ස්තූතියි බ්‍රෝඩි!

4531
Stuart Broad
(Photo by Laurence Griffiths/Getty Images)

හෙට හෝ සඳුදා මගේ ක්‍රිකට් ක්‍රීඩාවේ අවසන් දිනය වනු ඇති. 

මට නොටිංහැම්ෂයර් සහ එංගලන්ත ලාංඡනය පැළඳගෙන ක්‍රීඩා කරන්නට ලැබීම පුදුමාකාර සතුටක්  සහ විශාල භාග්‍යයක්. 

පසුගිය සති කිහිපය තුළ මම සමුගැනීම ඒ ගැන සෑහෙන්න කල්පනා කළා. මට හිතෙන්නේ එයට සුදුසුම අවස්ථාව මේ අළුබදුන තරගාවලියයි.” 

දවස් කිහිපයකට කළින් මෙහෙම කිව්වේ ස්ටුවර්ට් බ්‍රෝඩ්.  

ස්ටුවර්ට් බ්‍රෝඩ් කිව්වාම එංගලන්ත කණ්ඩායම නියෝජනය කරපු දැවැන්ත නම් සමඟ ඉදිරියෙන්ම කියවෙන නමක් නෙවෙයි 

හැබැයි ස්ටුවර්ට් බ්‍රෝඩ් ටෙස්ට් තරග 160කට එහා ක්‍රීඩා කරන ගමන් කඩුලු 600කට එහා දවා ගන්න සමත් වෙනවා. ඒක සුවිශේෂී දස්කමක්. 

මේ වෙද්දී තරග තීරකවරයෙක් විදියට වැඩ කරන, කාලයක් එංගලන්ත කණ්ඩායම නියෝජනය කරපු ක්‍රිස් බ්‍රෝඩ් තමයි ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ තාත්තා. අළුබඳුන පුරාවෘත්තයක් නොවුනත් ජ්‍යෙෂ්ඨ බ්‍රෝඩ් සතුවත් අනර්ඝ අළුබඳුන වාර්තාවක් තියනවා.  

බ්‍රෝඩ්ගේ සමුගැනීම එක්ක හතරදිග්බාගයෙන් ඔහු වෙත සුබ පැතුම් පණිවිඩ නිකුත් කෙරුණා.  

“මම හැමදාම ක්‍රීඩකයෙක් මනින මිනුම්දණ්ඩක් තමයි දිගුකාලීනව ක්‍රීඩා කරන්න ඒ ක්‍රීඩකයාට තිබෙන හැකියාව. ඉහළම තලයේ දිගු කාලයක් ක්‍රීඩා කරනවා කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. ටෙස්ට් තරග 167ක් වේගපන්දු යවන්නෙක් විදියට ක්‍රීඩා කරනවා කියන එක ලේසි නෑ. ඔහු දවාගත් කඩුලු 600න් 150ක් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්. විවාදයක් නැහැ. ඔහු අළුබඳුන පුරාවෘත්තයක්.” 

මෙහෙම කියන්නේ කාලයක් ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ ප්‍රතිමල්ලවයෙක් වෙච්ච හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං. 

“ක්‍රීඩාව නතර කරන තැන තීරණය කරන්නට වරප්‍රසාද ලැබෙන්නේ අපෙන් ඉතා සුළු පිරිසකට පමණයි. බ්‍රෝඩිට එය ලැබිය යුත්තක්. මම ඔහු ස්කයි ස්පෝර්ට්ස් හරහා ඔහුගේ විශ්‍රාම ගැනීම නිවේදනය කරන ආකාරය දුටුවාම මහත් සංවේගයක් ඇති වුනා. 

සැබවින්ම ඔහු ක්‍රීඩා කරන ආකාරය නැරඹීම මට මග හැරෙනු ඇතැයි විශ්වාස කරනවා. 1986-87 ඕස්ට්‍රේලියාවේ පැවති අළුබඳුන තරගාවලි ජයග්‍රහණයෙන් පසු ඕස්ට්‍රේලියානු භූමියේ දී අළුබඳුන ජය ගත් කණ්ඩායමෙන් සහ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පත් වූ එංගලන්ත කණ්ඩායමෙන් දැන් ඉතිරිව ඇත්තේ ජේම්ස් ඇන්ඩර්සන් පමණයි.  

