Los Angeles මැරතන් තරගය නැවත වරක් කල් යයි

123

මෙම වසරේ මැයි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සුප්‍රකට Los Angeles මැරතන් තරගය පවතින කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් වසර අවසානය තෙක් කල් දැමීමට එහි සංවිධායකයින් තීරණය කර ඇත.

මෙම වසරෙ මාර්තු මස 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය පසුගිය නොවැම්බර් මාසයේ දී මැයි 23 වැනිදා දක්වා කල් දැමීමට එහි සංවිධායකයින් තීරණය කර නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ පවතින කොරෝනා තත්වය නිසාවෙන් එය නැවත වරක් කල් දැමීමට තීරණය කර තිබේ. 

මැරතන් තරගයට අමතරව එයට සමගාමීව පවත්වන ඉසව්වන් වන Rose Bowl අර්ධ මැරතන් තරගය, Rose Bowl මීටර් 5000 මාර්ග සහ LA Big මීටර් 5000 තරග ද කල් දැමීමට සංවිධායකයින් තීරණය කර තිබුණි.

මෙම තරගාවලිය නැවත වරක් කල් දැමීමට සිදුවීම පිළිබඳව සිය අදහස් දක්වමින් එහි සංවිධායකයින් වන McCourt Foundation ප්‍රකාශ කර සිටියේ ලොස් ඇන්ජලිස් ප්‍රදේශයේ වර්තමාන වසංගත තත්වය සහ එන්නතට ප්‍රතිචාර දැක්වීමේ වේගය සැලකිල්ලට ගනිමින් මෙම තරග සියල්ල නැවත වරක් කල් දැමීමට තීරණය කළ බවයි.

“අපි දැනට තරගාවලිය පවත්වන දින තෝරාගැනීම සඳහා එම සත්කාරක නගර සහ ස්ථාන ගවේෂණය කරමින් සිටින්නේ. එම ක්‍රියාවලියට සති කිහිපයක් ගත වෙන නමුත් අපි හැකි ඉක්මනින් එම දින ප්‍රකාශයට පත් කරන්න සූදානම්.

අපගේ ක්‍රීඩකයන්ගේ, ස්වේච්ඡා සේවකයන්ගේ සහ සියලූම නිලධාරීන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දීලයි අපි තීරණ ගන්නේ. මෙම තත්වය තේරුම් ගැනීම පිළිබඳව අප ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට අපගේ ස්තුතිය පුද කර සිටිනවා. තත්වය සාමාන්‍ය වූ වහාම ඉතාමත් හොඳ තරග අත්දැකීමක් ලබා දීමට අපි බලාපොරොත්තුවෙන් පසුවෙනවා” යැයි ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

තවත් මලල ක්‍රීඩා පුවත්:

පසුගිය වසරේ Los Angeles මැරතන් තරගය මාර්තු මස 08 වැනිදා කොරෝනා වසංගත තත්වය යටතේ පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කර තිබූ අතර එහි පිරිමි සහ කාන්තා කාණ්ඩවල ජයග්‍රහණ දිනා ගැනීමට Bayelign Teshager සහ Margaret Muriuki සමත් විය.

1986 වසරේ සිට පැවැත්වෙන මෙම මැරතන් තරගය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව සහභාගි වේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<