2023 අළුබඳුනේ පසු කම්පන

The Ashes 2023

6511

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු Brendon McCullumට අනුව 2023 අළුබඳුන තරගාවලියේ අතරමැද දී ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තිබුණු සුහදත්වය පළුදු වුනා. 

“අපි නම් තව කාලයකට එකට ඉඳ ගෙන බියර් එකක් වත් බොයි කියලා මට හිතෙන්නේ නැහැ.” 

තරග 2-0ක් විදිහට තරගාවලියේ මුල් තරග ද්විත්වය ම පරාජය වුන දුකත් එක්ක McCullum එහෙම කිව්වට, තරගාවලිය 2-2ක් ලෙස සම තත්වයෙන් අවසන් කරායින් පස්සේ තමන් ඒ සිදු කළ ප්‍රකාශය ටිකක් වෙනස් කරන්න McCullum විසින් තීරණය කරනවා. 

“ඔව්, අපි බියර් එකක් බෝවී. 

මම හිතන්නේ ඒ ටෙස්ට් තරගය දෙස ආපසු හැරිලා බැලුවොත් මම කියපු දේ හරි හැටි අර්ථකතනය වුනා කියලා මම හිතන්නේ නැහැ. මම කිව්වේ මම කලින් වැරදි කරලා තියෙනවා. ඒ වගේම මම ඒ දෙස හැරිලා බලන වෙලාවල් තියෙනවා කියලා.” 

තමන්ගේ තරුණ කාලයේ කරපු දේවල් ගැන පසු කාලයේ දී ක්‍රීඩකයින් පසු තැවෙන්න ඉඩ තියෙන බව තමන් කියන්න උත්සාහ කළා කියලයි McCullum කියන්නේ. හරියට 2006 දී මුත්තයියා මුරලිදරන්ව දුවද්දී දවා ගැනීම පිළිබඳ ව ඊට වසර 10කට පසුව Baz විසින් දුක් වුනා වගේ.

සංස්කෘතික හැප්පීම 

මෙවර අළුබඳුන තරගාවලිය සරලවම යෝග්‍යතා පරීක්ෂණයක් ලෙස හඳුන්වලා දෙන්න පුළුවන්. 

Stokes සහ McCullum සුසංයෝගය එක්ක හැදුණු Bazball ක්‍රිකට් ක්‍රීඩා රටාව එක පසෙකින් බලා හිඳිද්දී, ක්ලැසික් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියාව අනෙක් පසින් ඉන්නවා. 

එංගලන්තය ආක්‍රමණශීලී ක්‍රිකට් ක්‍රීඩා කරද්දී, ඕස්ට්‍රේලියාව ඉවසීම ප්‍රගුණ කළ ක්‍රීඩාවක් සමඟ අවශ්‍ය මොහොතේ දී ආක්‍රමණශීලී වීමේ රටාවක් අනුගමනය කරනවා. 

රැප් (හිපොප්) සංගීතය කියන්නේ ලෝකයේ අද වෙද්දී ඉහළ පිළිගැනීමකට ලක් වෙන සංගීත සංස්කෘතියක්. මේක ලංකාවෙත් යම් තරමකට ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ රැප් සංස්කෘතිය ඇතුළේ රසිකයින් බෙදෙන ප්‍රධාන කොට්ඨාස දෙකක් විදිහට Old School Rap සහ New School Rap හඳුන්වලා දෙන්න පුළුවන්. 

(අලුත් පැරණි භේදය හඳුන්වා දෙන්න Old School සහ New School වචන පාවිච්චි කරනවා.) 

මේ දෙකේ වෙනස එකින් එක පැහැදිලි කරනවාටත් වඩා, අපේ මාතෘකාවට වැදගත් වෙන්නේ මෙන්න මේ රැප් සංස්කෘතික රටා දෙකේ හැප්පීම. මේක ලංකාවේ දී වුනත් යම් පමණකට දැක ගන්න පුළුවන්. 

මේ සංකෘතීන් දෙක අතර ගැටීම නිතරම මතවාද සහ මතභේද නිර්මාණය කරනවා.  

එංගලන්තය අද ක්‍රීඩා කරන Bazball කියන New School Cricket සහ ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කරන Od School Cricket අතර පවතින්නෙත් මෙන්න මේ විදිහේ ගැටීමක්. 

2023 අළුබඳුන තරගාවලියේ පළමු තරග දෙක ම ඕස්ට්‍රේලියාව විසින් ජයග්‍රහණය කිරීම මේ Old School Cricket වෙනුවෙන් පෙනී සිටින රසිකයින්ට දිව ඔසුවක් වුනා. නමුත් තෙවැනි තරගයේ සිට එංගලන්තය විසින් නැවත තරගාවලියට අවතීර්ණ වෙමින් New School Cricket එහෙම නැත්නම් Bazball වෙනුවෙන් කතා කරන පිරිසට ජීවය ලබා දෙන්න සමත් වුනා. 

