මහීෂ්, පැතුම්, චරිත් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට!

Asia Cup 2023

7672

මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලානයේ දී ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා මත ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හි සුළු වෙනස්කම් කිහිපයක් සිදු වී තිබෙනවා.

මෙහි දී එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ රැඳී සිටි පාකිස්තානයේ Babar Azam විසින් පසුගිය දා නේපාලයට එරෙහිව වාර්තා කළ විශිෂ්ට ශතකය ද සමඟින් තවදුරටත් සිය ප්‍රථම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වී සිටින්නේ එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටින Rassie Van der Dussenට වඩා ලකුණු 105ක් ඉදිරියෙන් සිටිමිනුයි.

මේ අතර මෙහි තෙවැනි ස්ථානය ඉන්දීය ආරම්භක පිතිකරු Shubman Gill හට හිමි වී ඇති අතර ඔහු විසින් මෙතෙක් ආසියානු කුසලානයේ දී එක් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා. කෙසේ වෙතත් තරගාවලියේ ඉදිරි තරගවල දී Gill දක්වන දක්ෂතා අනුව ඔහුට මෙහි දෙවැනි ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට ද ඉහළ අවස්ථාවක් පවතිනවා.

මේ අතර එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් හි 5 වැනි ස්ථානයට පැමිණීමට පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Shah Afridi විසින් සමත් වී ඇති අතර ඔහු නිමා වූ ඉන්දු – පාකිස්තාන තරගයේ දී දැක්වූ විශිෂ්ට පන්දු යැවීම මෙම ඉදිරියට පැමිණීමට ප්‍රධානතම හේතුව බව අනුමාන කළ හැකි. මේ අතර මෙවර තරගාවලියේ තවත් සාර්ථක පන්දු යවන්නෙකු ලෙස කැපී පෙනෙන Haris Rauf ශ්‍රේණිගත කිරීම්වල 29 වැනි ස්ථානය තෙක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලාංකිකයින්

එක්දින ශ්‍රේණිගත කිරීම් හි මුල් ස්ථාන දහය තුළ රැඳී සිටින එකම ශ්‍රී ලාංකිකයා වන්නේ මෙවර ආසියානු කුසලානය මඟ හැරී ගිය වනිඳු හසරංග පමණයි. ඔහු තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හි 09 වැනි ස්ථානයේ පසු වන අතර, මෙවර තරගාවලියේ ශ්‍රී ලාංකික තුන් ඉරියව් තුරුම්පුව ධනංජය ද සිල්වා මෙම ශ්‍රේණිගත කිරීම් හි 16 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ශ්‍රී ලාංකික පිතිකරුවන් අතුරින් ඉහළතම ස්ථානය පැතුම් නිස්සංකට හිමි වී ඇති අතර (25), ඊට අමතරව චරිත් අසලංක (29) සහ කුසල් මෙන්ඩිස් (50) මුල් පිතිකරුවන් 50 දෙනා අතර රැඳී සිටිනවා.

පන්දු යවන්නන් අතුරින් ශ්‍රේණිගත කිරීම් හි 15 වැනි ස්ථානය මහීෂ් තීක්ෂණ හට හිමි වී තිබෙනවා. ඒ හැරුණු කොට වනිඳු 31 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මේ අතර පසුගිය දා නිමා වුන දකුණු අප්‍රිකා – ඕස්ට්‍රේලියා සහ එංගලන්ත – නවසීලන්ත විස්සයි විස්ස තරගාවලි නිසා විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල ද සුළු වෙනස් වීම් සිදු වී ඇති නමුත් මුල් ස්ථානවල රැඳෙන ක්‍රීඩකයින්ට ඒවායින් බලපෑමක් එල්ල වී නැහැ.

දකුණු අප්‍රිකාවේ Adien Markram, ඕස්ට්‍රේලියාවේ Mitchell Marsh, නවසීලන්තයේ Finn Allen සහ Glenn Phillips යන පිතිකරුවන් විසින් පසුගිය දින වල දැක්වූ දක්ෂතා සමඟ ශ්‍රේණිගත කිරීම් හි සිය ලකුණු ඉහළ දමා ගැනීමට සමත් වී තිබෙනවා.

මේ අතර විස්සයි විස්ස පන්දු යවන්නන් අතර තෙවැනි සහ සිව්වැනි ස්ථානවල නොසැලී රැඳී සිටීමට වනිඳු සහ මහීෂ් යුගලයට තවදුරටත් අවස්ථාව හිමි වී තිබීම ද විශේෂත්වයක්.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<