ලෝක කුසලානයේ අඩක් අවසන්; ශ්‍රී ලංකාව තවමත් සටනේ

ICC Cricket World Cup 2023

2395

ශ්‍රී ලංකාවට 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට ඉතා ඉහළ අවස්ථාවක් උදා කර දෙමින් ඊයේ (26) එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය නිමා වුනා.

ඊයේ තරගයත් සමඟින් මේ වන විට මෙවර ලෝක කුසලානය සඳහා සහභාගී වන කණ්ඩායම් 10ම තරග 5 බැගින් ක්‍රීඩා කර අවසානයි. මෙතෙක් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙස ඉන්දියාව ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටින අතර, මෙවර තරගාවලියේ වාර්තා පිට වාර්තා පිහිටුවමින් ප්‍රවේගකාරී පිතිකරණයක නියැලෙමින් සිටින දකුණු අප්‍රිකාවත්, ඉන්දියාවට පමණක් පරාජය වූ නවසීලන්තයත් පිළිවෙළින් ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැඳී සිටිනවා.

නමුත් මෙම කණ්ඩායම් තුන අතරින් තවමත් එකිනෙකා මුණ ගැසී ඇත්තේ ඉන්දියාව සහ නවසීලන්තය පමණක් නිසා දැනට මෙම කණ්ඩායම් ත්‍රිත්වයේ ස්ථාන නිශ්චිතව ම පැවසිය නොහැකි. නමුත් මෙතෙක් තරගාවලියේ දැක්වූ දක්ෂතා අනුව මොවුන් තිදෙනා මේ වන විට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති බවට නම් ඉහළ ලංසුවක් තැබිය හැකි.

කෙසේ වෙතත් මෙම ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය වෙනුවෙන් නම් මේ වන විට තියුණු සටනක් නිර්මාණය වී තිබෙනවා. තමන් ක්‍රීඩා කළ පළමු තරග ද්විත්වය ම පරාජයට පත් වූ ඕස්ට්‍රේලියාව ඉන්පසුව පිට පිටම තරග තුනක් ජයග්‍රහණය කරමින් ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැඳී සිටින අතර, මෙම ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතරේ ද තියුණු සටනක් නිර්මාණය වී තිබෙනවා.

මෙම කණ්ඩායම් මෙවර ලෝක කුසලානයේ මෙතෙක් දැක්වූ දස්කම් සහ ඔවුන්ට ඉදිරි තරග අනුව අවසන් පූර්ව වටය වෙත පිවිසීමට ඇති අවස්ථා එකින් එක විමසා බලමු.

ඉන්දියාව:

එංගලන්තය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය සමඟ තරග කිරීමට ඉතිරිව ඇති ඉන්දියාවට ඉදිරි වටයට යාමට ඉහළ අවස්ථාවක් නිර්මාණය වී ඇති අතර, ඔවුන්ට ඉදිරියේ දී මුහුණ දීමට සිදු වන විශාලතම අභියෝගය වන්නේ දකුණු අප්‍රිකාව සමඟ තරගයයි.

විශේෂත්වයක් වන්නේ ඉන්දියාව මෙතෙක් ක්‍රීඩා කළ තරග පහේ දී ම ලකුණු හඹා යමින් තරග ජයග්‍රහණය කිරීමයි. ඉදිරි තරගවල දී පළමුව පන්දුවට පහර දීමේ ඉන්දීය හැකියාව කෙසේ ද යන්න දැක ගත හැකි වනු ඇති. Rohit Sharma, Virat Kohli, KL Rahul සහ Jasprit Bumrah මෙතෙක් තරගාවලියේ ඉන්දීය ජයග්‍රහණ වෙනුවෙන් විශේෂ දායකත්වයක් ලබා දුන්නා.

දකුණු අප්‍රිකාව:

පාකිස්තානය, නවසීලන්තය, ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය සමඟ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට නියමිත දකුණු අප්‍රිකාවට තරගාවලියේ අසීරුතම කොටස ආරම්භ වන්නේ මෙතැන් පටන් යැයි පැවසීම වඩාත් සාධාරණයි.

