ස්නිග්ධ ගති නැති කැප්ටන් ග්‍රම්පි!

986

දිනය 1984 වසරේ නොවැම්බර් 26 වැනිදා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරගයක් පැවැත්වෙමින් තිබුණා බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ දී.

මේ තරගය සිව්වැනි දිනයට ආරම්භ කෙරෙන කොට ඕස්ට්‍රේලියානුවන් නියත පරාජයකට මුහුණ දීලා හිටියේ. සත්කාරක කණ්ඩායම පරාජයට මුහුණ දීලා ඉන්න වෙලාවක වැඩිම පීඩනයක් එල්ල වුනේ කිම් හියුස් කියන ඕස්ට්‍රේලියානු නායකයාට. කොදෙව් කණ්ඩායම එල්ල කළ පීඩනයටත් වඩා හිටපු ක්‍රීඩකයින් සහ මාධ්‍යවේදීන් ගෙන් හියුස්ට එල්ල වෙලා තිබුණ පීඩනය වැඩියි.

මේ තීරණාත්මක දවසේ එක්තරා අවස්ථාවක හියුස් තමන්ගේ කණ්ඩායමේ උපනායකයාව පොඩ්ඩක් පැත්තකට ඇදගන්නවා. ඔහු සාක්කුවෙන් එළියට ගන්නේ පොඩි සටහනක්. ඔහු ඒ සටහන තමන්ගේ සගයා අතේ තියනවා.

මේ සටහන කියවපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයා තමන්ගේ නායකයා දෙස බලන්නේ විමතියෙන්.

“ඇයි අයින් වෙන්නේ. මේක උඹේ විතරක් වැරැද්දක් නෙවෙයි. අපි මේ ක්‍රීඩා කරන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන් එක්ක. ඔවුන් අපිට වඩා දක්ෂයි. අපි උන්ගේ ගානට දියුණු වෙන්න උත්සහා කරනවා මිසක් මෙහෙම අයින් වෙන එක තේරුමක් නැහැ.”

නමුත් හියුස් තමන්ගේ තීරණය වෙනස් කළේ නැහැ.

ඊට පැය කිහිපයකට පස්සේ තමයි කිම් හියුස් කියන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයා මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර හැඬූ කඳුලින් යුතුව නායකත්වයෙන් ඉවත් වෙන්නේ.

ඕස්ට්‍රේලියානුවන් කියන්නේ ස්වභාවයෙන්ම තරමක් තද ගති ඇති උදවිය. මේ විදියට හඬලා දොඩලා ඕස්ට්‍රේලියානු නායකයෙක් අයින් වෙච්ච දර්ශනය මුළු ක්‍රිකට් ලෝකයම විමතියට පත් කළ දසුනක් වුනා.

කිම් හියුස් ගෙන් පස්සේ බර පැටවෙන්නේ එවකට කණ්ඩායමේ උපනායකයාට. අද අපි කතා කරන්න යන්නේ ඔහු ගැන.

ඇලන් රොබර්ට් බෝඩර්.

ඒ තමයි අද අපේ කතානායකයාගේ නම.

බෝඩර් නායකත්වය ලබා ගත්තේ කැමැත්තෙන් නම් නෙවෙයි.

“මම ඒ වෙලාවේ නායකත්වයට ලෑස්ති වෙලා නෙවෙයි හිටියේ. ඔව් මම උපනායකයා. හැබැයි මම නායකත්වය මොනම ආකාරයකින් වත් බලාපොරොත්තුවෙන් නෙවෙයි හිටියේ. මට ඕන වුනේ ටීම් එකේ අනිත් කොල්ලෝ එක්ක බියර් එකක් ගහගෙන විනෝදයෙන් ඉන්න.

ඒ කාලේ වයිස් කැප්ටන්ට තිබුණ රාජකාරි තමයි පොඩ්ඩක් ෆීල්ඩ් එක හදන්න කැප්ටන්ට උදව් වෙන්න, පන්දු යවන්නෝ මාරු කරන්න උපදෙස් දෙන්න වගේ පොඩි පොඩි දේවල් ටිකක් විතරයි.”

