විනුර ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කරයි

158

ඉතාලියේ පැවති ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියක් සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක විනුර ලක්මාල් මීටර් 200 ගෘහස්ථ ශ්‍රී ලංකා වාර්තාව නැවත වරක් අලුත් කිරීමට සමත් විය.

තරගාවලියේ මීටර් 200 ඉසව්ව තත්පර 21.97ක කාලයකින් අවසන් කිරීමට සමත් වූ විනුර මීට වසර 16කට පෙර එනම් 2005 වසරේ දී එම ඉසව්ව තත්පර 22.20ක කාලයකින් අවසන් කරමින් ඔහු විසින්ම පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාව නැවත බිඳ හෙළීමට සමත් විය.

එම දස්කමත් සමඟින් එම තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඔහු සමත් වූ අතර එම තරගය සඳහා ක්‍රීඩකයන් 109 දෙනෙකු සහභාගි වීම ද කැපී පෙනුනි.

මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලි සඳහා සහභාගී වීමට ලැබෙන අවස්ථාවන් ඉතාමත් අඩු වීම නිසාවෙන් මෙවැනි දස්කම් වාර්තා කිරීමට ඔවුන් සමත් වීම මලල ක්‍රීඩා අනාගතයට සුබදායී කරුණකි.

තවත් මලල ක්‍රීඩා පුවත්:

එමෙන්ම නැවත වරක් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් වීම පිළිබඳව “අරුණ” පුවත්පත වෙත අදහස් දක්වමින් විනුර ප්‍රකාශ කර තිබුණේ,

“මේ අවුරුද්දේ මම දුවපු මුල්ම තරගයයි මේක, මම පසුගිය වසරේ දක්වපු දස්කම්වලට වඩා මෙහි තරගය නිමා කළ කාලය තත්පර 8ක් පමණ ඉදිරියට ආවා. එක් වංගුවක දී පොඩි ලිස්සීමක් ආවත් බලාපොරොත්තු කිහිපයක්ම තියෙනවා. ගොඩක් අය මාව පහළට ඇදලා දැම්මා නමුත් මම ඒවා හිතන්නේ නැතුව මහන්සියෙන් ඉස්සරහටත් රට වෙනුවෙන් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.”

විනුර ඉතාලියේ වාසය කරමින් පුහුණුවීම් කටයුතු සිදු කරන අතර ඔහු මේ දිනවල වඩාත්ම කතාබහට ලක් වූ ක්‍රීඩකයෙකු වන යුපුන් අබේකෝන් සමඟින් ඉතාලි පුහුණුකරුවෙකු වන ක්ලවුදියෝ ලිවර්දෙල්ලෝ යටතේ පුහුණුවීම් කටයුතු සිදු කරයි.

මෙම වසර තුළ දී බිඳ වැටුණු දෙවන ගෘහස්ථ ජාතික වාර්තාව මෙය වන අතර මීට දින කිහිපයකට පෙර යුපුන් අබේකෝන් විසින් මීටර් 60 ගෘහස්ථ ජාතික වාර්තාව අලුත් කිරීමට සමත් විය.

“අරුණ” පුවත්පතේ පල වූ ලිපියක් ඇසුරිනි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<