රවිඳු ජයනාත් පහසු ජයක් සමඟ ඉදිරි වටයට

Commonwealth Games 2026

1
Commonwealth Games 2026

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනයට අදාළ ව තවත් තරග ඉසව්‍ රාශියක් ඊයේ (25) දිනයේ දී ක්‍රියාත්මක වුනා.

මෙහි දී රිද්මයානුකූල ජිම්නාස්ටික් ක්‍රීඩා ඉසව්වේ ඒකල සුදුසුකම් ලැබීමේ වටයට (Balance Beam) සහභාගී වූ ටියානා සුමනසේකර විසින් ලකුණු 11.050ක් සමඟ 28 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වූ අතර, කාන්තා All Around සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගී වූ නුයාරා ප්‍රනාන්දු විසින් ලකුණු 38.300ක් සමඟ 35 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා.

මේ අතර පිරිමි බොක්සිං Lightweight 60Kg ක්‍රීඩකයින් 32 තරග වටයට සහභාගී වූ රවිඳු ජයනාත් විසින් සොලමන් දූපත් නියෝජනය කළ Max Makana 5-0ක් ලෙස පරාජය කරමින් ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

මේ අතර පිරිමි Light Heavyweight 80Kg බර පන්තිය යටතේ ක්‍රීඩකයින් 32 තරග වටය නියෝජනය කළ සිතිජ සුදම්ම කැනඩා ක්‍රීඩක Joshua Ofori හමුවේ පරාජය වුනා.

මේ අතර ඊයේ දිනය තුළ ද පිහිනුම් තරග ඉසව් ක්‍රියාත්මක වූ අතර, මෙහි දී කාන්තා මීටර් 100 පසුපස ආර දෙවැනි මූලික වටයේ තරගය නියෝජනය කළ මිනගි රූපසිංහ විසින් මිනිත්තු 1.06.52ක තරග නිමි කාලයක් සමඟ 03 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වූ අතර, මූලික වටයේ සමස්ත ක්‍රීඩිකාවන් අතරින් 25 වැනි ස්ථානය ඇයට හිමි වුනා.

එමෙන්ම M.F.Muhammad පිරිමි මීටර් 50 නිදහස් ආර ක්‍රීඩා ඉසව්වේ මූලික වටය නියෝජනය කළ අතර, මෙහි දී තත්පර 24.17ක තරග නිමි කාලයක් සමඟ සිය තරග වටයේ දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ඔහුට හැකියාව ලැබුණු අතර, මූලික වටය නියෝජනය කළ සමස්ත ක්‍රීඩකයින් අතරේ 39 වැනි ස්ථානයයි ඔහුට හිමි වුනේ.

මේ අතර ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වන අද (26) දිනය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ම පදක්කම් බලාපොරොත්තු සමඟ තරග බිමට පිවිසීමට නියමිතයි.

බර ඉසිලීම

  • පිරිමි 60Kg – සුපුන් සෝමතිලක – සවස 2.00
  • කාන්තා 48Kg – උපමාලිකා ගුණතිලක – සවස 6.30
  • පිරිමි 65Kg – සඳූ ජයවර්ධන – රාත්‍රි 11

මෙම තරග සියල්ල අවසන් මහා තරග ලෙස පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවට මෙහි දී පදක්කම් බලාපොරොත්තු තබා ගත හැකියි.

බොක්සිං

  • රුක්මල් ප්‍රසන්න – පිරිමි Bantamweight 55Kg – Round of 16

පිහිනුම්

  • මිනගි රූපසිංහ – කාන්තා 100m නිදහස් ආර

ක්‍රීඩා උළෙලේ දින දෙකක් නිමා වන විට රටවල් 10ක් පදක්කම් සටහනට පිවිසීමට සමත් වී ඇති අතර, එහි පෙරමුණ ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව විසින් සමත් වී සිටින්නේ රන් පදක්කම් 12ක් සමඟිනුයි.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා  පිවිසෙන්න <<