කොළඹ ක්‍රීඩකයෝ ලකුණු 145කට දැවී යයි

SLC National Super League 4 Day Tournament 2024

159
SLC National Super League 4 Day Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ මෙම සතියේ තරග අද (16) ආරම්භ වූ අතර එහි දී කොළඹ ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 145ක් පමණයි.

මේ අතර අද දවසේ දී පිතිකරුවන් අතුරින් Team Colombo කණ්ඩායමේ නිපුන් ධනංජය, Team Dambulla කණ්ඩායමේ පවන් රත්නායක සහ සොනාල් දිනූෂ අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

පන්දු යැවීමේ දී Team Galle උදිත් මධුශාන් ලකුණු 45කට කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

Team Galle සහ Team Colombo

  o ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට

o කාසියේ වාසිය – Team Colombo

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Team Colombo ක්‍රීඩකයෝ එහි වාසිය ලබා ගැනීමට පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසීමට තීරණය කළ ද එය නොගත යුතු තීරණයක් බවට පත් වූවා. ඔවුන්ගේ ඉනිම නොසිතූ ලෙසින් ලකුණු 145ක සීමා වූවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නිපුන් ධනංජය. ඔහු පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තා. ඊට අමතර ව අශේන් බණ්ඩාර පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.

පසු පෙළින් පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ පන්දු 30ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වූවා.

කඩුලු ලබා ගැනීමේ දී උදිත් මධුශාන් ලකුණු 45කට කඩුලු 4ක් දවා ගත් අතර ධනංජය ලක්ෂාන් සහ නිශාන් පීරිස් කඩුලු 2ක් බැගින් ලබා ගත්තා. ඊට අමතර ව මිලාන් රත්නායක සහ නිමේෂ් විමුක්ති කඩුල්ල බැගින් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Team Galle ක්‍රීඩකයන්ට ද එතරම් ම හොඳින් තරගයට අවතීර්ණ වීමට හැකි වූයේ නැහැ. දිනය අවසන් වෙද්දී ඔවුන් ගේ ඉනිම ද ලකුණු 87කට සීමා වී තිබූ අතර කඩුලු 5ක් ද දැවී ගොස් තිබුණා.

එම ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 19කට සීමා වූ අතර 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 44ක සබඳතාවක් එක් කිරීමට ලක්ෂාන් එදිරිසිංහ සහ විශාද් රන්දික සමත් වුනා. ලක්ෂාන් එදිරිසිංහ පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටිය දී දැවී යමින් එම සබඳතාව බිඳී ගියා.

දිනය අවසන් වෙද්දී විශාද් රන්දික පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 36ක් ලබා සිටි අතර ධනංජය ලක්ෂාන් නොදැවී ලකුණු 9ක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී නිසල තාරක ලකුණු 22කට කඩුලු 2ක් ලබා ගත් අතර ඊට අමතර ව ඉසිත විජේසුන්දර, දුනිත් වෙල්ලාලගේ සහ නලින් ප්‍රියදර්ශන කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Team Colombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 145 (41.3)නිපුන් ධනංජය 63, අශේන් බණ්ඩාර 23, දුනිත් වෙල්ලාලගේ 20, ධනංජය ලක්ෂාන් 2/20, උදිත් මධුශාන් 4/45, නිශාන් පීරිස් 2/36
  • Team Galle– කඩුලු 5ක් දැවී 87 ((30.0)ලක්ෂාන් එදිරිසිංහ 21, විශාද් රන්දික නොදැවී 36, නිසල තාරක 2/22

Team Jaffna සහ Team Dambulla

o ක්‍රීඩාංගණය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, කොළඹ

o කාසියේ වාසිය – Team Dambulla

කාසියේ වාසිය දිනා ගත් Team Dambulla ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 280ත් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් පවන් රත්නායක සහ සොනාල් දිනූෂ අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීම කැපී පෙණුනා. එහි දී ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලියෝ ෆ්‍රැන්සිස්කෝ සහ සනෝජ් දර්ශික ලකුණු 79ක සබඳතාවක් එක් කළා.

එහි දී ලියෝ ෆ්‍රැන්සිස්කෝ පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත් අතර සනෝජ් දර්ශික පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා.

ඊට අමතර ව එම ඉනිම ගොඩ නැගීමේ දී පවන් රත්නායක සහ සොනාල් දිනූෂ එක් ව 5 වැනි කඩුල්ලට නොදැවී ලකුණු 137ක සබඳතාවක් එක් කලා. පවන් රත්නායක පන්දු 156කට මුහුණ දෙමින් හරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 80ක් රැස් කරගෙන සිටි අතර සොනාල් දිනූෂ පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 64ක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී රවිඳු ප්‍රනාන්දු ලකුණු 87කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව ශෂික දුල්ශාන් සහ ජනිත් ලියනගේ කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Team Dambulla– කඩුලු 4ක් දැවී 280 (60.0) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 35, සනෝජ් දර්ශික 40, මිනෝද් භානුක 47, පවන් රත්නායක නොදැවී 80, සොනාල් දිනූෂ නොදැවී 65, රවිඳු ප්‍රනාන්දු 2/87

මෙම තරග හෙට (17) දෙවැනි දිනයට පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<