දත්ත සහ සංඛ්‍යා මත හැප්පීම 

මෙවර අළුබඳුන තරගාවලිය 2-2ක් ලෙස අවසන් වීම නිසා වත්මන් අළුබඳුන ශූරයින් ලෙස ඕස්ට්‍රේලියාව සන්තකයේ ම තවදුරටත් අළුබඳුන කුසලානය නතර වුනා. නමුත් සමස්ත තරගාවලියේ වැඩි ගෞරවය එංගලන්තය දෙසට හැරුණු බව මේ වෙද්දී බහුතර මතය වෙලා තියෙනවා. 

විශේෂයෙන්ම තරගාවලියේ සිව්වැනි තරගයට වර්ෂාවෙන් බාධා එල්ල නොවුනා නම් මේ තරගාවලියේ තීරණය 3-2ක් ලෙස අවසන් වෙන්න විශාල ඉඩක් තිබුණු බවත් නොරහසක්. 

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙන්න සමත් වුනේ ඕස්ට්‍රේලියානු පිතිකරු Usman Khawaja විසින්. ඔහු විසින් ඉනිම් 10ක් තුළ ලකුණු 496ක් ලබා ගන්න සමත් වෙනවා. තරගාවලියේ දෙවැනියට වැඩිම ලකුණු ලාභියා බවට පත් වුන එංගලන්තයේ Zak Crawley ඉනිම් 9ක දී ලකුණු 489ක් ලබා ගන්න සමත් වෙනවා. 

නමුත් මෙතන දී අවධානය යොමු විය යුතු ම කාරණයක් තමයි මේ දෙදෙනාගේ පිතිකරණයන් වල ප්‍රහාරාත්මක වේගය. Khawaja තමන්ගේ ප්‍රහාරාත්මක වේගය 39.27ක රඳවා ගනිද්දී Crawley විසින් එය 88.72ක් වැනි ඉහළ අගයක එය පවත්වා ගන්න සමත් වෙනවා. 

මේ 88.72ක ප්‍රහාරාත්මක අගය ටෙස්ට් ක්‍රිකට් තරගයකට විතරක් ම නෙවෙයි, ලකුණු 250ක් පමණ රැස් කරන එක්දින ක්‍රිකට් තරගයක දී වුනත් සෑහෙන්න හොඳ ප්‍රහාරාත්මක අගයක්. 

මෙවර තරගාවලියේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තියෙන ප්‍රධානතම වෙනසක් විදිහට මේ ප්‍රහාරාත්මක වේගය හඳුන්වලා දෙන්න පුළුවන්. 

තරගාවලියේ දී සමස්ත ලකුණු 100ට වඩා ලබා ගත්ත ක්‍රීඩකයින් අතුරින් වැඩිම ප්‍රහාරාත්මක වේගය සටහන් වෙලා තියෙන්නෙත් Crawleyගේ නම ඉදිරියෙන්. ඊට අමතරව Joe Root, Harry Brook, Jonny Bairstow සහ Ben Duckett යන පිතිකරුවන් සියල්ල ම එංගලන්තය වෙනුවෙන් තමන්ගේ ප්‍රහාරාත්මක වේගය 70ට වඩා ඉහළින් පවත්වා ගෙන යන්න සමත් වෙනවා.  

නමුත් ඕස්ට්‍රේලියාව පාර්ශවය පිළිබඳ සැලකුවොත් ඒක තරමක් වෙනස්. Travis Head (71.11) හැරුණු කොට වෙන කිසිම පිතිකරුවෙක් 70ට එහා ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගන්න සමත් වෙන්නේ නැහැ.

ඕස්ට්‍රේලියාව තරග පරාජය වෙන්න ඔවුන්ගේ අඩු ප්‍රහාරාත්මක වේගය හේතුවක් වුනා කියලා කියන්න බැරි වුනත්, එංගලන්තයට සිය අවසන් ටෙස්ට් තරග තුනේ දීම වැඩි වාසිය තමන් සතු කර ගන්න මේ ආක්‍රමණශීලී පිතිකරණ රටාව හේතුවක් වුන බව නම් සැකයකින් තොරව කියන්න පුළුවන්. 

තවත් විශේෂතම දෙයක් තමයි එංගලන්තයේ මේ පිතිකරණ රටාව ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ටත් දැඩි ලෙස බලපෑම. තරගාවලියේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම කඩුලු ලාභීන් බවට පත් වුන Starc, Cummins සහ Hazelwood කියන වේගපන්දු යවන්නන් තිදෙනාගේ ම පන්දුවාරයකට ලකුණු ලබා දීමේ අගය ලකුණු 4 ඉක්මවා ගිහින් තිබුණා.  

