Rohit Sharmaට දකුණු අප්‍රිකානු සංචාරය මග හැරේ

ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2021/22

251

පුහුණුවීම් අතරතුර ඇතිවූ ආබාධයක් නිසාවෙන් ඉන්දීය සීමිත පන්දුවාර නායක මෙන්ම ටෙස්ට් කණ්ඩායමේ උපනායක Rohit Sharma හට දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන Rohit Sharmaගේ හිස්තැන සඳහා ඉන්දීය A කණ්ඩායමේ නායකයෙකු වූ Priyank Panchal නම් කිරීමට කටයුතු කර ඇති නමුත් කණ්ඩායමට නව උප නායකයෙකු මෙතෙක් පත්කර නැහැ.

පසුගිය සතියේ මුම්බායි නුවර දී පුහුණුවීම් කටයුතු කරන අතරවාරයේ දී Rohit ආබාධයකට ලක්වූ බව අනාවරණය වූ අතර එම ආබාධය තරමක බරපතළ ආබාධයක් ව ඇති බවට තහවුරුව තිබෙනවා.

එම නිසාවෙන් ඔහුට තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සහභාගී වීමට ඇති හැකියාව පිළිබඳව ද අවිනිශ්චිතතාවයක් මතුව ඇති අතර Rohit පසුගිය දා ඉන්දීය එක්දින නායකයා ලෙස ද පත්කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කටයුතු කළා.

එක්දින නායකත්වයට පත්වීම පිළිබඳව Bcci.tv සමඟ සාකච්ඡාවක් සිදු කරන අතරවාරයේ දී Rohit තමන් යම් වේදනාවකින් පසුවන බවට අදාළ නිලධාරීන් දැනුවත් කර තිබූ අතර ඉන් පසුව සිදු කළ පරීක්ෂාවල දී එය තරමක බරපතළ ආබාධයක් බවට තහවුරු වී තිබුණා.

Rohit Sharma තවමත් දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ක්‍රීඩකයන් නිරෝධායනය වන හෝටලය වෙත පැමිණ නොමැති අතර සිය පවුල් සමඟ සංචාරයට එක්වන ක්‍රීඩකයන් සඳහා නිරෝධායන නීති ලිහිල් කර ඇති බව සහ ඔවුන්ට නිවෙස් තුළ නිරෝධායනය වීමට අවස්ථාව ලබා දී දී ඇති බවත් ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර තිබුණා.

එම නිසාවෙන් ඉන්දීය ටෙස්ට් නායක Virat Kohli ද තවමත් එම හෝටලය වෙත පැමිණ අනෙකුත් ක්‍රීඩකයන් සමඟින් එක්ව නොමැති බව වාර්තා වේ.

Rohit Sharmaගේ ස්ථානයට කැඳවූ Priyank Panchal දකුණු අප්‍රිකානු A කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ දී ලකුණු 40ක සමාන්‍යයක් රඳවා ගැනීමට සමත් වූ අතර එම සංචාරයේ එක් ඉනිමක ඔහු ලකුණු 96ක් ලබා ගැනීමට ද සමත්ව තිබුණා.

එමෙන්ම ඉන්දීය පළමු පෙළ පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වන ඔහු පළමු පෙළ තරග 100 දී 45.52ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 7011ක් වාර්තා කිරීමට සමත්ව ඇති අතර එයට ශතක් 24ක් ද අන්තර්ගතයි

Hindustan Times ඇසුරිනි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<