ආදරවන්තයින්ගේ සටන ඇරඹෙයි; පළමු දිනයේ වැඩි වාසි මහින්ද විද්‍යාලයට

Lover's Quarrel 2023

333

ආදරවන්තයින්ගේ සටන ලෙස විරුදාවලි ලබමින් ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර 118 වැනි වරට පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය අද (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

කොරෝනා වසංගතය හේතුවෙන් තෙවසරකට පසුව ප්‍රේක්ෂකයින්ට තවත් ආදරවන්තයින්ගේ ගැටුමක සිරි අසිරිය ක්‍රීඩා පිටියටම ගොස් විඳ ගැනීමට අවස්ථාව ලබා දෙමින් ආරම්භ වුන මෙම තරගය නැරඹීමට පාසල් දෙකම නියෝජනය කරමින් විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් සිටි බව තරගය ආරම්භයේ පටන්ම දැක ගැනීමට ලැබුණා.

මෙහි දී තරගයේ කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් නායක තරින්ද නිර්මාල් විසින් සිය දඟපන්දු යවන්නන් කෙරේ විශ්වාසය තබමින් මහින්ද විද්‍යාලයට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඇරයුම් කළේ මහින්ද පළමු ඉනිම ඉතා ඉක්මනින් නිමා කිරීමේ බලාපොරොත්තුව ඇතිවයි.

ඒ අනුව රිච්මන්ඩ් විද්‍යාලය විසින් ලබා දුන් අභියෝගයට පිළිතුරු බැඳීමට මහින්ද ආරම්භක පිතිකරු යුගලය වන දිනුර කළුපහන සහ ප්‍රමේශ් මදුභාෂණ පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනා විසින් මහින්ද ඉනිම වෙනුවෙන් වේගවත් ශතක සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා.

එහි දී ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තරග සංචාරයක පවා යෙදීමට නියමිතව සිටින දිනුර කළුපහන විසින් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 67කින් ලකුණු 75ක් ලබා ගැනීමට සමත් වූ අතර මහින්ද ඉනිමේ 24 වැනි පන්දුවාරයේ දී ශාරෝන් අභිෂේක්ගේ පන්දුවකට විශාල පහරක් එල්ල කිරීමට යාමේ දී උඩ පන්දුවක් ලබා දීමෙන් දිනුරගේ ඉනිම නිමා වුනා.

නමුත් ඒ වන විට මහින්ද විද්‍යාලයට අවශ්‍ය වූ ශක්තිමත් අඩිතාලම දැමීමට සමත් වූ දිනුර තමන්ට නියමිත කාර්ය භාර්‍යය ඉටු කර තිබූ අතර ඔහුගෙන් පසුව පිටියට පිවිසුණේ මහින්ද නායක ධනුජ ඉඳුවරයි.

මෙවර තරග වාරය තුල මහින්ද විද්‍යාලය වෙනුවෙන් ඉහළම ලකුණු ලාභියා බවට පත් වී ඇති ධනුජ අද දිනයේ ද සිය සාර්ථක පිතිකරණය මානවට පැහැදිලි කරමින් රිච්මන්ඩ් පන්දු යවන්නන්ව අන්ත අසරණ කර දැමීමට සමත් වුනා.

කෙමෙන් කෙමෙන් මහින්ද ඉනිම ඉදිරියට ගෙන ඒමට ධනුජ සහ ඔහුගේ සහයට එක් වූ සෙසු පිතිකරුවන් සමත් වූ අතර මහින්ද ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස ධනුජගේ ඉනිම නිමා වන විට මහින්ද ඉනිම ලකුණු 277 ක් ලෙස සටහන් වුනා.

මෙහි දී මහින්ද විද්‍යාලයීය නායක ධනුජ ඉඳුවර විසින් ඉතිහාසගත ඉනිමක් දියත් කරමින් ලකුණු 101ක් ලබා ගැනීමට සමත් වූ අතර ධනුජගේ ශතකය වසර හතකට පසුව ආදරවන්තයින්ගේ ක්‍රිකට් තරගයක දී වාර්තා වූ පළමු ශතකය බවට පත් වුනා.

එමෙන්ම 1998 වසරේ දී තුශාර රූපසිංහ විසින් ආදරවන්තයින්ගේ ක්‍රිකට් ගැටුමක දී මහින්ද විද්‍යාලය වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමෙන් පසු වසර 25ක ඇවෑමෙන් ධනුජ මෙම ශතකය වාර්තා කරන තෙක් කිසිදු මහින්ද විද්‍යාර්ථීයකු ශතකයක් ලබා ගෙන තිබුණේ ද නැහැ.

ඒ අනුව ධනුජගේ ඉනිම මගින් 2023 ආදරවන්තයින්ගේ සටන ඉතිහාසගත තරගයක් බවට පත් කිරීමට සමත් වූ බව ලෙස සැලකිය හැකි. එමෙන්ම ධනුජගේ දැවී යාමෙන් අනතුරුව තවත් ඉක්මන් ලකුණු 49ක් ලකුණු පුවරුවට එක් කිරීමෙන් පසුව සිය ඉනිම අත්හිටුවීමට මහින්ද විද්‍යාලය පියවර ගත් අතර ඒ වන විට ඔවුන්ගේ ලකුණු පුවරුව දිස් වුනේ 316/8ක් ලෙසයි.

