සංගා…! මට සමාවෙන්න

The Ashes 2023

33060

“අපි ඔවුන් සමඟ ඉක්මනින් බියර් එකක්වත් බොන්න එකතු වෙයි ද කියලා මට නම් හිතන්න බැහැ.”

2023 අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු දෙවැනි ටෙස්ට් තරගය නිමා වෙන්නේ තරමක් මතභේදකාරී වාතාවරණයක් යටතේ. මේ හැම මතභේදයකට ම හේතුව වුනේ ඕස්ට්‍රේලියාවේ Alex Carey විසින් එංගලන්තයේ Jonny Bairstowව දුවද්දී දවා ගැනීම.

මේ සිදුවීම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට විශාල හානියක් සිදු කළ බව පිරිසක් විසින් විශ්වාස කරනවා. ඒ අතරට වත්මන් එංගලන්ත පුහුණුකරු වගේ ම හිටපු ප්‍රවේගකාරී නවසීලන්ත ආරම්භක පිතිකරු Brendon McCullumගේ නමත් ඇතුළත් වෙනවා.

ඒ නිසා තමයි ඔහු කියන්නේ තමන් සහ කණ්ඩායම නැවත ඕස්ට්‍රේලියාව සමඟ බියර් වීදුරුවක් තොල ගාවි ද කියලා විශ්වාසයක් නැති බව.

ඔහු එංගලන්ත පාර්ශවයේ සිට ගනිමින් මේ සිදුවීම විවේචනය කරන්නේ මේ වගේ ක්‍රියාවන්, මේ වගේ තීරණ ක්‍රීඩකයින්ගේ ප්‍රතිරූපයට විශාල බලපෑමක් එල්ල කරන්න ඉඩ පවතින බව සඳහන් කරමින්.

“ඔබට ඒ මොහොතේ දී තීරණ ගන්න සිදු වේවී. ඒ තීරණ ගැනීම එතරම් පහසු නැහැ. සමහර විට ඒවා තරගයට වගේ ම පෞද්ගලික චරිත වලටත් විශාල බලපෑමක් එල්ල කරන්න පුළුවන්.”

McCullum කියන මේ කතාවට අපිට ඔහුගේ ජීවිතයෙන් ම උදාහරණයක් අරගෙන පෙන්වන්න පුළුවන්.

McCullum විසින් Bairstowගේ දැවී යාම සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කළ වහාම ක්‍රියාත්මක වෙන තවත් පිරිසක් විසින් මීට වසර 17කට පෙර අතීත සිදුවීමක් හාරා අවුස්සන්න පටන් ගන්නවා.

ඒ සිදුවීම වෙන්නේ 2006 වසරේ දෙසැම්බර් 09 වැනිදා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් නවසීලන්තයේ සිදු කළ තරග සංචාරයේ පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය. ඒ වෙද්දී සිය දෙවැනි ඉනිම ක්‍රියාත්මක කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 170ක් වාර්තා කරගෙන හිටියා. ඉනිමේ 170 වැනි ලකුණ ලබා ගත්තු කුමාර් සංගක්කාර විසින් එම ඉනිමේ තමන්ගේ ලකුණු 100 සම්පූර්ණ කර ගන්නත් සමත් වුනා.

ඒ ලකුණ වෙනුවෙන් සංගා සමඟ අන්ත මාරු කර ගත්තු පිතිකරුවා වුනේ මුත්තයියා මුරලිදරන්. ඔහු ඒ වෙද්දී සංගා සමඟ ඉනිමේ අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 27ක සබඳතාවක් ගොඩ නංවලා තිබුණේ සංගාගේ ශතකයේ ගෞරවයෙන් ටිකක් තමන්ගේ නම ඉදිරියෙනුත් ලියා ගන්න ගමන් මයි. ඒ නිසාම ලකුණ සම්පූර්ණ කළ වහාම සංගාගේ විශිෂ්ට ශතකය වෙනුවෙන් සුබ පතන්න මුරලි නැවතත් සීමා ඉරෙන් පිටවෙලා යනවා.

නමුත් ඒ මොහොතේ නවසීලන්තය වෙනුවෙන් කඩුලු රැකීමේ නිරත වෙලා සිටි අපේ කතා නායකයා විසින් මුරලිව දුවද්දී දවා ගැනීමකට හසු කරගන්න සමත් වෙනවා.

නීත්‍යනුකූලව එය දවා ගැනීමක් වූ නිසා ශ්‍රී ලංකා ඉනිම එතෙකින් නතර වෙනවා!