ඒ වගේම කඩුල්ලක් දවා ගැනීම වෙනුවෙන් ලබා දුන්න ලකුණු සාමාන්‍ය අගය Starcගේ හැරෙන්න අනිත් දෙදෙනාගේ ම 30 සීමාව ඉක්මවලා ගිහින් තිබුණා. 

නමුත් එංගලන්තය පාර්ශවයෙන් ඉහළ සාර්ථකත්වයක් පෙන්වපු Mrak Wood, Stuart Broad සහ Chris Woakes තිදෙනා ම තමන්ගේ කඩුලු ලබා ගැනීමේ සාමාන්‍ය 30ට අඩුවෙන් පවත්වා ගන්න සමත් වුනා. ඒ විතරකුත් නෙවෙයි Woakesගේ සාමාන්‍ය අගය නම් 20ටත් අඩුවෙන් (18.14) තමයි සටහන් වෙලා තිබුණේ. 

දත්ත අනුව බැලුවහම නම් මේ තරගාවලියේ දී එංගලන්තයේ දක්ෂතා තරමක් ඉදිරියෙන් තියෙන බව පිළිගන්න සිදු වෙනවා. නමුත් තියුණු මුහුණුවරක් ගත්තු තරග හතරකින් දෙකක් ඕස්ට්‍රේලියාව විසින් ජයග්‍රහණය කරන්නත් සමත් වෙනවා. 

මේ නිසා අපිට එළඹෙන්න පුළුවන් අවසාන තීරණය තමයි මේ අළුත් සහ පැරණි ක්‍රීඩා රටා දෙකක ඝට්ටනය තුළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නම් ඉහළින් ම ජයග්‍රහණය කළා කියන දේ. 

එංගලන්තය පුහුණුකරු Baz ඒ ගැන සඳහන් කරන්නේ මේ විදිහට. 

“ඔබ මෙම තරගාවලිය ඕස්ට්‍රේලියාව සමඟ බෙදා ගන්නවා. ඔවුන් අළුබඳුන සමඟ ඉවත්ව යනවා. ඒ වගේම කණ්ඩායම් දෙක ම යන්නේ ජයග්‍රහණ දෙක බැගින් හිමි කර ගනිමින්.  

නමුත් මම හිතන්නේ දෙපාර්ශවය ම තමන්ගේ රටාවට එකඟ ව සිටියා සහ ඒ නිසා එය විශිෂ්ට Heavyweight සටනක් නිර්මාණය කළා කියලා. වෙනස් ක්‍රීඩා රටාවන් දෙකක් සහ ඔවුන් ඒ ගැන සිය උපරිම විශ්වාස තබනවා.” 

සුදුත් නැති කළුත් නැති අළු මිනිස්සු ක්‍රීඩා කළ අළුබඳුන 

කොහොම වෙතත් මෙවර අළුබඳුන තරගාවලියේ අතරමැද දී ඇති වුන Bairstowගේ දැවී යාම සම්බන්ධ සිදුවීමෙන් පසුව දෙරට අතර තිබුණු ද්වන්ද සංග්‍රාමය සෑහෙන්න උණුසුම් වුනා. ඒ වගේම මේ උණුසුම ක්‍රීඩා පිටියෙන් පිටතට යමින් දේශපාලනය, මාධ්‍ය වගේ එකී මෙකී නොකී තැන් පවා උණුසුම් කළා. 

තරගාවලිය සම මට්ටමින් අවසන් වීමෙන් පසුව ඒ උණුසුම ටිකෙන් ටික වියැකිලා යන්න පටන් ගන්නවා. නමුත් එක් වරම නැවතත් පරණ ගිනි දැල් වල ගිනි පුපුරු එකින් එක උඩට මතු වෙන අවස්ථා නැතුවමත් නෙවෙයි. 

අවසන් තරගය ජයග්‍රහණය කිරීම සමඟ සම මට්ටමින් තරගාවලිය අවසන් කිරීම සහ Stuart Broad, Moeen Ali දෙදෙනාගේ සමු ගැනීම නිසා එංගලන්තය ක්‍රීඩාගාරය සෑහෙන්න වෙලාවක් ක්‍රියාශීලී ව පවතිනවා . සාමාන්‍යයෙන් නම් තරගාවලිය අවසන් වීම නිසා ඔවුන්ගේ ප්‍රතිවාදීන් වුනු ඕස්ට්‍රේලියානු කණ්ඩායමටත් මේ වෙනුවෙන් ආරාධනා ලැබෙනවා. (2019 වසරේ දී එංගලන්තයේ දී පැවැත්වුණු අළුබඳුන තරගාවලියේ දී මේ දේ සිදු වුනා.) 