උඹ වෙනුවෙන් මම බෝතලයක් ලෑස්ති කරලා තියෙන්නේ. හැබැයි, ඊට කලින් උඹට දකුණු ලන්ඩනයේ වැඩක් ඉවර කරන්න තියෙනවා.” 

Sunday Times වෙනුවෙන් කොලමක් ලියමින් ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ හිටපු නායකයා ඇලිස්ටෙයාර් කුක් පැවසුවා. 

මට ඔහු ගැන ඇත්තේ විශාල ගෞරවයක් මිස අන් කිසිවක් නොවේ. බ්‍රෝඩි ඔහුගේ 600 වැනි ටෙස්ට් කඩුල්ල ලබා ගත්තාට පසු දිනෙක මා ඔහු සමඟ කතා කළා. ඔහු කවරදාකටත් වඩා ක්‍රීඩාව වින්දනය කරමින් හිටියේ. 

මෙය ක්‍රීඩකයෙකුගේ ජීවිතයේ විශාල තීරණයක්. ඒ වගේම ඒක ඔබ දැනගත යුතුයි. ඔහු තීරණාත්මක අවස්ථාවන්ට, පීඩන තත්වයන්ට ආදරය කරන්නෙක්. එය ශූරයෙකුගේ සැබෑ සලකුණක්. මම හිතන්නේ ඔහු දිගු කලක් තිස්සේ එංගලන්තයට ඇදහිය සේවයක් කළ අයෙක්. 

BBC Test Match Special වැඩසටහනට එක්වූ ග්ලේන් මැග්‍රාත් පැවසුවා. 

“මම හිතන්නේ නැහැ අපි නැවත කිසිම දිනෙක කඩුලු 600ක් දවා ගන්නා වේගපන්දු යවන්නෙක් දකීවි කියලා. මම හිතන්නේ නැහැ ක්‍රීඩාව කෙරෙන විදිය ඒකට ඉඩ දෙයි කියලා.  

ඉතින් චියර්ස්, බ්‍රෝඩි. මම ඔබ සමඟ වැඩි කාලයක් ක්‍රීඩා කරලා නැහැ. නමුත් පහුගිය අවුරුදු 16 පුරාවට ක්‍රීඩකයෙක් සහ පුද්ගලයෙක් වශයෙන් ඉහළ මට්ටමේ වර්ධනයක් දැකීමට ලැබීම සතුටක්.  

ඔබ ඊළඟ පරම්පරාවට ආදර්ශයක්. මේ හරහා ඔබ ඊළඟ පරම්පරාවේ ක්‍රීඩකයින් පිරිසක් උද්දීපනය කරාවි.” 

ස්ටුවර්ට් බ්‍රෝඩ් හට සිය පළමු ටෙස්ට් කැප් තොප්පිය ලබා දුන් නායකයා වූ මයිකල් වෝන් Daily Telegraph වෙත ලිපියක් ලියමින් සිය සුබ පැතුම් පළ කර සිටියා. 

“ඔහු විශිෂ්ට පන්දු යවන්නෙක්. ජේම්ස් ඇන්ඩර්සන් සමඟ ඔහුගේ සබඳතාව සැමදා මතකයේ රැඳෙන දෙයක්.  

ඇන්ඩර්සන් සහ බ්‍රෝඩ්, මම හිතන්නේ ඔවුන් මුළු දශකයම එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින් මතක හිටින අපූරු දස්කම් කිහිපයක්ම දැක්වූවා. 

කඩුලු 600ක් ලබාගෙන ක්‍රීඩා කරන්න සහ මේ තරම් ටෙස්ට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කරන්න ලැබීමෙන්ම පේනවා ඔහු කොයිතරම් විශේෂ ක්‍රීඩකයෙක් ද කියලා. ඔහුට අතිශය අපූරු ක්‍රිකට් දිවියක් වෙනුවෙන් මගෙන් සුබ පැතුම්.  

ඔහු බලාපොරොත්තු වන පරිදි අවසන් ටෙස්ට් තරගය නිමා කිරීමට ඔහුට හැකිවේවායි මම ප්‍රාර්ථනා කරනවා.” 

