Home Sinhala සුපිරි ජයක් සමඟින් Jaffna Kings ලකුණු සටහනේ පෙරමුණ ගනියි

සුපිරි ජයක් සමඟින් Jaffna Kings ලකුණු සටහනේ පෙරමුණ ගනියි

1495

දඟපන්දු යවන්නන්ගේ සුපිරි දක්ෂතා මෙන්ම ආරම්භක පිතිකරුවන් ගොඩ නැගූ ශතක සබඳතාවය නිසාම Dambulla Aura කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට අද (07) Jaffna Kings කණ්ඩායම සමත් වුනා.

අද තරගය ආරම්භ කරන මොහොත වන විට සූරියවැව ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ දකින්නට ලැබුණේ අඳුරු ස්වභාවයක්. කෙසේ නමුත් කාසියේ වාසිය දිනූ දසුන් ශානක මුලින් පිතිකරණයේ යෙදීම ඉල්ලා සිටියා.

අද Jaffna Kings පිළේ වෙනස්කම් 3ක් සිදුව තිබූ අතර ගුර්බාස්, කැඩ්මෝර් සහ බිනුර ප්‍රනාන්දු වෙනුවට සදීර සමරවික්‍රම, අශාන් රන්දික සහ සමාන් කාන් කණ්ඩායමට ඇතුළත් වී තිබුණා.

Dambulla Aura ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසියේ එංගලන්ත කඩුලු රකින පිතිකරු ජෝර්ඩන් කොක්ස් සමඟින් මෑත කාලයේ 19න් පහළ තරග වල කැපී පෙනුණු ශෙවෝන් ඩැනියෙලුයි.

පන්දු යැවීම ඇරඹූ තිසර පෙරේරා මෙම 18 හැවිරිදි යෞවනයා මට්ටු කිරීමේ අදහසින් මුල දී ම කෙටි පන්දුවක් යොමු කළ ද, ශෙවෝන් එය මිඩ්-විකට් දෙසින් දැවැන්ත හයේ පහරක් බවට හරවන්නට සමත් වුනා.

කෙසේ වෙතත් එතැන් පටන් Jaffna Kings පීඩනය දැඩි කරමින් ප්‍රතිවාදීන්ට පහසු ලකුණු ලබා දීමෙන් වැළකී සිටියා. කඩුලු නොමැතිව වුවද ඉතාමත් හොඳින් පවර්ප්ලේ පන්දුවාර 6 නිමා කිරීමට ඔන්න මෙන්න තිබිය දී ක්‍රියාත්මක වූ කොක්ස්, ධනංජය ද සිල්වාගේ අවසන් පන්දු 3ට පිට පිටම හයේ පහර 3ක් එල්ල කළේ ලකුණු 49ක් දක්වා දඹුලු ඉනිම ඉහළ දමමිනුයි.

22 හැවිරිදි ජෝර්ඩන් කොක්ස් අද පන්දු 22ක දී ලකුණු 43ක් රැස් කළා. අවසානයේ ඔහුගේ ප්‍රහාරයට නැවතීමේ තිත තබන්නේ උතුරුකරයෙන් LPL කරළියට පැමිණ දැන් මුළු රටම හඳුනන 21 හැවිරිදි වියස්කාන්ත් විසිනුයි.

ඊට පන්දු 3කට පසු ශෙවෝන් ඩැනියෙල් සමාන් කාන්ගේ පන්දුවක් හමුවේ ලකුණු 19කට දැවී ගියේ පන්දු 26ක් පරිභෝජනය කිරීමෙන් පසුවයි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාම එක ළඟ පිටියෙන් ඉවත් වීමේ වාසිය ලබා ගත් Jaffna පිළ නැවතත් හොඳින් තරගයට අවතීර්ණ වෙමින් ගෙවී ගිය ලෝක කුසලානයේ සිම්බාබ්වේ පිළේ ගැලවුම්කරුවා වූ සිකන්දර් රාසාවත් ලකුණු 5කට පිටියෙන් ඉවත් කළා.

පන්දු 14කට මුහුණ දී ලකුණු 5ක් පමණක් ලබා ගත් රාසාගේ කඩුල්ල හිමිවුනේ ජේම්ස් ෆුලර්ටයි. නායක ශානක අද රැස්කළේ ලකුණු 6ක් පමණයි.

එක් අන්තයකින් දිගින් දිගටම කඩුලු වැටෙද්දී පන්දු 17කින් ලකුණු 18ක් රැස් කිරීමට භානුක රාජපක්ෂ සමත් වුව ද, ජේම්ස් ෆුලර් හතරේ සීමාව අසල සුරැකිව රැක ගත් උඩපන්දුවක් නිසා දැවී යන්නට සිදු වුනා.

