අර්බුදකාරී මාස 3ක කාලයකින් අනතුරුව ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම 8 වන වරටත් පැවැත්වීමට නියමිත යොවුන් දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමේ සූදානමින් සිටී.

යොවුන් දැල්පන්දු ලෝක කුසලානය දක්වා ගමන්මග

ශ්‍රී ලංකා කණ්ඩායම 2015 වසරේ දී 9 වන වරට පැවති ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියේ ශූරතාවය දිනා ගනිමින් මෙම වසරේ දී පැවැත්වෙන යොවුන් දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීය. යොවුන් තරගාවලි පැවැත්වෙන්නේ වයස අවුරුදු 21න් පහළ ක්‍රීඩිකාවන් සඳහා ය.

එම කණ්ඩායමට නායකත්වය දෙනු ලැබුවේ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් වූ ගෝල රකින ක්‍රීඩිකා ගයනි දිසානායක ය. ඇය 2012 වසරේ සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමත්, 2009 වසරේ සිට ශ්‍රී ලංකා ජාතික යොවුන් කණ්ඩායමත් නියෝජනය කර තිබූ අතර එම කණ්ඩායමේ උපනායකත්වය දැරූ තිෂලා අල්ගම ද ඒ හා සමාන අත්දැකීම්වලින් යුතු විය. ඊට අමතරව දුලංගි වන්නිතිලක සහ ගයාන්ජලී අමරවංස යන ක්‍රීඩිකාවන් ද ඒ වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළාය. ඒ අනුව ගයනි, තිෂලා සහ ගයාන්ජලී ක්‍රීඩිකාවන් තිදෙනා එම වසරේ මුල භාගයේ දී පැවති ලෝක දැල්පන්දු කුසලාන තරගාවලිය සඳහා ද ඒ වන විට සහභාගී වී තිබුණි.

ඒ අනුව අත්දැකීම් බහුල ශ්‍රී ලංකා කණ්ඩායම එම වසරේ ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී මැලේසියානු කණ්ඩායම ලකුණු 53-48ක් ලෙස පරාජයට පත්කරමින් තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කිරීම එතරම් පුදුමයට කරුණක් නොවීය. ශ්‍රී ලංකා කණ්ඩායම එහි දී අර්ධ අවසන් තරගයේ දී සිංගප්පූරු කණ්ඩායම ලකුණු 69-56ක් ලෙස පරාජය කළ අතර ඔවුන් මැලේසියානු කණ්ඩායම ද පළමු වටයේ දී ලකුණු 64-48ක් ලෙස පරාජයට පත්කරන්නට සමත් විය.

මෑත කාලය

2015 වසරේ දී පෙරළිකාර අන්දමින් ක්‍රීඩා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවත් 2017 වසර වන විට එම තත්වය වෙනස් වී ඇත. 2015 වසරේ දී මැලේසියානු කණ්ඩායම පරාජය කර ශූරතාවය දිනා ගත්ත ද 2017 වසරේ දී ඔවුන්ට 4 වන ස්ථානයෙන් සෑහීමකට පත්වන්නට සිදු විය. මෙම තත්වයට පිටිය තුළ මෙන්ම ඉන් පිටත දී ද ඇතිවූ අර්බුදකාරී සිදුවීම් හේතු වූ බව සඳහන් කළ හැක.

2015 වසරේ දී ආසියානු ශූරතාවය දිනා ගත් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් අතරින් මෙම වසරේ ආසියානු ශූරතාවලිය සඳහා සහභාගී වූ කණ්ඩායම නියෝජනය කළේ ක්‍රීඩිකාවන් තිදෙනෙක් පමණි. ඒ අතරිනුත් එහි දී ක්‍රීඩා කරමින් අත්දැකීම් ලැබූ ක්‍රීඩිකාවක් වූයේ සචිනි රොද්‍රිගු පමණි. අනෙක් ක්‍රීඩිකාවන් දෙදෙනා වූයේ නදී ප්‍රනාන්දු සහ හෂිනි පෙරේරා ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මෙවර සචිනි හට ලැබෙනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළත් එය නදී හට ලබා දීම හේතුවෙන් තරගාවලිය ආරම්භ වීමටත් පෙර කණ්ඩායම තුළ අර්බුදකාරී තත්වයක් උත්සන්න විය. මෙම තත්වය සහ වගකිව යුතු නිලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියා කලාපය හේතුවෙන් මෙවර ආසියානු ශූරතාවලියේ ආරම්භක තරගයම ශ්‍රී ලංකා කණ්ඩායම තායිලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 53-48ක් වශයෙන් පරාජයට පත්විය.