ස්ටුවර්ට් බ්‍රෝඩ්ට එරෙහිව ටෙස්ට් තරග පහක් ක්‍රීඩා කළ වර්තමාන ඉන්දියානු කණ්ඩායමේ පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ජාත්‍යන්තර තරගයෙන් පසු සිය ප්‍රතිවාදියෙකුට එලෙස සුබ පැතුම් එක් කර සිටියේ ඒ ආකාරයෙන්. 

“මේක හරි අපූරු චාරිකාවක්. කලාන්තරයක් තිස්සේ ඔබේ පන්දු හමුවේ ස්ලිප් කලාපයේ පන්දු රැකීමට ලැබීම භාග්‍යයක්. විශේෂම දෙය නම් ඔබ සුවිශේෂී දස්කම් දැක්වූ ක්‍රීඩා පිටියක ඔබේ නියමයන් අනුව ක්‍රීඩාව අවසන් කිරීමට අවස්ථාව ලැබීමයි. එතෙක් මෙතෙක් ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩාවට ආ විශිෂ්ටතම ක්‍රීඩකයෙකුට ක්‍රීඩාවට සමුදෙන්නට මීට වඩා සුදුසු විදියක් තියනවා ද? 

ස්ටුවර්ට් බ්‍රෝඩ් සමඟින් ටෙස්ට් තරග 114කට ක්‍රීඩා කළ ජෝ රූට් BBC Test Match Special වෙත අදහස් දක්වමින් පැවසුවා. 

“අපිත් හරියටම දන්නේ සෙනසුරාදා උදේ. ඇත්ත වශයෙන්ම ස්ටුවර්ට් නිවැරදි තීරණ, හරිම වෙලාවේ ගැනීමේ දක්ෂයෙක්. ඔහු එය නැවත වතාවක් කරලා තියනවා. මෙය තමයි සුදුසුම කාලය, එහෙම නේද?  

ඔහු අළුබඳුනේ මිනිහෙක්. ඕස්ට්‍රේලියාවට එරෙහිවයි අවසන් තරගය. මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද? 

ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ මව, කැරොල්, BBC Test Match Special වෙත අදහස් දක්වමින් පැවසුවා. 

ලොෆ්බොරෝහි ඇකඩමියේ වයස අවුරුදු 18 කාලයේ සිට ඔහුව පුහුණු කිරීමට තරම් මම වාසනාවන්ත වුනා 

ඔහු වෙනස්ම අදහස් ඇති අයෙක් බව ඔබට කෙළින්ම කියන්න පුළුවන්. ඔහු සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය දේවල්, ඔහු කෙසේ විය යුතු ද යන්න ඔහු නිතරම කඩදාසි කැබැල්ලක ලියා තැබුවා. ඒ වයසක කෙනෙක්ට ඒක ඇත්තටම දුර්ලභ දෙයක්. 

මට පුහුණු කරන්න වාසනාව ලැබුණ හොඳම උපක්‍රමශීලී ක්‍රීඩකයා ඔහු වෙන්න ඇති. අති දක්ෂ ක්‍රීඩකයෙක්.” 

ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ නොටිංහැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ සහ හිටපු එංගලන්ත පුහුණුකරු පීටර් මුවර්ස් BBC Radio 5live වෙත අදහස් දක්වමින් සිය ගෝලයා ගැන පැවසුවේ ඒ ආකාරයෙන්. 

අදින් පසු ස්ටුවර්ට් බ්‍රෝඩ් නම් උසැති සිරුරකට හිමිකම් කී කෙසඟ පන්දු යවන්නා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔබට දැකගත නොහැකි වනු ඇත.  

බ්‍රෝඩ්ගේ ක්‍රිකට් ගමන බොහෝ හැලහැප්පීම් මැද ආ එකක්. නමුත් ඔහු අද ඒ ගමන නිමා කරන්නේ විශිෂ්ටයෙකු ලෙසින්. සිය බර පංතියට වඩා ඉහළ බර පංතියක ක්‍රීඩා කළ අයෙකු ලෙසයි ස්ටුවර්ට් බ්‍රෝඩ් සමුගන්නා අවස්ථාවේ දී අපට පැවසිය හැක්කේ. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<