නමුත් මෙවර එංගලන්තය විසින් මේ ආරාධනය කරන්න තරමක් ප්‍රමාද වීමත් එක්ක ඕස්ට්‍රේලියාව ක්‍රීඩාංගණයෙන් පිට වෙලා යන්න තීරණය කරනවා. 

මේ සිදුවීම සමාජ මාධ්‍යජාලා තුළට පවා ඇදිලා එනවා. අවසානයේ එංගලන්ත නායක Stokes විසින් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරමින් කියලා තිබුණේ බලාපොරොත්තු වුනාට වඩා වෙලාවක් තමන්ගේ ජයග්‍රහණය සමරන්න ඔවුන්ට ගත වුනු බව සහ ඒ නිසා ක්‍රීඩාගාරයේ දී ඕස්ට්‍රේලියාව මුණ ගැසෙනවාට වඩා සමාජ ශාලාවක දී ඔවුන් සමඟ එකතු වීමට තමන් සහ කණ්ඩායම බලාපොරොත්තු වෙනවා කියලා. 

නමුත් එංගලන්තයෙන් තමන්ට ආරාධනාවක් ලැබීම හෝ නොලැබීම ඒ තරම් ගැටලුවක් නොවන බව තමයි ඕස්ට්‍රේලියානු ක්‍රීඩාගාර‍යේ නිර්නාමික පුද්ගලයෙක් ඕස්ට්‍රේලියානු මාධ්‍ය නාලිකාවක් වන Fox Sport වෙත සඳහන් කරලා තිබුණේ. 

” අපි ඇත්තටම ගණන් ගන්නේ නැහැ, අපිට අළුබඳුන ලැබුණා. නමුත් දැඩි සටනක් තිබුණු තරගාවලියකින් පසුව මේ වෙන දේවල් කණගාටුදායකයි.” 

කොහොම වෙතත් ඒ ගැටලුව නම් එහෙම්මම යට යන බවක් තමයි පෙනෙන්න තියෙන්නේ. 

ඒ වගේම තරගාවලියේ උණුසුම සමඟ මොන විදිහේ මතවාද ඇති වුනත් දැන් අතීතයේ වගේ අනවශ්‍ය ලෙස දුරදිග යන ගැටුම් ක්‍රීඩකයින්/කණ්ඩායම් අතර ඇති නොවෙන බව එංගලන්ත නායකයා සඳහන් කරනවා.

ඔහු මේ වෙනුවෙන් හේතුව විදිහට සඳහන් කරන්නෙ ලොව පුරා ව්‍යාප්ත වෙලා තියෙන ක්‍රිකට් ලීග් තරගාවලි වල දී විවිධ රටවල් වල ක්‍රීඩකයින් වසර ගණනක් තිස්සේ එකම කණ්ඩායමකට ක්‍රීඩා කිරීමෙන් ඇති වෙන නව්‍ය බැඳීම්. 

ඔහු ඒ වෙනුවෙන් හුවා දක්වන හොඳම උදාහරණය තමයි තමන් (Stokes) සහ ඕස්ට්‍රේලියාවේ Steven Smith විසින් IPL තරගාවලියේ දී වසර තුනක් පමණ එකම කණ්ඩායමක් (Rajasthan Royals) නියෝජනය කිරීම. 

ඒ වගේම තරගාවලිය අතරතුර අතිශය ජනප්‍රියත්වයක් ලබා ගත් වචනයක් වුන “ක්‍රීඩාවේ ජීව ගුණයවෙනුවෙනුත් එංගලන්තය පුහුණුකරු විසින් තමන්ගේ අදහස මේ විදිහට ඉතිරි කරන්නේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන දෙපාර්ශවය වෙනුවෙන් ම තමන්ගේ අදහස් වලින් ගෞරවය පුද කරන ගමනුයි. 

” එහි නිවැරදි හෝ වැරදි යමක් නැහැ. ඒ තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය වටා ඇති අළු පැහැති ප්‍රදේශය.  

කාලයේ ප්‍රයෝජනය ද සහිතව මම දන්නවා එම තත්වය තුළ මම කුමක් කළ යුතු ද යන්න. නමුත් ඔවුන්ට (අනෙක් අයට) තමන් කැමති දේ සිදු කිරීමට වැඩි අයිතියක් තියෙනවා.” 

McCullum විසින් ක්‍රීඩාවේ ජීව ගුණය ගැන සිදු කරන සඳහන තමයි මෙවර අළුබඳුන තරගාවලිය නතර කරන්න හොඳම තැන. 

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<