නවසීලන්තය සහ ඉන්දියාව සමඟ තරග මෙන්ම මෙවර වඩාත් ශක්තිමත් දඟපන්දුව ද සමඟින් පෙරළිකාර දස්කම් පෙන්වන ඇෆ්ගනිස්තානය ද දකුණු අප්‍රිකාවට විශාල අභියෝග එල්ල කරනු ඇති. එමෙන්ම ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් අඩුම තරමේ මෙම තරගවලින් දෙකක් හෝ ජයග්‍රහණය කිරීම අත්‍යාවශ්‍ය වනු ඇති.

ඉන්දියාව හඹා යාමේ දක්ෂතා පෙන්වද්දී අප්‍රිකානුවන් පළමුව පන්දුවට පහර දීමෙන් ශක්තිමත් ම කණ්ඩායම බව දැනට තහවුරු කර තිබෙනවා. ඔවුන් පළමුව පිතිකණයේ යෙදුණු ඉනිම් (428, 311, 399, 382) සියල්ලම ලකුණු 300 ඉක්මවූ ඒවා වූ අතර, එම තරග හතර ම අප්‍රිකාව විසින් ජයග්‍රහණය කළා. නමුත් දෙවැනි ඉනිමේ පිතිකරණයේ යෙදෙමින් හඹා යාමට සිදු වූ එකම තරගයේ දී (නෙදර්ලන්තයට එරෙහිව) අප්‍රිකාව අසාර්ථක වුනා.

අප්‍රිකාව වෙනුවෙන් Quinton de Kock, Heinrich Klaasen, Aiden Markram, Kagiso Rabada සහ Marco Jansen විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුනා.

නවසීලන්තය:

ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සමඟ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට නියමිත නවසීලන්තයේ ඉදිරි ගමන ද එතරම් පහසු එකක් නොවනු ඇති බව අනුමාන කළ හැකි.

විශේෂයෙන්ම අවසන් පූර්ව වටයට පිවිසීමට මාන බලමින් සිටින ඕස්ට්‍රේලියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ඔවුන්ගේ උපරිමය මෙම තරගවල දී ලබා දෙනු ඇති බවට අනුමාන කළ හැකි නිසා නවසීලන්තයට අමතර පීඩනයක් එල්ල වනු ඇති. එමෙන්ම දකුණු අප්‍රිකාව මුණ ගැසීම මෙවර ලෝක කුසලානයේ ඔවුන්ට ලැබෙන හොඳම පරීක්ෂණයක් ලෙස ද හඳුනා ගත හැකි.

මෙතෙක් තරගාවලියේ දී සමබරම කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළ නවසීලන්තයේ Devon Conway, Mitchell Santner සහ විශේෂයෙන්ම යොවුන් ක්‍රීඩක Rachin Ravindra දැක්වූ දක්ෂතා කැපී පෙනුණා.

ඕස්ට්‍රේලියාව:

නවසීලන්තය, එංගලන්තය, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය සමඟ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට නියමිත ඕස්ට්‍රේලියාවට සාපේක්ෂව පහසු මාවතක ගමන් කිරීමට ඉඩ විවර වී තිබෙනවා.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වෙමින් තරගාවලියට ආරම්භය ලබා දුන් නමුත් මේ වන විට ඕස්ට්‍රේලියාව නැවතත් සිය රිද්මය හඳුනා ගනිමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දීය තණතීරුවල මෙතෙක් හොඳින් ක්‍රීඩා කරමින් සිටින ඇෆ්ගනිස්තානය හමුවේ ඕස්ට්‍රේලියාවට විශේෂ අවධානයකින් ක්‍රීඩා කිරීමට සිදු වනු ඇති. එමෙන්ම ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදීන් වන නවසීලන්තය සහ එංගලන්තය යන කණ්ඩායම් ද්විත්වය සමඟ ද ඉතා තියුණු මට්ටමේ තරග පැවැත්වෙනු ඇති.