මේ සිදුවීම Macculumගේ ක්‍රීඩා ජීවිතයේ “ක්‍රීඩාවේ ජීවගුණය” පාර්ශවයෙන් බැලුවා ම ඔහුට කළු පැල්ලමක්. නමුත් නීත්‍යනුකූලභාවය පැත්තෙන් බලද්දී මුරලිගේ දවා ගැනීමේ කිසිම ගැට‍ලුවක් නැහැ. ඒ නිසා කවුරු කොහොම ක්‍රීඩාවේ ජීවගුණය ගැන කතා කරන්න උත්සාහ කළත්, එදා McCullumට ඒක ගැට‍ලුවක් වුනේ නැහැ. මොකද ඔහු එදා ක්‍රීඩා කළේ ජයග්‍රහණය වෙනුවෙන් නිසා වීම. ඔහු ඒ බව ඊට වසර 10කට පසුව සිදු කළ MCC Cowdrey දේශනයේ දී සඳහන් කරනවා.

“අපට නිර්භීතව, ගෞරවාන්විතව, අධිෂ්ඨානශීලීව සහ ජීවගුණයෙන් යුතුව ක්‍රීඩා කළ හැකි බවට සාක්ෂි අවශ්‍ය නම් Michael Colin Cowdreyගෙන් එහා කෙනෙකු දෙස බැලිය යුතු නැහැ.

එම නිසා මම අද ඔබ ඉදිරියේ පෙනී සිටිමින් එතුමාගේ නමින් ඉතා නිහතමානී ව මෙම දේශනය පවත්වනවා.

නමුත් මගේ වෘත්තීය ජීවිතයේ බොහෝ කාලයක් මම Colin Cowdrey මෙන් නොවූ බව කනගාටුවෙන් වුවත් පැවසිය යුතුයි.

මගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයේ මුල් කාලයේ මම නිර්භීත, ආක්‍රමණශීලී, සහ සමහර විට අහංකාර ක්‍රීඩකයෙකු ලෙස හැදින්වීම ගැන මම ආඩම්බර වුනා.”

Colin Cowdrey කියන්නේ එංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔහුගේ ක්‍රීඩා දක්ෂතා වගේ ම ක්‍රීඩාශීලීත්වය නිසාම තමයි 2000 වසරේ ඔහුගේ වියෝවෙන් පසුව MCC ක්‍රීඩා සමාජය විසින් ඔහු නමින් විශේෂ දේශනයක් සංවිධානය කරන්න පෙලඹෙන්නේ.

ඔබට මතක ඇති කුමාර් සංගක්කාර විසින් 2011 වසරේ දී මේ MCC  දේශනය පවත්වපු වග. ඒ වගේ ම 2016 වසරේ දී මෙම දේශනය වෙනුවෙන් අවස්ථාව හිමි වුනේ Brendon McCullumට.

එදා 2006 දී මුත්තයියා මුරලිදරන් ව දවා ගැනීමේ සිදුවීම වෙනුවෙන් මුරලි සහ සංගා දෙන්නාගෙන් ම සමාව ගන්න McCullum මේ දේශනය අවස්ථාවක් කර ගන්නවා.

“මම මුලින් ම නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ එකතු වෙද්දී මගේ ක්‍රිකට් වීරයින් වුන තරමක් ආක්‍රමණශීලී, උඩඟු ක්‍රීඩකයින් දෙනෙකුවත් අඩු ම තරමේ හිටියා.

මටත් අවශ්‍ය වුනේ ඔවුන් වගේ වෙන්න ද?

විශ්වාස කරන්න මම ඒ විදිහේ කෙනෙක් වුනා.

මම ඇදහිය නොහැකි තරම් තරගකාරී වුනා. ජයග්‍රහණය තමයි හැමදේම!

ජයග්‍රහණය සඳහා කළ යුතු කුමක් ද කියන දේ මම ගණන් ගත්තේ නැහැ.

මම නැවත මගේ ක්‍රීඩා ජීවිතයේ ඒ කොටස දෙස හැරී බලන්නේ පසුතැවීමක් සහිතව. හැකි නම් මම වෙනස් කරන බොහෝ දේවල් තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ දේවල් සමඟ හැදී වැඩීම ජීවිතයේ හැදී වැඩෙන ආකාරයෙන් වෙනස් වෙන්නේ නැහැ.

