Rahul-Rohit සතු වූ වාර්තාව Babar-Rizwan උදුරා ගනී

7164
Babar and Rizwan
(ICC)

ගෙවුණු වසර පුරාවට විස්සයි විස්ස ආරම්භක පිතිකරුවන් ලෙස ඉතා ඉහළ දස්කම් දක්වන Mohammad Rizwan හා පාකිස්තාන නායක Babar Azam තවත් විස්සයි විස්ස වාර්තාවක් තමන් සතු කරගෙන තිබෙනවා.

ඒ ආරම්භක පිතිකරුවන් ලෙස පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 100ට වැඩි අවස්ථා හයක් වාර්තා කරමිනුයි. මීට පෙර ඉන්දීය විස්සයි විස්ස ආරම්භක පිතිකරුවන් වන KL Rahul හා Rohit Sharma පස් වතාවක් පළමු කඩුල්ලට ලකුණු 100ට වැඩියෙන් රැස් කර තිබුණා.

Mohammad Rizwan හා පාකිස්තාන නායක Babar Azam මේ දස්කම දක්වන්නට සමත් වුනේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු තුන්වැනි විස්සයි විස්ස තරගයේ දීයි.

කොදෙව් කණ්ඩායම රැස් කළ ලකුණු 208ට පිළිතුරු ලෙස Rizwan හා Babar පළමු කඩුල්ලට ලකුණු 158ක් එකතු කළා. ඔවුන් දෙදෙනා විස්සයි විස්ස තරගවල දී ලකුණු 150ට වැඩි සබඳතා හතරක් ගොඩනගා තිබීම විශේෂත්වයක්. ඒ සියල්ලම වාර්තා වී තිබෙන්නේ 2021 වසරේ දීයි.

මේ වසර මුල දී ඔවුන් දෙදෙනා දකුණු අප්‍රිකාවට එරෙහිව දැවැන්ත ලකුණු 197ක සබඳතාවයක් ගොඩ නැගූ අතර කොදෙව් කණ්ඩායමට එරෙහිව රැස් කළ ලකුණු 158 දෙවැනි වන්නේ ඒ ඉනිමට පමණයි.

Babar පන්දු 53ක දී ලකුණු 79ක් රැස් කළා. ඒ මේ වසර තුල ඔහු රැස් කළ 20 වැනි අර්ධ ශතකය වීම විශේෂත්වයක්. ක්‍රීඩකයකු එක් කැලැන්ඩර් වසරක් තුළ දී රැස් කළ වැඩිම විස්සයි විස්ස අර්ධ ශතක ගණනේ වාර්තාවට හිමිකම් කියන්නේ ද Babar.

මේ අතර වසරක් තුළ ක්‍රීඩකයෙක් රැස් කළ වැඩිම විස්සයි විස්ස ලකුණු ගණනේ වාර්තාව තමන් සතු කර ගනිමින් Rizwan මේ වසරේ විස්සයි විස්ස ලකුණු 2000 සීමාව ද ඉක්මවා ගියා. ඒ 2015 වසරේ ඉනිම් 36ක් තුළ ලකුණු 1665ක් රැස් කරමින් සුපිරි ක්‍රීඩක Chris Gayle තබා තිබුණු එක් කැලැන්ඩර් වර්ෂයක් තුළ වැඩිම විස්සයි විස්ස ලකුණු වාර්තාව බිඳ දමමිනුයි.

කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු තෙවැනි විස්සයි විස්ස තරගයේ දී Babar ද Chris Gayleගේ එම වාර්තාව පසුකර යන්නට සමත් වීම විශේෂත්වයක්.

පාකිස්තාන කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

Hindustan Times ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<