David Warner ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවා ලෙස විශිෂ්ට රිද්මයක පසු වන අතර Adam Zampa විසින් ඕස්ට්‍රේලියානු දඟපන්දුව ශක්තිමත් කිරීමට සමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකාව:

තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරග තුනම පරාජය වෙමින් ලකුණු සටහනේ අඩියට ම වැටී සිටි ශ්‍රී ලංකාව පසුව නෙදර්ලන්තය සහ එංගලන්තය පරාජය කිරීමට සමත් වීම නිසා මේ වන විට ලකුණු සටහනේ පස්වැනි ස්ථානයට පැමිණ තිබෙනවා.

මේ අතරින් ඊයේ එංගලන්තයට එරෙහිව ලද ජයග්‍රහණය නිසා ශ්‍රී ලංකාවේ දල ලකුණු වේගය 0.843කින් ඉහළට පැමිණියා. මේ නිසා ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු හතර බැඟින් ලද රටවල් තුන අතරින් ඉහළින් ම රැඳීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙනවා.

මේ අතර ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය සහ නවසීලන්තය ශ්‍රී ලංකාවේ ඉතිරි තරග පැවැත්වීමට නියමිත කණ්ඩායම් ලෙස පෙළ ගැසී සිටිනවා. ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් අවම වශයෙන් මෙම තරග හතරෙන් දෙකක්/තුනක් ජයග්‍රහණය කළ යුතුයි. (නමුත් තරගාවලියේ අනෙක් කණ්ඩායම්වල ප්‍රතිඵල අනුව මෙම සමීකරණ වෙනස් වීමට ඉඩ පවතින බැවින් තවමත් නිශ්චිතව එකඳු කණ්ඩායමක හෝ ඉදිරි ගමන පිළිබඳ පැවසිය නොහැකි.)

එවැනි ජයග්‍රහණ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වේ නම් මෙවර ලෝක කුසලානය වඩාත් ගෞරවනීය මට්ටමකින් නිමා කිරීමට ද ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වනු ඇති.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම සහ ඩිල්ශාන් මදුශංක තරග ජයග්‍රහණය කරවන අන්දමේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා.

පාකිස්තානය:

ලෝක කුසලානය ආරම්භ වීමට ප්‍රථම අවසන් පූර්ව වටය වෙනුවෙන් ඉහළම බලාපොරොත්තුවක් වූ පාකිස්තානය මේ වන විට තම බලාපොරොත්තු සුන් වන මට්ටමකට වැටී තිබෙනවා. ඔවුන්ට මින් පසුව දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බංග්ලාදේශය සහ එංගලන්තය මුණ ගැසීමට නියමිත අතර, අද (27) දකුණු අප්‍රිකාව සමඟ තරගය බොහෝ විට ඔවුන්ගේ ඉරණම තීරණය කිරීමට හේතු වනු ඇති.

මෙතෙක් තරගාවලියේ දී බොහෝ බලාපොරොත්තු තබා සිටි පාකිස්තාන පන්දු යැවීම අතිශය දුර්වල මට්ටමක පැවති අතර ඔවුන් සම්පූර්ණයෙන්ම පාහේ Mohammad Rizwan ප්‍රමුඛ පිතිකරණ බළඇණිය යටතේ රැඳී පැවතුණා.

ඇෆ්ගනිස්තානය:

ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සමඟ තම ඉදිරි තරග ක්‍රීඩා කිරීමට නියමිත ඇෆ්ගන් ක්‍රීඩකයින් මේ වන විටත් රටවල් දෙකක් (එංගලන්තය සහ පාකිස්තානය) නොසිතු විරූ පරාජයන්වලට ඇද දැමීමට සමත් වී තිබෙනවා.

එම පරාජයන් නිසා එංගලන්තයේ සහ පාකිස්තානයේ ලෝක කුසලාන සිහිනවලට ද මරු පහරක් එල්ල වීම වඩාත් විශේෂයි. මේ අතර එළඹෙන සඳුදා දිනයේ දී ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරගයේ තීරණය අනුව මෙම කණ්ඩායම් දෙකේ ම ඉදිරි ගමන පිළිබඳ ව ද යම් අදහසක් ලබා ගත හැකි වනු ඇති.