මම කරපු සමහර දේවල් වලින් මට පලායන්න බැහැ.

ඔබට ඒ වෙනුවෙන් උදාහරණයක් අවශ්‍ය විය හැකියි. ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම තරමක් වේදනාකාරී වුවත් මම මුත්තයියා මුරලිදරන් ව දුවද්දී දවා ගත් ආකාරය විස්තර කරන්නම්.

අපි 2006 අග භාගයේ දී Christchurch Lancaster Park හිදි ශ්‍රී ලංකාව සමඟ තරගයක් ක්‍රීඩා කරමින් සිටියා. කුමාර් සිය ශතකයට ළඟා වන විට ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී සිටියා. මුරලි විසින් කුමාර්ට සුබ පතන්න පිටියෙන් ඉවත් වෙලා යන විට කඩුලු රකිමින් සිටි මා වෙත එවූ පන්දුව ගුවනේ රැඳී තිබුණා. පන්දුව මගේ අත් වැසුම් තුළට පැමිණි විට මම කඩුල්ලේ බේලය ඉවත් කරමින් දවා ගැනීමකට ඉල්ලීම් කළා. මුරලි දැවී ගියා, පසුව අපි තරගය ජයග්‍රහණය කරන්න සමත් වුනා.”

ඒ මොහොත වන විට ශ්‍රී ලංකාව විසින් නවසීලන්තයට වඩා ලකුණු 118ක් ඉදිරියෙන් සිටි අතර, තරගයේ සිව්වැනි ඉනිමේ දී කඩුලු 5ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරා ගන්න නවසීලන්තය විසින් සමත් වුනා.

“පුදුම වෙන්න දෙයක් තිබුණේ නැහැ, ඒ සිදුවීම මතභේද වගේ ම නරක හැඟීම් නිර්මාණය කළා. ශ්‍රී ලාංකිකයින් තුෂ්ණිම්භූත වුනා.

ඒ අවස්ථාවේ එවකට ඔවුන්ගේ නායක මහේල ජයවර්ධන පැවසුවේ ‘නීත්‍යනුකූලව එය දැවී යාමක්. පන්දුව සජීවී තත්වයේ තිබුණේ. නමුත් අපි ඉන්නේ ක්‍රීඩාවේ ජීවගුණය පිළිබඳ කතා කරන යුගයක. එය නැවත සිදු නොවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. එය ක්‍රිකට් ක්‍රීඩා කරන විදිහ නෙවෙයි.’ කියලා.

පසුගිය දා එංගලන්තයේ Jonny Bairstowගේ දැවී යාම එංගලන්ත ක්‍රීඩකයින්ට කෙතරම් දැනුණා ද එපමණකට හෝ ඊටත් වඩා එදා ශ්‍රී ලාංකිකයින්ට මෙම දැවී යාම වේදනාවක් වූ බව නොරහසක්. නමුත් අද Bairstowගේ දැවී යාම මෙන් ම එදා මුරලිදරන්ගේ දැවී යාම ද නීත්‍යනුකූල ව නිවැරදි බව අකමැත්තෙන් වුව ද පිළිගත යුතුයි.

නමුත් වසර දහයකට පසු ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් McCullum විසින් තමන් සිය ක්‍රියාව වෙනුවෙන් පසුතැවිලි වන බව අවධාරණය කළා.

“මට කාලය නැවත හැරවිය හැකි නම්!

අපි ක්‍රීඩාවේ නීති තුළ සිටි නමුත් ජීවගුණය සමඟ සිටියේ නැහැ. වසර ගණනාවකට පසුව මට මේ දෙක අතර පැහැදිලිව පෙනෙන වෙනසක් පෙනෙනවා. මේ සවස් වරුවේ මට ඒ වෙනුවෙන් තරමක් අවධානය යොමු කළ යුතු වුනා.

මොකද මුරලිව දවා ගැනීමෙන් වසර දහයකට ආසන්න කාලයක් ගත වූ පසු මම දේවල් දෙස බලන ආකාරය වෙනස් වී ඇති අතර, මම බොහෝ වෙනස් පුද්ගලයෙකු වී ඇති බව මම විශ්වාස කරනවා.

කුමාර් සංගක්කාර මේ රාත්‍රියේ මෙතන ඉන්නවා.

සංගා, මම ඔබව අතිශය අගය කරනවා. මම ඔබව මිතුරෙකු ලෙස සලකනවා.

ඒ වගේ ම එදා මම කළ ක්‍රියාව වෙනුවෙන් ඔබෙන් සහ මුරලිගෙන් සමාව ගන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.”