පසුපෙළ පිතිකරුවන් ද එක පිට දැවී යද්දී නෙදර්ලන්ත ක්‍රීඩක වෑන් මීකරන් ඩිල්ස්කූප් පහරක් සමඟින් ලකුණු 11ක් ලබා ගැනීමට සමත් වුනේ Dambulla ඉනිම ලකුණු 121-9ක් බවට පරිවර්තනය කරමිනුයි.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ සහ වියස්කාන්ත් කඩුලු 3 බැගින් බිඳ හෙළද්දී, ජේම්ස් ෆුලර් කඩුලු ද්විත්වයකට හිමිකම් කීවා. ඔවුන් සියලු දෙනාම පන්දුවාරයකට ලකුණු 6කට අඩුවෙන් රඳවා ගැනීම ද විශේෂත්වයක්. සුපුරුදු පරිදි Jaffna Kings පිළේ පිටියේ පන්දු රැකීම ද විශිෂ්ට මට්ටමක තිබූ බව කිව යුතුයි.

මෙම සුවපහසු ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු සහ සදීර සමරවික්‍රම වේගපන්දු යවන්නන්ට සහයක් නොදක්වන තණතිල්ලේ මුල් කඩුල්ලටම ලකුණු 118ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නැගුවා.

විශේෂයෙන්ම ආබාධය නිසා දීර්ඝ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත්වී සිටි අවිශ්ක ප්‍රනාන්දු අද ඉක්මනින් තම රිද්මය හඳුනා ගත්තේ පන්දු 49කින් ලකුණු 51ක් ලබා ගනිමිනුයි.

මීට අමතරව Jaffna Kings පිළේ අතිරේක කඩුලු රකින්නා වන සදීර සමරවික්‍රම අද තරග දිනවන ඉනිමක් ක්‍රීඩා කළේ ආබාධයක් නිසා ඉවත් වූ ගුර්බාස්ගේ පිතිකරණ ස්ථානයට උපරිම සාධාරණයක් ඉටු කරමිනුයි. එහි දී පන්දු 44කට පමණක් මුහුණ දුන් ඔහු නොදැවී ලකුණු 62ක් රැස් කළා. ඒ හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමඟයි.

ජයග්‍රහණය ආසන්නයේ දී අවිශ්ක ප්‍රනාන්දු ස්ටම්ප් කිරීමකට හසු වීමෙන් පසු පිටියට පිවිසි අශාන් රන්දික තමන්ට ලැබුණු පළවෙනි පන්දුවම හතරේ සීමාව වෙත හරවා යවමින් Jaffna Kings ජය තහවුරු කළා.

මේ අනුව මෙවරත් LPL ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම වැජඹෙන්නේ දෙවරක් ශූරයින් බවට පත්වූ Jaffna කණ්ඩායමයි.

Result


Dambulla Aura
121/9 (20)

Jaffna Kings
122/1 (15.4)

Batsmen R B 4s 6s SR
Jordan Cox c Thisara Perera b Vijayakanth Viyaskanth 43 22 3 4 195.45
Shevon Daniel c James Fuller b Zaman Khan 19 26 1 1 73.08
Bhanuka Rajapaksha c James Fuller b Vijayakanth Viyaskanth 18 17 2 0 105.88
Sikandar Raza c Dunith wellalage b James Fuller 5 14 0 0 35.71
Dasun Shanaka c Dunith wellalage b Mahesh Theekshana 6 4 1 0 150.00
Ramesh Mendis c & b 10 14 0 0 71.43
Chathuranga de Silva c Dhananjaya de Silva b Mahesh Theekshana 1 2 0 0 50.00
Lahiru Madushanka c Zaman Khan b Mahesh Theekshana 1 3 0 0 33.33
Noor Ahmad  c Shoaib Malik b Vijayakanth Viyaskanth 2 5 0 0 40.00
Paul van Meekeren not out 11 11 2 0 100.00
Lahiru Kumara not out 1 2 0 0 50.00


Extras 4 (b 1 , lb 0 , nb 0, w 3, pen 0)
Total 121/9 (20 Overs, RR: 6.05)
Bowling O M R W Econ
Thisara Perera 2 0 10 0 5.00
Mahesh Theekshana 4 0 20 3 5.00
Dhananjaya de Silva 2 0 22 0 11.00
James Fuller 4 0 16 2 4.00
Zaman Khan 4 0 28 1 7.00
Vijayakanth Viyaskanth 4 0 24 3 6.00


Batsmen R B 4s 6s SR
Sadeera Samarawickrama not out 62 44 7 1 140.91
Avishka Fernando st Jordan Cox b Noor Ahmad  51 49 4 1 104.08
Ashan Randika not out 4 1 1 0 400.00


Extras 5 (b 1 , lb 0 , nb 0, w 4, pen 0)
Total 122/1 (15.4 Overs, RR: 7.79)
Bowling O M R W Econ
Lahiru Kumara 3 0 27 0 9.00
Paul van Meekeren 2 0 19 0 9.50
Chathuranga de Silva 4 0 23 0 5.75
Sikandar Raza 2 0 12 0 6.00
Noor Ahmad  3.4 0 28 1 8.24
Dasun Shanaka 1 0 12 0 12.00



අද තරගයේ වීරයා සම්මානය සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රමට හිමි වුනා. LPL තරගාවලියේ සිව්වැනි තරගය අද රාත්‍රි 7.30ට Galle Gladiators සහ Kandy Falcons කණ්ඩායම් දෙක අතර පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තතු විත්ති එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<