරග 5ක් පුරාවට ජයග්‍රහණයක් ලබා ගැනීමට අපොහොසත් වී සිටි Dambulla Aura කණ්ඩායම අද (17) Galle Gladiators කණ්ඩායම ලකුණු 48කින් පරාජය කිරීමට සමත් වුනා.

එහි දී පළමු කඩුල්ල වෙනුවෙන් ශෙවෝන් ඩැනියෙල් සහ Jordan Cox ගොඩ නැගූ දැවැන්ත ශතක සබඳතාවය ඔවුන්ට ජයග්‍රහණය උදෙසා නිවැරදි දිශානතිය පෙන්වා දුන්නා.

මෙවර LPL තරගාවලියේ සූරියවැව සහ පල්ලෙකැලේ දී පැවැත්වුණු තරග නිමා වී කණ්ඩායම් සියල්ල කොළඹට පැමිණීමෙන් පසු ක්‍රියාත්මක වූ පළමු තරගය වූයේ ද මෙයයි. එහි දී කාසියේ වාසිය දිනා ගත් Dambulla Aura නායකයා නව තණතිල්ලේ මුලින් පන්දුවට පහර දීමට ඉල්ලා සිටියා.

තරග 5ක් ක්‍රීඩා කළ ද එකදු ජයක් හෝ ලබා ගැනීමට නොහැකි වීම නිසා ලකුණු සටහනේ අඩියටම වැටී සිටින Aura අද තරගයට එක්වී සිටියේ වෙනස්කම් 5ක් සමඟයි. ඒ ලසිත් කෲස්පුල්ලේ, Tom Abell, චතුරංග ද සිල්වා, Van Meekeren සහ ලහිරු කුමාර වෙනුවට Sikandar Raza, Matt Ford, චමිඳු වික්‍රමසිංහ, රවිඳු ප්‍රනාන්දු සහ දිලුම් සුදීර කැඳවමිනුයි.

Gladiators කණ්ඩායමේ වෙනස්කම් 2ක් සිදුව තිබුණේ Anwar Ali සහ ඕෂධ ප්‍රනාන්දු වෙනුවට Ifthikar Ahmed සහ නුවන් ප්‍රදීප් කණ්ඩායමට ඇතුළත් කරමින්.

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • Galle Gladiators: තනුක දාබරේ, කුසල් මෙන්ඩිස්, ලහිරු උදාර, Asad Shafiq, Ifthikar Ahmed, Imad Wasim, නුවනිඳු ප්‍රනාන්දු, Wahab Riaz, නුවන් තුෂාර, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්.
  • Dambulla Aura: ශෙවෝන් ඩැනියෙල්, Jordan Cox, භානුක රාජපක්ෂ, දසුන් ශානක, Sikandar Raza, Noor Ahmed, ප්‍රමෝද් මදුශාන්, Matt Ford, චමිඳු වික්‍රමසිංහ, රවිඳු ප්‍රනාන්දු, දිලුම් සුදීර.

මෙපමණ කලක් නිශ්ක්‍රීයව පැවති Aura ආරම්භක පිතිකරණ බෝම්බය අද පුපුරා ගියේ Gladiators ක්‍රීඩකයින්ට සැලකිය යුතු හානියක් සිදු කරවමිනුයි. එහි දී ශෙවෝන් ඩැනියෙල් සහ Jordan Cox මුල දී පිටියේ හිඩැස් සොයා ගනිමින් පරීක්ෂාකාරීව ඉනිම ගොඩ නැගුව ද, පසුව තම ආත්ම විශ්වාසය වර්ධනය වීමත් සමඟ Reverse Sweep වැනි අවදානම් පහරවල් පවා සාර්ථකව එල්ල කළා.

අවසානයේ ඔවුන් මෙවර LPL තරගාවලියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩ නැගුණු හොඳම සබඳතාවයේ වාර්තාව ද තමන් ඉදිරියෙන් ලියා ගත්තේ පැතුම් නිස්සංක සහ Andre Fletcherගේ ලකුණු 156ක සබඳතාවය පසුකර යමින්.

තවමත් 18 වැනි වියේ පසුවන ශෙවෝන් අද පන්දු 55ක දී ලකුණු 80ක් රැස් කරමින් සියල්ලන්ගේ අවධානය තමන් වෙත හරවා ගත්තා. හැම අතින්ම පරිපූර්ණ ඉනිමක් ලෙස නම් කළ හැකි ශෙවෝන්ගේ ඉනිමට හතරේ පහර සහ හයේ පහර 5 බැගින් ඇතුළත් වුනා.