McCullum විසින් වසර 17ක් පැරණි සිදුවීමක් වෙනුවෙන් මීට වසර 7කට පමණ පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන ලෝඩ්ස් හි MCC ක්‍රීඩා සමාජයේ දී සමාව ඇයද සිටියේ ඒ අයුරෙනුයි.

McCullum සිය දේශනය අතරතුර පැවසූ සේ ම ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ මුල් භාගය තුළ ඔහු අතිශය තරගකාරී සහ කෙසේ හෝ ජයග්‍රහණය සොයා යෑමේ ලක්ෂණ පෙන්නුම් කළ අයෙකු බවට ඉතිහාසය සාක්ෂි දරනවා.

මුරලි සහ සංගාගේ සිදුවීමට පෙර 2005 වසරේ දී සිම්බාබ්වේ සමඟ පැවැත්වුණු ටෙස්ට් තරගයක් අතරතුර Blessing Mahwireගේ මංගල ටෙස්ට් අර්ධ ශතකය සැමරීමට උත්සාහ කළ Chris Mpofuව මුරලි ලෙසට ම දවා ගැනීමට ඔහු සමත් වුනා.

මීට අමතරව 2009 වසරේ පැවැත්වුණු ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැත්වුණු තරගයක් අතරතුර එංගලන්ත ක්‍රීඩක Paul Colligwoodව Bairstowගේ සිදුවීමේ ලෙසට ම දුවද්දී දවා ගැනීමට Macculum විසින් සමත් වුනා.

නමුත් එවකට නවසීලන්ත නායක Daniel Vettori විසින් එම දවා ගැනීමේ ඉල්ලීම ඉල්ලා අස් කර ගැනීමට තීරණය කළා.

Bairstowගේ දැවී යාමත් සමඟ මේ සිදුවීම් දෙක සම්බන්ධයෙන් ද කතාබහට ලක් වූ නමුත් McCullum අතීතය මත්තේ තවදුරටත් එල්ලී සිටීමට උත්සාහ කරන්නේ නැහැ.

“පැහැදිලිව ම මම මගේ Cowdrey දේශනයේ දී මුරලිගෙන් සමාව ඉල්ලුවා. මම තරුණ වියේ දී ක්‍රීඩාව යනු කුමක් ද, ක්‍රීඩාවේ ජීවගුණය යනු කුමක් ද කියන දේ වටහා ගත්තේ නැහැ.”

McCullum වේවා වෙන කවුරුන් හෝ ක්‍රීඩකයකු වේවා, ක්‍රීඩා පිටිය තුළ දී මෙවැනි දැවීයාමක් පිළිබඳ තීරණයක් තනිව ගන්නේ නැහැ. අනිවාර්යයෙන් ම කණ්ඩායම් නායකයා ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා.

Bairstowගේ සිදුවීමේ දී Ben Stokes ඉදිරියට පැමිණ පැවසුවේ තමන් එවැනි දෙයක් කිසි ලෙසකින් හෝ නොකරන බව. නමුත් ඕස්ට්‍රේලියානු නායකයා Pat Cumminsට එම සිදුවීම එතරම් බරපතළ මට්ටමේ දෙයක් වුනේ නැහැ.

නමුත් 2005 දී සහ 2006 දී McCullumගේ නායකයා ව සිටි Stephen Fleming විසින් McCullumගේ මේ ක්‍රියාව සාධාරණීකරණය කළා.

ඔහු (Fleming) පසු කාලයක ඒ පිළිබඳ පසුතැවීමට ලක් වුනා ද, නැද්ද කියන්න සඳහන් නොවුනත්, ඒ මොහොතේ තමන් නිවැරදි බව හිතපු තීරණය වෙනුවෙන් ඔහු පෙනී සිටියා.

McCullumගේ අතීතය සහ සංගාගෙන් සමාව ඉල්ලූ තැන් සිට අද වෙන තෙක් අපි දකින වර්තමානය කියන්නේ ඕනෑම ක්‍රීඩකයකුගේ ක්‍රීඩා ජීවිතයේ කාල රාමු ද්විත්වයක් බවයි මගේ පෞද්ගලික හැඟීම.

අපි වටහා ගත යුතු වෙන්නේ අද McCullum වගේ ම, එදා McCullum විසිනුත් තමන්ගේ හදවතට එකඟ ව තීරණ ගත්තා කියන දේ විතරයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<