මේ අතර ඇෆ්ගනිස්තානයට මෙවර තවත් විශේෂ ජයග්‍රහණයක් (ඕස්ට්‍රේලියාව සමඟ) ලබා ගත හැකි නම් සිය ඉතිහාසයේ හොඳම ලෝක කුසලාන තරගාවලිය ලෙස මෙවර අවසන් පූර්ව වටයට පවා පිවිසීමට අවස්ථාවක් ඉතිරිව තිබීම ඇෆ්ගන් ක්‍රිකට් පුනරුදයේ විශාල සංධිස්ථානයක් ලෙස සැලකිය හැකි.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ඔවුන්ගේ ආරම්භක පිතිකරු Rahmanullah Gurbaz විසින් ලබා දෙන ආරම්භය අතිශය වැදගත් සාධකයක් වී ඇති අතර, ඊට අමතරව Rashid Khan ප්‍රමුඛ ඇෆ්ගන් දඟපන්දුව මෙවර තරගාවලියේ ප්‍රබලතම අභියෝගයක් ලෙස සැලකිය හැකි.

මෙවර ලෝක කුසලානය පිළිබඳ මේ වන විටත් බලාපොරොත්තු බොහෝ දුරට අතහැර දැමීමට සිදු වී තිබෙන රටවල් තුන වන්නේ බංග්ලාදේශය, එංගලන්තය සහ නෙදර්ලන්තයයි. මෙම කණ්ඩායම් තුන ප්‍රසාද ලකුණු දෙක බැඟින් ලබමින් ලකුණු සටහනේ පහළින් ම රැඳී සිටින නමුත් ඔවුන්ට මෙවර තරගාවලියේ බලාපොරොත්තු තබා ඇති කණ්ඩායම්වල හීන බොඳ කිරීමට නම් විශාල අවස්ථාවක් ඉතිරිව තිබෙනවා.

මේ අතරින් විශේෂතම තරගයක් ලෙස එංගලන්ත – ඕස්ට්‍රේලියා තරගය හඳුන්වාදිය හැකි. එමෙන්ම බංග්ලාදේශ – පාකිස්තාන සහ බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරග වෙත ද විශේෂ අවධානයක් යොමු වනු ඇති.

කෙසේ වෙතත් ලෝක කුසලාන අවසන් පූර්ව වටය පිළිබඳ වඩාත් නිරවද්‍ය අනුමාන කිරීම් වෙත යාමට නම් තවත් තරග කිහිපයක් පැවැත්වෙන තෙක් බලා හිඳීමට සිදු වනවා.

ක්‍රීඩක දක්ෂතා

තරග 48ක් පැවැත්වීමට නියමිත 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තරග 25ක් අවසන් වන විට තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා බවට පත් වීමට දකුණු අප්‍රිකාවේ Quinton de Kock විසින් සමත් වී තිබෙනවා. ඔහු ශතක තුනක් ද සමඟින් ලකුණු 407ක් රැස් කරද්දී, සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli ලකුණු 354ක් සමඟින් මෙහි දෙවැනි ස්ථානයේ රැඳෙන්නේ ඉහළම ලකුණු ලාභීන් අතර ඉහළම පිතිකරණ සාමාන්‍යය ද රඳවා ගනිමිනුයි.

මෙවර තරගාවලියේ ඉහළම ලකුණු ලාභීන් දස දෙනා අතර රැඳෙන එකම ශ්‍රී ලාංකිකයා ලෙස සදීර සමරවික්‍රම ලකුණු 295ක් රැස් කිරීමට සමත් වී ඇත්තේ පිතිකරණ සාමාන්‍යය 98.33ක් වැනි ඉහළ අගයක රඳවා ගනිමිනුයි.

සදීරට පසුපසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක (ලකුණු 243) සහ කුසල් මෙන්ඩිස් (ලකුණු 229) ඉහළම ලකුණු ලාභීන් අතර රැඳෙනවා. එමෙන්ම තරගාවලියේ වැඩිම අර්ධ ශතක ලාභියා වන්නේ ද පැතුම් නිස්සංක (අර්ධ ශතක 4) වීම විශේෂත්වයක්.

