මහේල ජයවර්ධනට විශේෂ වගකීමක්

1509

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධනව පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මහේල ජයවර්ධන 2022 ජනවාරි 01 වැනිදා සිට සිය තනතුරේ වැඩ භාරගැනීමට නියමිත අතර ඔහුගේ පත්වීම ජනවාරි මාසයේ සිට වසරක කාලයක් දක්වා වලංගු වනවා.

මෙම පත්වීම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අමතරව සෙසු (19න් පහළ, A කණ්ඩායම වැනි) ජාතික කණ්ඩායම්වල ක්‍රිකට් අංශ භාරව කටයුතු කරන අතර ඊට අමතරව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩකයින්ට සහ කණ්ඩායම් කළමනාකරණය සඳහා වන සියලුම උපාය මාර්ගික සැලසුම් සකස් කිරීමට මහේල ජයවර්ධන මහතා සහාය දීමට නියමිතයි.

හිටපු ශ්‍රී ලංකා නායකයෙකු මෙන්ම වර්තමානයේ ලොව අවධානය දිනා ගත් පුහුණුකරුවෙකු වන මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මෙලෙස තම අදහස් දක්වා සිටියා.

ඉදිරි 2022 වසරේ ශ්‍රී ලංකාවට හිමි ජාත්‍යන්තර දින දර්ශනය පිළිබඳව සැලකිල්ලට ගනිමින් දීර්ඝ කාර්යභාරයක් සඳහා ඔහු ජාතික කණ්ඩායම සමඟ එක්වීම ගැන අපි අතිශයින් සතුටට පත් වෙනවා.”

“අවසන් වරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියාත්මක වූ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉහළ දක්ෂතා දැක්වීම සඳහා මහේල ලබා දුන් දායකත්වය මිල කළ නොහැකියි.”

මෙම පත්වීමට අමතරව ඔහු 2022 යොවුන් ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් එයට සූදානම් වන ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමඟ ද එක්ව කටයුතු කිරීමට සූදානමින් පසුවනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව මහේල ජයවර්ධන මහතා මෙලෙස තම අදහස් දැක්වූවා.

“ජාතික කණ්ඩායම වගේම වයස අවුරුදු 19න් පහළ සහ ශ්‍රී ලංකා ‘A’ ඇතුළු විවිධ සංවර්ධන සංචිතවල සිටින ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් සමඟ කටයුතු කරමින් ඔවුන්ගේ හැකියාවන් ඉදිරියට ගෙන ඒමට උපකාර කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව සතුටු වෙනවා.”

“මම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දක්වනවා වගේම සියලු වයස් කාණ්ඩ සමඟ වැඩ කිරීම මඟින් අනාගතයේ දී අපිට ස්ථාවර වූ සාර්ථකත්වයක් අත්කර ගැනීමට අවස්ථාවක් හිමි වන බව මම විශ්වාස කරනවා. මගේ ප්‍රධානම කාර්යභාරය වන්නේ ඉදිරි වසර ඇතුළත අපගේ ජාතික පුහුණුකරුවන් සහ සහායක කාර්ය මණ්ඩලයට උපායමාර්ගික සැලසුම් පිළිබඳව සහාය දැක්වීමයි.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයක් ඇසුරිනි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<