ඕස්ට්‍රේලියාව කියන්නේ දැවැන්ත ක්‍රිකට් රාජ්‍යයක්. හැබැයි මේ වෙද්දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අයාලේ යමින් තිබුණේ. පැයේ අවශ්‍යතාව වෙලා තිබුණේ ඉදිරියෙන් ඉඳන් අනෙකුන්ට ආදර්ශයක් වෙන නායකයෙක්.

“අපේ අම්මයි, තාත්තායි සෑහෙන විනයගරුක මිනිස්සු. ඒ වගේම තද ගති ඇති අය. මට හිතෙන්නේ මට ඒ දේවල් සියල්ල ඔවුන්ගෙන් කාන්දු වෙන්න ඇති.”

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් හරි මාර්ගයට ගේන්න බෝඩර්ට ලේසි වුනේ නැහැ. හැබැයි බෝඩර් ලේසියෙන් අතෑරියෙත් නෑ. අන්තිම ලේ බිංදුව වෙනකල් සටන් කරන්න බෝඩර් තමන්ගේ අනෙක් සගයන්ට ආදර්ශමත් නායකයෙක් වුනා. ඒ වගේම බෝඩර් ක්ෂණික ප්‍රතිඵල හොයනවට වඩා දීර්ඝ කාලීන ක්‍රියාදාමයක් ගැන විශ්වාසය තැබුවා.

තද සහ ගොරෝසු ගති ඇති මනුස්සයෙක් නිසා බෝඩර්ගෙන් තමන් යටතේ හිටපු ක්‍රීඩකයින්ටත් ලේසි වුනේ නැහැ.

1986 ලකුණු සමව නිමාව දුටු මදුරාසි ටෙස්ට් තරගයේ දී ඩීන් ජෝන්ස් අගනා ඉනිමක් ක්‍රීඩා කළා. දැඩි අව් රශ්මිය ජෝන්ස් සතු සියලුම ශක්තිය උරාගෙන තිබුණා. ශතකය ඉක්මවා ලකුණු රැස් කරමින් සිටි ජෝන්ස් මොහොතකින් තේරුම් ගන්නවා තමාට තවදුරටත් ඉදිරියට යා නොහැකි බව.

පීඩා විඳිමින් පන්දුවට පහර දෙමින් සිටි ජෝන්ස් පිටියෙන් ඉවතට යෑමට හැකි දැයි අනෙක් පසින් පන්දුවට පහර දෙමින් සිටි නායක බෝඩර්ගෙන් විමසනවා.

“අවුලක් නෑ පලයන්, මම නියම ඕස්ට්‍රේලියානුවෙක් මැදට ගෙන්න පුළුවන්,” බෝඩර්ගේ අනුකම්පා විරහිත ප්‍රතිචාරය එහෙම එකක්. බියට පත් වෙච්ව ජෝන්ස් දිගටම පන්දුවට පහර දුන්නා. එදා ජෝන්ස් රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 210ක්. මේ ඉනිමෙන් පස්සේ ජෝන්ස්ව කෙළින්ම අරන් යන්නේ මදුරාසියේ ඉස්පිරිතාලෙකට.

“මම හිතුවේ මිනිහා මැරෙන්න ඇති කියලා,” බෝඩර් ඒ දවස ගැන පස්සේ කාලෙක කිව්වා.

තවත් එකවතාවක් අව් කණ්ණාඩි පැළඳ ගෙන පන්දු රකින්න ආපු ඩීන් ජෝන්ස්ට හැමෝම ඉස්සරහා දරුණු දෝස්මුරයක් දාන්නත් බෝඩර් ක්‍රියා කරනවා.

“උඹ ඔය මගුල දාගෙන එක කැච් එකක් හරි බාපන්. ඒ වෙලාවට මෙල්බර්න් ක්‍රවුඩ් එක උඹව බලාගනී. ඊට පස්සේ මම උඹව බලාගන්නම්”

තවත් දවසක ක්‍රේග් මැක්ඩර්මට් හිතුවක්කාර ලෙසින් හැසිරුණ අවස්ථාවක හයියෙන් කෑගහලා ඊළඟ ෆ්ලයිට් එකේ ගෙදර යන්න ලෑස්ති වෙයන් කියන්නත් බෝඩර් අමතක කරන්නේ නෑ.

