චමරි ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

344

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු හා ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩිකා Radha Yadav ICC කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත් වී සිටිනවා.

සංචාරක ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 2-1 ක් ලෙස ජය ගත්තේ ඉන්දියාවයි.

ICC විස්සයි විස්ස පිතිකාරිණි ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට එන්නට චමරි අතපත්තු සමත් වී තිබෙනවා. ඇය ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරග තුනක දී ලකුණු 139ක් රැස් කරන්නට සමත් වුනා. අවසන් විස්සයි විස්ස තරගයේ දී අතපත්තු වේගවත් ලකුණු 80ක් රැස් කළේ තරගයේ ජයග්‍රහණය සිය කණ්ඩායමට ගෙන එමිනුයි.

ICC විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම්වල ද 9 වැනි ස්ථානයේ සිට 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙන්නට ඇය සමත්ව තිබෙනවා.

ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩිකා Yadav ICC විස්සයි විස්ස පන්දු යවන්නියන් අතර ස්ථාන 7ක් ඉදිරියට පැමිණ 13 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රීඩිකා අනුෂ්කා සංජිවනී පිතිකාරීණියන් අතර 60 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන අතර දඟපන්දු යවන ඕෂදී රණසිංහ ස්ථාන 11ක් ඉදිරියට පැමිණ 26 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. සුගන්ධිකා කුමාරි ස්ථාන නවයක් ඉදිරියට පැමිණ 40 වැනි ස්ථානයේ රැඳී සිටිද්දී, ඉනෝකා රණවීර ස්ථාන 16ක් ඉදිරියට පැමිණ 47 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ICC කාන්තා ක්‍රිකට් ශුරතාවලියේ කොටසක් ලෙස ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලියක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි. එම තරගාවලිය එළඹෙන සිකුරාදා (30) පල්ලෙකැලේ දී ආරම්භ වනු ඇත.

ICC ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<