අනෙක් අන්තයේ සිටි Jordan Cox පන්දු 58ක දී ලකුණු 77ක් ලබා ගත්තේ පළමු කඩුල්ලේ සබඳතාවය 163ක් දක්වා ඉදිරියට ගෙන යමිනුයි. කෙසේ වෙතත් තමන්ට දැඩි හිසරදයක් ගෙන දුන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා දැවී යාමෙන් පසු Gladiators ක්‍රීඩකයින් අවසන් පන්දුවාර 3 දී නැවතත් ශක්තිමත්ව තරගයට පිවිසියා.

එහි දී දසුන් ශානක, භානුක රාජපක්ෂ, Sikandar Raza වැනි ප්‍රහාරාත්මක පිතිකරුවන් Aura ඉනිම ඉහළ දැමීමේ අරමුණින් පිටියට පිවිසිය ද අවසන් පන්දුවාර 3ටම ඔවුන්ට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 23ක් පමණයි. ඒ අනුව පන්දුවාර 20 අවසන් වෙද්දී Dambulla Aura ඉනිම ලකුණු 178කට කඩුලු 5ක් ලෙස දිස්වුනා.

තණතිල්ලේ ස්වභාවය දෙස බැලීමේ දී ලකුණු 179ක් යනු හඹා යා හැකි තරමේ ඉලක්කයක් වුවද Galle Gladiators ආරම්භය අද සාර්ථක වුනේ නැහැ. එහි දී පන්දු යැවීම ඇරඹූ Aura නායක දසුන් ශානක මුල් පන්දුවාරයේ දීම කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල බිඳ දැමීම තරගයේ තීරණාත්මක මොහොතක් වුනා.

ඉන්පසු ප්‍රමෝද් මදුශාන් විසින් තනුක දාබරේව පිටියෙන් ඉවත් කරන්නේ Gladiators ඉනිම ලකුණු 5ට කඩුලු 2ක් බවට පරිවර්තනය කරමිනුයි. ඒ වෙනුවෙන් ශෙවෝන් ඩැනියෙල් පිටියේ සෑහෙන දුරක් දුවගොස් විශිෂ්ට උඩපන්දුවක් රැක ගත්තා.

ඉන්පසු Asad Shafiq සහ ලහිරු උදාර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක් එකතු කළ ද ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ අසමත් වීම කණ්ඩායමට එල්ල කළ බලපෑම නැති කිරීමට එය ප්‍රමාණවත් වුනේ නැහැ. නැවතත් ක්‍රියාත්මක වූ ප්‍රමෝද් මදුශාන් පන්දු 14කින් ලකුණු 28ක් උදුරා ගනිමින් Aura පිළට තර්ජනයක් එල්ල කරමින් සිටි Shafiqව දවා ගත්තා.

පන්දු 32කින් ලකුණු 32ක් ලබා සිටි ලහිරු උදාර දවා ගැනීමට කඩුලු රකින Jordan Cox රැකගත් උඩපන්දුව මෙවර තරග සමයේ වාර්තා වූ හොඳම උඩපන්දුවක් ලෙස නම් කළ හැකියි. දුර්වල පන්දුවකින් වුවද ලකුණු 21ක් ලබා සිටි Ifthikar Ahmed දැවී යාම සෑහෙන කලකට පසු Sikandar Razaගේ මුහුණට සිනාවක් ගෙන ඒමට සමත් වුනා. ඒ නිමා වුනු ලෝක කුසලානයේ දී දිදුලන තරුවක් වූ ඔහු LPL තරගාවලියේ දී අනපේක්ෂිත ලෙස අසාර්ථක වූ නිසයි.

නිරන්තර කඩුලු දැවී යාම නිසා ගරා වැටුණු Galle Gladiators ඉනිම අවසානයේ නිමාවට පත්වූයේ ලකුණු 130කටයි. පන්දු යැවීමේ දී ප්‍රමෝද් මදුශාන් කඩුලු 3ක් දවා ගනිද්දී Sikandar Raza කඩුලු ද්විත්වයකට හිමිකම් කිව්වා.

