Home Sinhala ජනිත්ගේ සැලසුම් සහගත පිතිකරණයෙන් Giants තවත් පිම්මක් ඉදිරියට

ජනිත්ගේ සැලසුම් සහගත පිතිකරණයෙන් Giants තවත් පිම්මක් ඉදිරියට

ලංකා ප්‍රිමියර් ලීගය 2021

3032

2021 LPL ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගය අද (19) Dambulla Giants සහ Colombo Stars අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

ජනිත් ලියනගේ දැක්වූ සුපිරි පිතිකරණ දස්කම් නිසා එම තරගයෙන් කඩුලු 6ක සුපිරි ජයක් ලබා ගත් Giants මෙවර LPL තරගාවලියේ Qualifier 2 තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට ද සමත් වුනා.

Giants මූලික වටය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දිනාගෙන මේ තරගයට පැමිණෙන විට Stars එහි සිව්වැනි තැන දිනාගෙන මේ තරගයට අවතීර්ණ වුනා.

Giants නිත්‍ය නායක දසුන් ශානක අවසන් තරගයේ දී ආබාධයකට ලක්වී නිසාවෙන් මේ තරගයට ක්‍රීඩා කළේ නැහැ. ඒ වෙනුවට නිරෝෂන් දික්වැල්ල මේ තරගයේ දී Giants වැඩ බලන නායකයා ලෙස කටයුතු කළා.

ඊට අමතරව Marchant de Lange සහ තරිඳු රත්නායක ද මේ තරගයට ක්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට සඳුන් වීරක්කොඩි, නුවන් ප්‍රදීප් සහ Josh Little මේ තරගයට ක්‍රීඩා කළා.

එසේම Stars වෙනස්කම් දෙකක් සිදු කරමින් අශාන් ප්‍රියන්ජන් සහ Kemo Paul වෙනුවට පැතුම් නිස්සංක සහ Karim Janat කණ්ඩායමට කැඳවා තිබුණා.

මේ තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

Colombo Stars: Kusal Perera (wk), Pathum Nissanka, Dhananjaya de Silva, Tom Banton, Dinesh Chandimal, Angelo Mathews (capt.), Karim Janat, Seekkuge Prasanna, Jeffrey Vandersay, Dushmantha Chameera, Naveen-Ul-Haq.

Dambulla Giants: Niroshan Dickwella (WK/C), Phil Salt, Janith Liyanage, Sandun Weerakkody, Najibullah Zadran, Chamika Karunaratne, Ramesh Mendis, Sachitha Jayathilake, Josh Little, Imran Tahir, Nuwan Pradeep.

Stars ආරම්භක පිතිකරුවන් වුනු කුසල් සහ Banton හට අද දිනයේ දී සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසාවෙන් ඔවුන්ට සිය Powerplay අවස්ථාව තුල කඩුලු 2ක් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 28ක් පමණයි. ඒ අතරතුර දී කුසල් පෙරේරාගේ කඩුල්ල දවා ගැනීමට නුවන් ප්‍රදීප් සමත් වුනා.

කඩා වැටුණු Stars ඉනිම නඟා සිටුවීමේ දී ධනංජය ද සිල්වා සමඟ එක්වූ පැතුම් නිස්සංක තෙවැනි කඩුල්ලට පන්දු 25ක දී ලකුණු  42ක් ද, ඇන්ජලෝ මැතිව්ස් සමඟ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 28ක් රැස් කිරීමට සමත් වුනා.

ආරම්භය බිඳ වැටුණු Stars ඉනිමේ පළමු ලකුණු 50 එම ඉනිමේ 49 වැනි පන්දුවේ දී සනිටුහන් වන විට, 100 වැනි ලකුණු 16 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව තෙක්ම ලබා ගැනීමට Stars පිතිකරුවන් අපොහොසත් වීම කැපී පෙනුණා.

ඉතා හොඳින් සිය වගකීම් ඉටු කළ ප්‍රදීප් සහ Tahir කඩුලු 2 බැගින් දවා ගත් අතර ඔවුන්ගේ ලකුණු ලබා දීම ද පන්දුවාරයකට 6.25ට අඩුවෙන් තබා ගැනීමට ඔවුන් වග බලාගත්තා. මේ තරගයේ දී Giants කණ්ඩායමේ ප්‍රධානම දඟපන්දු යවන්නා වන රමේෂ් මෙන්ඩිස් එකම පන්දුවාරයක් හෝ ක්‍රියාත්මක නොකිරීම කැපී පෙනුණ තවත් සිදුවීමක් වුනා.

අවසන් පන්දුවාර 5 තුල කඩුලු 2ක් දැවී ලකුණු 48ක් ලබාගෙන හොඳ අවසානයක් සිය ඉනිම සඳහා ලබා දීමට Starsට හැකියාව ලැබුණා. එහි දී නායක මැතිව්ස් නායකත්වයේ ඉනිමක් දියත් කරමින් පන්දු 34ක දී ලකුණු 50*ක් ලබා ගැනීමට සමත් වුනු අතර ඔහුගේ එම ඉනිම සඳහා 4 පහර 4ක් සහ 6 පහර 2ක් අන්තර්ගත වුනා.