නමුත් එහි දී ඉන් අනතුරුව පැවති තරග දෙක ජයග්‍රහණය කරන්නට ඔවුන් සමත් විය. අනතුරුව අනිවාර්යයෙන් ජයග්‍රහණය කළ යුතුව තිබූ තරගයක් වූ හොං කොං කණ්ඩායම සමඟ පැවති තරගය ද ඔවුන් ලකුණු 60-45 ක් වශයෙන් ජයග්‍රහණය කරන්නට සමත් විය. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගය ලකුණු 58-32ක් වශයෙන් සිංගප්පූරු කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ අතර ඉන් අනතුරුව තරගාවලියේ 3 වන ස්ථානය තීරණය කිරීම සඳහා පැවති තරගය ද හොං කොං කණ්ඩායම හමුවේ ලකුණු 58-49ක් වශයෙන් පරාජයට පත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ක්‍රීඩිකාවන්, නිලධාරීන්, පුහුණුකරුවන් මෙන්ම මාධ්‍ය ද එකිනෙකාට චෝදනා එල්ල කරමින් විවිධ ප්‍රකාශ නිකුත් කරනු ලැබීය.

කණ්ඩායම නැවත ගොඩනැඟීම

මෙම තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය ලෝක ශූරතා තරගාවලිය සඳහා නැවතත් ක්‍රීඩිකාවන් තේරීමට තීරණය කළේය. ඒ අනුව නව ප්‍රධාන පුහුණුකරුවන් දෙපළ – අමල්කා ගුණතිලක (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, කුරුණෑගල) සහ ජානකී ගුණසේකර (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, කළුතර) අවුරුදු 10කට අධික අත්දැකීම්වලින් සමන්විත වන අතර පුහුණුකරු උපදේශක හයසින්ත් විජේසිංහ ද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කර ඇත. ඔවුන් තිදෙනා එක්ව නැවතත් ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගේ සංචිතයක් තෝරා ගන්නා ලදි. එහි දී ආසියානු ශූරතාවලිය නියෝජනය කර ක්‍රීඩිකාවන් 04 දෙනෙක්ට සංචිතයේ තම ස්ථානය අහිමි වූ අතර ඒ අතරට එම කණ්ඩායමේ උපනායිකා හෂිනි පෙරේරා ද ඇතුළත් විය.

මෙම සංචිතයේ නායිකාව ලෙස මන්දිරා චාරුනී තෝරාගෙන ඇති අතර උපනායිකාව ලෙස ආසියානු ශූරතාවලියේ වැඩිම ලකුණු ලාභිනිය වූ කවීනා රාජපක්ෂ තෝරාගෙන ඇත.

“අපි මූලික අවධානය යොමු කළේ ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහළ නංවන්න. ඔවුන් තරගය ගැන දන්නවා. අපිට කරන්න තිබුණේ ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහළ නංවලා ‘pattern’ හදන එක. ඔවුන් තරගය දන්නා නිසා ‘pattern’ හදන්න තිබුණා. නමුත් ශාරීරික යෝග්‍යතාවය ඉහළ නංවන් නැතුව ඒක කරලා වැඩක් නැහැ. විශේෂයෙන් ආනන්ද වන්නිතිලක මහත්මාට මම ස්තූතිවන්ත විය යුතුයි. ඔහු මට අවශ්‍ය විදිහටම ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහළ නංවලා දුන්නා.”

පුහුණුකාරිනී ජානකී ගුණසේකර මහත්මිය ආනන්ද වන්නිතිලක මහත්මා වෙත ඔහුගේ කැපවීම වෙනුවෙන් ස්තූතිය පුද කරමින් එසේ ප්‍රකාශ කළාය.

මෙම සංචිතයේ සිටින ක්‍රීඩිකාවන්ගෙන් අඩක් පමණ තාමත් පාසල් වයසේ පසුවෙයි. ඔවුන්ට තවත් වසර 2-4ක පමණ පාසල් කාලයක් ඉතිරිව ඇත. ඔවුන්ගේ තරග ක්‍රීඩා කිරීමේ අත්දැකීම් ලෙස අවධානය යොමු කළ විට ඔවුන්ට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත නාවික හමුදා සහ යුද හමුදා වැනි ‘A’ කාණ්ඩයේ කණ්ඩායම් සමඟ ක්‍රීඩා කරන්නට අවස්ථාව ලැබුණි.

