ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දිනය තීන්දුයි

ලංකා ප්‍රිමියර් ලීගය 2023

1467
Lanka Premier League 2023

ලෝක ලීග් ක්‍රිකට් පිටිය තුල ක්‍රීඩක වෙන්දේසියක් පවත්වනු ලබන දෙවැනි ක්‍රිකට් ලීගය ලෙස ලංකා ප්‍රිමියර් ලීගය ඉතිහාසගත වෙනවා.

ජූලි 30 වැනිදා සිට අගෝස්තු 30 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත සිව්වැනි LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජුනි 11 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා සුපුරුදු පරිදි කණ්ඩායම් 5ක් (Colombo Strikers, Dambulla Aura, Galle Gladiators,Jaffna Kings සහ Kandy Falcons) එක් වන නමුත් ඉන් කණ්ඩායම් දෙකක (Kandy සහ Colombo) හිමිකාරිත්වය වෙනස් වී තිබෙනවා.

ක්‍රීඩක වෙන්දේසියේ දී, එක් කණ්ඩායමකට උපරිම ක්‍රීඩකයින් 24 දෙනෙක් සහ අවමය ක්‍රීඩකයින් 20 දෙනෙක් ලෙස සංචිතගත කර ගැනීමට හැකිව තිබෙන අතර, ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙක් එක් කර ගැනීමට ද හැකියාව පවතිනවා.

ක්‍රීඩක වෙන්දේසියේ දී මිල දී ගනු ලබන ක්‍රීඩකයින් සහ වෙන්දේසියට පෙර සෘජුව ගිවිසුම්ගත වන ක්‍රීඩක ආදේශන ද ඇතුලත්ව එක් කණ්ඩායමකට ඇමරිකානු ඩොලර් මිලියනය බැගින් වියදම් කිරීමට අවස්ථාව ලැබෙනවා. එසේම එක් කණ්ඩායමකට වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් සිව්දෙනෙක් හෝ තිදෙනෙක් සමඟ සෘජුව ගිවිසුම්ගත වීමට හැකි.

 2023 LPL වෙනුවෙන් සෘජුව ගිවිසුම් ගත වී තිබෙන ක්‍රීඩකයින්,

  • Jaffna Kings – David Miller✈️,Rahmanullah Gurbaz ✈️,Thisara Perera, Maheesh Theekshana 
  • Colombo Strikers – Babar Azam ✈️, Naseem Shah ✈️, Matheesha Pathirana, Chamika Karunaratne 
  • Dambulla Aura – Matthew Wade✈️, Lungi Ngidi ✈️, Kusal Mendis, Avishka Fernando 
  • Galle Gladiators – Shakib Al Hasan ✈️, Tabraiz Shamsi ✈️,Dasun Shanaka, Bhanuka Rajapaksa 
  • Kandy Falcons – Mujeeb Ur Rahman ✈️, Fakhar Zaman ✈️,Wanindu Hasaranga, Angelo Mathews 

ඒ අනුව, මේ සෘජු ගිවිසුම්ගත වීම් 4ක් වෙනුවෙන් ඒ ඒ කණ්ඩායමට උපරිම ලෙස ඇමරිකානු ඩොලර් 500,000ක මුදලක් වැය කිරීමට හැකි අතර ඉතිරි ඇමරිකානු ඩොලර් 500,000ක මුදල වෙන්දේසිය තුල භාවිතා කිරීමට හැකි.

එසේම මෙවර තරග වාරය තුල සිට ඒ ඒ කණ්ඩායම් විසින් මිල දී ගනු ලබන ක්‍රීඩකයින් වෙනුවෙන් වසර 3ක දීර්ඝ ගිවිසුමකට යාමේ හැකියාව තිබෙන නමුත්, ඒ කණ්ඩායම් වල හිමිකරුවන් සඳහා සෑම වසරක දී ම අවශ්‍ය නම් ඒ ඒ ක්‍රීඩකයින් ගිවිසුමෙන් නිදහස් කිරීමේ හැකියාව සහ තවදුරටත් රඳවා ගැනීමේ හැකියාව තිබෙනවා.

වෙන්දේසිය සඳහා ඇතුළත් කරනු ලබන ක්‍රීඩකයින් ප්‍රධාන ලෙස ටෙස්ට්/ එක්දින/ විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගත් (ඒක ජාත්‍යන්තර තරගයකට වැඩි) සහ ජාත්‍යන්තර වරම් නොලැබූ ක්‍රීඩකයින් ලෙස කාණ්ඩ දෙකකට ඇතුළත් කර තිබෙනවා.

තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් දේශය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, පාකිස්තානය සහ බංග්ලාදේශය නියෝජනය කරමින් විදෙස් ක්‍රීඩකයින් රැසක් ලියාපදිංචි වී තිබෙන අතර ඔවුන් සියලුම දෙනා වෙන්දේසියට ඉදිරිපත් කිරීමට සූදානම් බවත්, තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 50ක ත්‍යාග මුදලක් ලබා දීමට නියමිත බවත්, තරගාවලිය පිළිබඳව අද (23) කොළඹ දී පැවති මාධ්‍ය හමුව අමතමින් තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වල මහතා පැවසුවා.

දෙස් විදෙස් කෙළිබිමේ උණුසුම් තොරතුරු ගැන දැන ගන්න, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<