Result


Dambulla Aura
178/5 (20)

Galle Gladiators
130/10 (19.4)

Batsmen R B 4s 6s SR
Shevon Daniel c Pulina Tharanga b Nuwan Pradeep 80 55 5 5 145.45
Jordan Cox c Nuwanidu Fernando b Nuwan Thushara 77 58 6 3 132.76
Dasun Shanaka c Lahiru Udara b Nuwan Pradeep 12 5 1 1 240.00
Bhanuka Rajapaksha c Pulina Tharanga b Nuwan Pradeep 0 1 0 0 0.00
Sikandar Raza run out (Imad Wasim) 0 3 0 0 0.00
Matthew Forde not out 0 0 0 0 0.00


Extras 9 (b 4 , lb 2 , nb 2, w 1, pen 0)
Total 178/5 (20 Overs, RR: 8.9)
Bowling O M R W Econ
Imad Wasim 4 0 38 0 9.50
Nuwan Thushara 4 0 29 1 7.25
Nuwan Pradeep 3 0 37 3 12.33
Wahab Riaz 3 0 28 0 9.33
Lakshan Sandakan 3 0 16 0 5.33
Thanuka Dabare 1 0 8 0 8.00
Iftikhar Ahmed 2 0 16 0 8.00


Batsmen R B 4s 6s SR
Thanuka Dabare c Shevon Daniel b Pramod Madushan 4 5 1 0 80.00
Kusal Mendis c Pramod Madushan b Dasun Shanaka 0 1 0 0 0.00
Lahiru Udara c Jordan Cox b Matthew Forde 32 32 4 0 100.00
Asad Shafiq c Dasun Shanaka b Pramod Madushan 28 14 3 2 200.00
Nuwanidu Fernando run out (Jordan Cox) 5 3 1 0 166.67
Iftikhar Ahmed c Ravindu Fernando b Sikandar Raza 21 21 1 1 100.00
Imad Wasim b Noor Ahmad  3 7 0 0 42.86
Wahab Riaz c Jordan Cox b Dilum Sudeera 13 8 1 1 162.50
Lakshan Sandakan b Pramod Madushan 4 16 0 0 25.00
Nuwan Pradeep c Shevon Daniel b Sikandar Raza 10 9 0 1 111.11
Nuwan Thushara not out 1 3 0 0 33.33


Extras 9 (b 1 , lb 4 , nb 1, w 3, pen 0)
Total 130/10 (19.4 Overs, RR: 6.61)
Bowling O M R W Econ
Dasun Shanaka 3 0 10 1 3.33
Pramod Madushan 2.4 0 17 3 7.08
Chamindu Wickramasinghe 1 0 18 0 18.00
Matthew Forde 2 0 23 1 11.50
Dilum Sudeera 4 0 35 1 8.75
Noor Ahmad  4 0 17 1 4.25
Sikandar Raza 3 0 5 2 1.67



ඒ අනුව Dambulla Aura කණ්ඩායම තම දීර්ඝ ජයග්‍රහණ පිපාසය සංසිඳුවා ගත්තේ ලකුණු සටහනට ප්‍රසාද ලකුණු 2ක් එකතු කරමිනුයි. කෙසේ වෙතත් තවමත් ඔවුන් රැඳී සිටින්නේ එහි අවසන් ස්ථානයේයි. ඔවුන්ට ඉහළින් ප්‍රසාද ලකුණු 4ක් ලබාගත් Galle Gladiators සහ ප්‍රසාද ලකුණු 6ක් ලබාගත් Colombo Stars රැඳී සිටිනවා.

තරගාවලියේ හොඳම කණ්ඩායම් දෙක ලෙස මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම රැඳී සිටින්නේ තරග 5ක් ජය ගත් Kandy Falcons සහ තරග 4ක් ජය ගත් Jaffna Kings කණ්ඩායම් දෙකයි.

තරගයේ වීරයා සම්මානය සුපිරි ඉනිමක් ක්‍රීඩා කිරීමෙන් නොනැවතී කඩුලු රැකීමෙන් ද දස්කම් දැක්වූ එංගලන්ත ක්‍රීඩක Jordan Coxට හිමි වුනා. LPL තරගාවලියේ මීළඟ තරගය අද රාත්‍රි 7.30ට Kandy Falcons සහ Colombo Stars අතර පැවැත්වෙනවා. ඒ සියලු තතු විත්ති ThePapare.com හරහා ඔබට දැන ගත හැකියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<