තරගාවලියේ වැඩිම ප්‍රහාරාත්මක වේගයක් සටහන් කර ගැනීමට සමත්ව සිටින පිතිකරුවන් දෙදෙනා අතර පසුවන දිනේෂ් චන්දිමාල්ට පෙර සීකුගේ ප්‍රසන්නව පන්දුවට පහර දීමට එවුවද, Stars කණ්ඩායම බලාපොරොත්තු වූ ප්‍රහාරාත්මක වේගය ප්‍රසන්නට ලබා ගැනීමට අද දිනයේ දී හැකියාවක් ලැබුණේ නැහැ. පන්දු 11කට මුහුණ දුන් ප්‍රසන්න රැස්කර ගත්තේ ලකුණු 7ක් පමණයි.

ලකුණු 146ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි Giants ආරම්භය ඉතාමත් ඉක්මනින් බිඳ හෙලීමට චමීර සමත් වුවත්, ඔහු ක්‍රියාත්මක කළ දෙවැනි පන්දුවාරයේ දී ලකුණු 14ක් උඳුරා ගැනීමට Salt සමත් වුනා. Salt දියත් කළ එම දැඩි ප්‍රහාරය නිසා නැවතත් තරගයේ රිද්මය ඔවුන්ගේ දෙසට පැමිණියා.

ජනිත් සමඟ එක්වුණු Zadran සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52ක දී ලකුණු 61ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය අඩිතාලම සකසා දුන්නේ ඉතාමත් ඉවසිලිවන්ත සහ ගණනය කළ අවධානමක් (Calculated Risk) ද ලබාගෙනයි.

මෙවර LPL තරගාවලියේ ක්‍රීඩා කළ තෙවැනි තරගය සඳහා ක්‍රීඩා කළ ජනිත් පන්දු 47ක දී නොදැවී ලකුණු 56*ක් ලබාගෙන මෙවර LPL තරගාවලිය තුල ලබා ගත් සිය දෙවැනි අර්ධ ශතකය ලබාගෙන තරගයේ වීරයා බවට පත් වුනා. ඔහුගේ එම වර්ණවත්, ඉවසිලිවන්ත සහ සටන්කාමී ඉනිමට 4 පහර 5ක් ඇතුළත් වුනා.

Stars පන්දු යවන්නන් අවසන් පන්දුවාර කිහිපය තුල Giants පිතිකරුවන්ගේ පීඩනය වැඩි කිරීමට උත්සහ කළ නමුත්, Stars පන්දු රකින්නන්ගෙන් ඒ සඳහා හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. උඩ පන්දු අතහැරීම්, දුවද්දී දවා ගැනීම් ගිලිහීම් මෙන්ම පිතිකරණ අනුපිළිවෙළේ වූ අස්ථාවර භාවයන් සියල්ලම Stars මෙවර LPL ඉදිරි ගමනට බාධාවන් බවට පත්වද්දී ඒ සියල්ල සිය වාසි බවට හරවා ගැනීමට Giants ක්‍රීඩකයින්ට හැකි වුනා.

ඒ අනුව මේ තරගය ජය ගත් Giants අද රාත්‍රියේ පැවැත්වෙන Jaffna Kings සහ Galle Gladiators තරගය පරාජයට පත්වෙන කණ්ඩායම සමඟ මේ මස 21 වැනිදා Qualifier 2 තරගයේ දී එකිනෙකා මුණගැසීමට නියමිතයි.


Result


Colombo Stars
145/6 (20)

Dambulla Aura
146/4 (18.5)

Batsmen R B 4s 6s SR
Kusal Perera c & b 3 6 0 0 50.00
Tom Banton run out () 13 13 0 0 100.00
Pathum Nissanka c & b 42 39 0 0 107.69
Dhananjaya de Silva b 15 11 0 0 136.36
Angelo Mathews not out 50 34 0 0 147.06
Seekkuge Prasanna c & b 7 11 0 0 63.64
Dinesh Chandimal c & b 2 3 0 0 66.67
Karim Sadiq not out 11 3 0 0 366.67


Extras 2 (b 1 , lb 0 , nb 0, w 1, pen 0)
Total 145/6 (20 Overs, RR: 7.25)
Bowling O M R W Econ
Josh Little 4 0 24 0 6.00
Nuwan Pradeep 4 0 23 2 5.75
Chamika Karunaratne 4 0 31 1 7.75
Imran Tahir 4 0 25 2 6.25
Sachitha Jayathilake 4 0 41 0 10.25


Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c & b 0 1 0 0 0.00
Phil Salt c & b 32 21 0 0 152.38
Sandun Weerakkody st b 10 11 0 0 90.91
Janith Liyanage not out 56 47 0 0 119.15
Najibullah Zadran c & b 34 28 0 0 121.43
Chamika Karunaratne not out 10 5 0 0 200.00


Extras 4 (b 1 , lb 1 , nb 0, w 2, pen 0)
Total 146/4 (18.5 Overs, RR: 7.75)
Bowling O M R W Econ
Dushmantha Chameera 4 0 21 1 5.25
Naveen Ul Haq 4 0 26 1 6.50
Seekkuge Prasanna 4 0 36 1 9.00
Jeffrey Vandersay 4 0 34 1 8.50
Karim Sadiq 2.5 0 24 0 9.60



තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න, ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<