“තේරීපත්වුණ ක්‍රීඩිකාවන් 12 දෙනාගෙන් 05 දෙනෙක්ම පාසල් වයසේ ක්‍රීඩිකාවන්. මම හිතන විදිහට ඒක අනාගතයේ දී ශ්‍රී ලංකාවට හොඳ ආයෝජනයක් වෙයි. මෙම තරගාවලිය අවසානයේ දී ඔවුන්ට හොඳ අත්දැකීම් ප්‍රමාණයක් ලැබෙනවා. එය ඉදිරි ලෝක කුසලානවල දී ශ්‍රී ලංකාවට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.”

අමල්කා ගුණතිලක ප්‍රකාශ කළාය.

“මෙලනි තාමත් 15 වන වියේ. නමුත් ඇය අඩි 6කට වඩා උසයි. ඇය GS ස්ථානයේ හොඳින් ක්‍රීඩා කරනවා. ඒ වගේම ආසියානු ශූරතාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ GS ස්ථානයේ ක්‍රීඩා කළ කවීනා මෙම තරගාවලියේ දී ක්‍රීඩා කරන්නේ GA ස්ථානයේ. අපි එම ස්ථානයට ඇයව හැඩගස්වන්න ඇයගේ ශාරීරික යෝග්‍යතාවය සම්පූර්ණයෙන් ඉහළ නැංවුවා. මේ වන විට ඇය එම ස්ථානයේ හොඳින් ක්‍රීඩා කරනවා.”

“ඒ වගේම කණ්ඩායම තුළ සෙත්මි දනෝෂි, සුසීමා කුමාරි සහ නටාෂා අළුවිහාරේ වැනි තරුණ ක්‍රීඩිකාවන් සිටිනවා. අපි ලෝක කුසලානයේ දී සෙත්මිව WA ස්ථානයටත්, සුසීමාව WD ස්ථානයටත් ආදේශ කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඔවුන් මෙම තරගාවලියේ දී හොඳින් දස්කම් දක්වයි කියලා.  ඒ වගේම ඔවුන් මෙම තරගාවලියේ දී ලබා ගන්න අත්දැකීම් ශ්‍රී ලංකාවට අනාගතයේ දී හොඳ ආයෝජනයක් වෙයි.” අමල්කා පවසා සිටියා ය.

තරගාවලියේ බලාපොරොත්තු

ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව සමන්විත වන කාණ්ඩයේ සිටින අනෙක් කණ්ඩායම් වන්නේ නවසීලන්තය, සාමෝවා, ස්කොට්ලන්තය සහ උතරු අයර්ලන්තය යි. නවසීලන්ත කණ්ඩායම පසුගිය වර පැවති තරගාවලියේ ශූරතාවය දිනා ගත් අතර අනෙක් කණ්ඩායම් එහි දී පිළිවෙළින් 10, 12 හා 13 ස්ථාන දිනා ගැනීමට සමත් විය. එමනිසා මෙම තරගාවලියේ දී තරගයක් ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට අපහසු කටයුත්තක් වනු ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම එම කණ්ඩායම් වලට ප්‍රබල තරගයක් දෙනු ඇතැයි අපේක්‍ෂා කළ හැක.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව වනු ඇත්තේ තරගාවලිය මැලේසියාවට සහ සිංගප්පූරුවට ඉහළින් රැඳෙමින් අවසන් කිරීම ය.

“අපි තරග වදින්නේ ‘A’ කාණ්ඩයෙන්. අපි පළමු වටයේ තරගයක් ජයග්‍රහණය කරන්නත්, ශ්‍රේණිගත කිරීම්වල ඉහළට එන්නත් බලාපොරොත්තු වෙනවා.”

අමල්කා ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ගැන සඳහන් කරමින් ප්‍රකාශ කළාය.

සංචිතය

මන්දිරා චාරුණී (නායිකාව), කවීනා රාජපක්ෂ (උපනායිකව), නදී ප්‍රනාන්දු, සචිනි රොද්‍රිගු, පූර්ණි ලක්ෂානි, මෙලනි විජේසිංහ, නිලුමි හපුආරච්චි, මල්ෂා රත්නායක, නටාෂා අළුවිහාරේ, සෙත්මි දනෝෂි, තරුෂි ඉලංගරත්න, සුසීම බණ්ඩාර

අතිරේක ක්‍රීඩිකාවන් –

  • ආලෝකා උදාරි, ඉමේෂා නිර්මාණි, රශ්මි දිව්‍යාංජලී
  • නිලධාරීන් –
  • පුහුණු උපදේශක – හයසින්ත් විජේසිංහ
  • ප්‍රධාන පුහුණුකාරිනියන් – අමල්කා ගුණතිලක, ජානකී ගුණසේකර
  • අභ්‍යාසක – ආනන්ද වන්නිතිලක
  • කළමනාකරු – ජයන්ති සෝමසේකරම් ද සිල්වා

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<