බෝඩර්ගේ තග් ලෙවල් එකේ සැලකුම් වලින් යන්තම් හරි ගැලවිලා හිටියා නම් ඒ මර්ව් හියුස් විතරයි.

ෂේන් වෝන් කියන අංකුර පන්දු යවන්නා ශූර ක්‍රීඩකයෙක් කරන්න මූලිකත්වය ගන්නෙත් බෝඩර්. ඒකට හොඳම උදාහරණයක් ගන්නම්.

1992 ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ සිංහල සමාජ ක්‍රීඩා පිටියේ පැවති තරගයෙන් ඉතාම තියුණු ජයක් ලබා ගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වෙනවා.

මේ තරගය පුරාවටම ෂේන් වෝන් නම් නවක ඕස්ට්‍රේලියානු පන්දු යවන්නා ශ්‍රී ලංකා පිතිකරුවන් අතින් දැඩි ප්‍රහාරයකට ලක් වුනා. හැබැයි ෂේන් වෝන් නම් දඟපන්දු යවන්නා සියල්ල කණපිට හැරෙව්වා. එහෙම වුනේ ඇලන් බෝඩර් නම් තමන්ගේ නායකයාගේ උපදෙස් නිසා බවයි වෝන් කියන්නේ.

“තරගය තේ පානයට නතර කළ අවස්ථාවේ මට තදබල කලකිරීමක් ඇතිවෙලා තිබුණේ. මංගල ටෙස්ට් තරගයේ දී මම එතරම් හොඳින් දස්කම් දැක්වූයේ නැති නිසා මගේ පන්දු යැවීම දියුණු කරගන්න සෑහෙන මහන්සි වුනා. ශ්‍රී ලංකා පිතිකරුවන් මට කිසිම ගෞරවයක් ලබා දුන්නේ නැහැ.

දෙවියනි මෙය මට කැප නැහැ. මම මටම කියා ගත්තා. සමහර විට ක්‍රිකට් කියන්නේ මට උරුම දෙයක් නොවෙන්න ඇති මට හිතුණා.

තේ පානය අතරතුර මම සිගරැට්ටුවක් දල්වා ගත්තා. මෙවලේ නායක ඇලන් බෝඩර් මා වෙත පැමිණියා.

‘ඔබ ඉතා හොඳින් පන්දු යැව්වා. ඉවසන්න නියම වෙලාව එනවා. මම විශ්වාසෙන් කියන්නේ’ ඒ.බී (ඇලන් බෝඩර්) පැවසුවා.”

එදා ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ අවසන් භාගයේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වුන වෝන් ලකුණු 11කට කඩුලු 3ක් දවා ගනිමින් සිය කණ්ඩායම නොසිතූ ජයග්‍රහණයක් වෙත රැගෙන ගියා.

වෝන් විතරක් නෙවෙයි වෝ සහෝදරයෝ, ග්ලේන් මැග්‍රාත්, මාක් ටේලර් වගේ අති දක්ෂ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වැඩුණේ බෝඩර්ගේ සෙවනේ.

මෙහෙම කාලයක් ගිහින් බෝඩර්, මාක් ටේලර්ට බාර දුන්නේ තැලීම් පොඩිවීම් වලින් පන්නරය ලබා ගත් සුවිශේෂී තරග දිනවන්නන් සහිත ශූර කණ්ඩායමක්. එතන ඉඳන් ඕස්ට්‍රේලියානුවන් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ආධිපත්‍යය පතුරවපු විදිය ආයේ ලියන්න ඕන නෑ.

පැදුරේ නෙවෙයි පැදුරෙනුත් බිම හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් යන්න පුළුවන් ඉහළට උස්සලා තියපු ඇලන් බෝඩර් අද වෙද්දි පාකින්සන් රෝගයෙන් පීඩා විඳිනවා. හැබැයි බෝඩර් කියන්නේ නියම සටන්කාමියෙක්. බෝඩර් මේ සටනත් අවසානය වෙන තුරු අත් නොහරින බවට නම් සැකයක් නැහැ.