මේ අතර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස මේ වන විට ඕස්ට්‍රේලියාවේ Adam Zampa පෙරමුණේ පසු වන්නේ කඩුලු 13ක් සමඟින්. මෙහි දෙවැනි ස්ථානය නවසීලන්තයේ Mitchell Santner (කඩුලු 12) හට හිමි වී ඇති අතර, ශ්‍රී ලංකාවේ ඩිල්ශාන් මදුශංක කඩුලු 11ක් සමඟින් මෙහි සිව් වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ඩිල්ශාන්ට අමතරව ශ්‍රී ලංකාවේ ඉහළම කඩුලු ලාභියා වන්නේ කඩුලු 7ක් දවා ගැනීමට සමත් වී තිබෙන කසුන් රාජිතයි.

මෙවර ලෝක කුසලානයේ මෙතෙක් පැවැත්වුණු තරග 25න් ඉනිම් 12ක දී කණ්ඩායම් විසින් ලකුණු 300 සීමාව ඉක්මවා යාමට සමත් වී තිබෙනවා. එමෙන්ම ඉනිම් 19ක් පන්දුවාරයකට ලකුණු 6 ඉක්මවූ ලකුණු සාමාන්‍යයක් සමඟින් දියත් වීම විශේෂයි.

තරගාවලියේ ඉහළම ප්‍රහාරාත්මක වේගය සහිත පිතිකරුවා වන්නේ දකුණු අප්‍රිකානු මැදපෙළ පිතිකරු Heinrich Klaasen වන අතර ඔහු මෙවර තරගාවලියේ දී 150.78ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගැනීමට සමත් වන්නේ ලකුණු 288ක් ලබා ගන්නා අතරේයි. මෙවර තරගාවලියේ විශේෂතම ක්‍රීඩකයින් අතුරින් කෙනෙකු කෙස Klaasenව හඳුන්වා දිය හැකි.

මේ අතර මෙහි තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් හිමි කර ගන්නේ ප්‍රහාරාත්මක වේගය 142.23ක රඳවා ගනිමිනුයි.

තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයින් අතර ද මෙන්ඩිස් සිව්වැනි තැන රැඳෙන්නේ හයේ පහර 14ක් සමඟයි. මෙහි ප්‍රථම ස්ථානය හයේ පහර 17ක් සමඟින් ඉන්දීය නායක Rohit Sharma ලබාගෙන තිබෙනවා.

මේ අතර මෙතෙක් තරගාවලියේ එක් ඉනිමක ඉහළම ලකුණු ලාභියා බවට පත් වීමට දකුණු අප්‍රිකාවේ Quinton de Kock සමත් වුනේ බංග්ලාදේශයට එරෙහිව වාර්තා කළ ලකුණු 174 සමඟයි. මේ අතර ඕස්ට්‍රේලියාවේ David Warner සහ නවසීලන්තයේ Devon Conway ද ලකුණු 150 ඉක්මවූ ඉනිම් මෙවර තරගාවලියේ දී දියත් කිරීමට සමත් වුනා.

මෙතෙක් තරගාවලියේ වාර්තා සහ ශ්‍රී ලංකා දක්ෂතා මේ අයුරින් වන අතර බහුතර මතය වන්නේ මෙවර තරගාවලිය පිතිකරුවන්ට තරමක් වාසිදායක එකක් බවයි. නමුත් පන්දු යවන්නන් හට ද සිය දක්ෂතා සමඟින් තරග කණපිට පෙරලීමට හැකියාව ඇති බව ඊයේ දිනයේ දී ලහිරු කුමාර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සනාථ කළා. එමෙන්ම මීට අමතරව ද පන්දු යවන්නන් විසින් සමහර තරග සිය ග්‍රහණයට නතු කර ගත් අවස්ථා දක්නට ලැබුණා.

කෙසේ වෙතත් තරගාවලියේ ඉතිරි වී ඇති තරග 23 තුළ ඉහත වාර්තා සහමුලින්ම වෙනස් වීම වුව ද සිදු විය හැකි. ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව කෙතරම් ද යන්න මත මේ සියලු වෙනස් වීම් රඳා පවතිනු ඇති!

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සවිස්තරාත්මක තතු විත්ති ඉන්දියාවේ සිට ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<