මංජුල කුමාර නැවතත් දස්කම් අතරට

343
Manjula Kumar

ඕස්ට්‍රේලියාවේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වූ හිටපු ශ්‍රී ලාංකික උස පැනීමේ ශූර මංජුල කුමාර එම තරගාවලියේ උස පැනීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පැවති Victoria Country Championship තරගාවලියේ උස පැනීමේ ඉසව්වේ මීටර් 2.02ක දස්කමක් දක්වමින් ඔහු මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.

එම ඉසව්වේ රන් පදක්කම මීටර් 2.20ක දස්කමක් දැක්වූ එරට ක්‍රීඩක Yual Reath විසින් දිනා ගැනීමට සමත් වූ අතර මීටර් 2.02ක දස්කමක් දැක්වූ Liam Tully හට ලෝකඩ පදක්කම හිමි විය.

පාසල් වියේ සිටම උස පැනීමේ ඉසව්වෙන් ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ මංජුල 2001 වසරේ දී ජාතික පිටියේ සිය නාමය සටහන් කිරීමට සමත් වූ අතර 2004 වසරේ දී උස පැනීමේ ඉසව්වෙන් දකුණු ආසියානු ශූරයා වීමට ද ඔහුට හැකි විය.

තවත් මලල ක්‍රීඩා පුවත්:

එමෙන්ම 2004 වසරේ දී උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.27ක දස්කමක් දක්වමින් එම ඉසව්වේ ජාතික වාර්තාව පිහිටුවීමට සමත් වූ ඔහු මෙරට නියෝජනය කරමින් 2004 ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමට සමත් විය.

එමෙන්ම 2005 සහ 2009 වසරවල දී උස පැනීමේ ඉසව්වෙන් ආසියානු ශූරයා වීමට ද සමත් වූ මංජුල සිය වසර 18ක ක්‍රීඩා දිවිය නිමා කරමින් 2019 වසරේ දී ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට තීරණය කළ බව ප්‍රකාශ කළේය.

මෙරට බිහි වූ විශිෂ්ටතම උස පැනීමේ ක්‍රීඩකයා ලෙස සැලකෙන මංජුල කුමාර සිය ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීමට ද තීරණය කළ ද, 2004 වසරේ උස පැනීමේ ඉසව්වෙන් ඔහු පිහිටවූ ජාතික වාර්තාව වසර 17ක් ගත වූවද බිඳ හෙළීමට කිසිවෙකුට හැකි වී නැත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<