මෙහි දී මහින්ද ඉනිම වෙනුවෙන් ධනුජට සහ දිනුරට අමතරව ප්‍රමේශ් මදුභාෂණ විසින් ලකුණු 38ක් එක් කිරීමට සමත් වුනා.

එමෙන්ම රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නායක තරින්ද නිර්මාල් ලකුණු 81කට කඩුලු 3ක් ද, මල්ෂ තරුපති විසින් කඩුලු 2ක් ද බිඳ හෙලීමට සමත් වුනා.

දිනය නිමා වීමට සීමිත පන්දුවාර ප්‍රමාණයක් ඉතිරිව තිබිය දී රිච්මන්ඩ් විද්‍යාලයට පන්දුවට පහර දීමට ආරාධනා ලැබීමෙන් පසුව රිච්මන්ඩ් ආරම්භක පිතිකරු යුගලය වන චෙහාන් සුභසිංහ සහ භානුක මනෝහර පිටියට පිවිසුණු අතර ඔවුන්ගේ ආරම්භ කඩුල්ලේ සබඳතාව ලකුණු පහකට සීමා කරමින් භානුක ලකුණු තුනක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට මහින්ද විද්‍යාලයීය ක්‍රීඩක ශෙහාන් හසරංග සමත් වුනා. ඉන්පසුව චෙහාන් සමඟ පිටියේ එකතු වුනේ තමිඳු ප්‍රදීප්තයි.

නමුත් ඉන්පසුව දිගින් දිගටම මහින්ද පන්දු යවන්නන් විසින් අභියෝගාත්මක පන්දු යැවීමක නිරත වූ අතර රිච්මන්ඩ් විද්‍යාලයීය පිතිකරුවන් ඉවසීමෙන් යුතුව පන්දුවට මුහුණ දෙන අයුරු දැක ගන්නට ලැබුණා.

ටිකෙන් ටික පිටියේ ස්ථාවර වීමත් සමඟින් චෙහාන් විසින් ලකුණු අතරට පිවිසීමට සමත් වුනා. නමුත් ඔහු විසින් ලකුණු 48ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙස සිය කඩුල්ල මුවා වීමේ වරදට හසුවීමෙන් දැවී ගිය අතර, ඒ වන විට රිච්මන්ඩ් ලකුණු පුවරුව ලකුණු 68ක් ලෙස දිස් වුනා. චෙහාන්ගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි ශරෝන් අභිශේක් හට මුහුණ දීමට හැකි වුනේ පන්දු දෙකකට පමණයි.

තරගයේ සිය දෙවැනි පන්දුවාරය යොමු කරමින් සිටි කවීන් රුක්ශාන් විසින් පන්දු තුනක් තුල රිච්මන්ඩ් කඩුලු දෙකක් බිඳ හෙළමින් පළමු දිනයේ අවසාන මොහොතේ දී තරගයේ වාසිය මහින්ද විද්‍යාලය දෙසට හැරවීමට සමත් වුනා.

ඒ අනුව දිනය නිමා වන විට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 74ක් රැස්කර ගෙන සිටි අතර නොදැවී කඩුල්ලේ රැඳී සිටි තමිඳු ප්‍රදීප්ත සහ නායක තරින්ද නිර්මාල් විසින් පිළිවෙළින් ලකුණු 9ක් සහ 6ක් බැගින් ලබා සිටියා.

මේ වන විට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 7ක් අතැතිව මහින්ද පළමු ඉනිමට වඩා ලකුණු 242ක් පිටුපසින් සිටිනවා.

හෙට (18) තරගයේ දෙවැනි සහ අවසාන දිනයයි.

    • ගාල්ල මහින්ද විද්‍යාලයේ පළමු ඉනිම – 316/8 ( 73.5 )

ධනුජ ඉඳුවර 101, දිනුර කළුපහන 75, ප්‍රමේශ් මදුභාෂණ 38, හිරුණ ගාල්ලගේ 30 , තරින්ද නිර්මාල් 3/81 , මල්ශ තරුපති 2/78

  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ පළමු ඉනිම – 74/3 (20.3)

චෙහාන් සුභසිංහ 48 , තමිඳු ප්‍රදීප්ත 9,  ශෙහාන් හසරංග 1/18, කවීන් රුක්ශාන් 2/10

2019 වසරෙන් පසුව කිසිදු කණ්ඩායමක් මෙම ආදරවන්තයින්ගේ සටන ජයග්‍රහණය කිරීමට සමත් වී නොමැති අතර එවර තරගය ජයග්‍රහණය කළේ රිච්මන්ඩ් විද්‍යාලය විසිනුයි. මහින්ද විද්‍යාලය අවසන් වරට ආදරවන්තයින්ගේ සටනක ජයග්‍රහණය අත්විඳ ඇත්තේ 2008 වසරේ වන අතර, මේ වන විට තරගයේ ඉදිරියෙන් පසුවන මහින්ද විද්‍යාලයට එම ඉතිහාසය අලුතින් ලිවීමට හෙට දිනයේ හැකි වේ දැයි අපි විමසිල්ලෙන් බලා සිටිමු.

තරගයේ පළමු දිනය මෙන්ම දෙවන දිනය ද ThePapare.com වෙතින් මෙන්ම Dialog TV නාලිකා අංක 70 සහ Dialog viu හරහා සජීවිව නැරඹීමට ඔබට හැකියාව ලැබෙනවා.

එමෙන්ම තරගය අවසානයේ දිනයේ ද සියලු සිදුවීම් සවිස්තරාත්මකව ගෙන ඒමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<