කොළඹට අභියෝග කළ මොනරාගල කොල්ලා

2400

චිහාන් කළිඳු හෙට්ටිආරච්චි, මොනරාගල රාජකීය විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිස, මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හරහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම දක්වා පැමිණි ක්‍රීඩකයෙකි. මේ ඔහු  ThePapare.com සමඟ කී කතාවයි.

“මගේ අම්ම, එච්. එම්. රමණි. තාත්තා එච්. ඒ. සරත්. යුද හමුදාවේ විශ්‍රාමිකයෙක්. අපේ පවුලේ මමත් මල්ලිලා දෙන්නත් පමණයි. මල්ලිලා දෙන්නත් මොනරාගල රාජකීයයේ ක්‍රිකට් සෙල්ලම් කරනවා. ලොකු මල්ල වයස අවුරුදු 15න් පහළ, පොඩ්ඩා වයස අවුරුදු 13න් පහළ.”

“මම ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නේ 5 ශ්‍රේණියේ සිටිද්දී. රාජකීය විද්‍යාලය සහ මොනරාගල මහානාම විද්‍යාලය අතර තිබුණා Kids Big Match එකක්. ඒකට අපේ පාසලේ කණ්ඩායම තෝරා ගන්නේ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් පවත්වමින්. මම ඒ Big Match එකට තේරුණා. මැච් එකේදි මම නොදැවී ලකුණු 59ක් ලබා ගත්තා. මැච් එකේ දක්ෂතම පිතිකරු සම්මානයත් මට හිමිවෙනවා. මේ මැච් එක ගහන්නේ ලෙදර් බෝලෙන්. මම ලෙදර් බෝලයෙන් ක්‍රිකට් ගහපු පළමු මැච් එක ඒක.”

“ඊට පස්සේ දිගටම ක්‍රිකට් ගැහුවා. ගෙදරිනුත් ඒකට ගොඩක් උදව් කළා. මම ක්‍රීඩා කළ සැම තරගයක්ම බලන්න ආවා. මේක මට ලොකු උත්තේජනයක් වුනා. මගේ දක්ෂතා දිනෙන් දින වැඩි දියුණු කර ගැනීමට හේතු වුනා. මගේ පළමු පුහුණුකරු වුනේ නිලන්ත ඒකනායක මහතා. පළමු ක්‍රිකට් භාර ආචාරිනිය වුනේ දිල්හානි ඒකනායක මහත්මිය. ඔවුන් ද මගේ ගමනට විශාල රුකුලක් වුනා.”

කුඩා කල

“වයස අවුරුදු 13න් පහළ සහ 15න් පහළ කණ්ඩායම්වල ක්‍රීඩා කළා. 15න් පහළ ප්‍රීමා දිස්ත්‍රික් තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා. ඊට පස්සේ 2015 අවුරුද්දේ දී ඌව පළාත් කණ්ඩායමේ නායකත්වයත් මට හිමි වුනා. එම අවුරුද්දේ ම ඌව පළාත් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා ගත්තා. මම හිතන්නේ, අඩු වයසකින් ඒ අවස්ථාව උදාකර ගත් ඌව පළාත් පළමු ක්‍රීඩකයා මම විය යුතුයි.”  

”ඒ වගේම මම ඒ අවුරුද්දේ නෙල්සන් මෙන්ඩිස් කුසලාන ක්‍රිකට් තරගාවලියට Great Cricket School කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වුනා. ඒ තරගාවලියේ දී මම ශතක දෙකක් සමඟ ලකුණු 590ක් ලබා ගත්තා. තරගාවලියේ වැඩිම හයේ පහරවල් එල්ල කළ ක්‍රීඩකයා ලෙසින් තේරුණේ මම. මේ දක්ෂතා නිසා මම කොළඹ සී. සී. සී. වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට තේරුණා. ඔවුන් සමඟ ඉන්දීය සංචාරයකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. එක් තරගයක දී ලකුණු 80ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තා.”

“මොනරාගලදි අපි ක්‍රිකට් ගැහුවේ ඉතා අමාරුවෙන්. අදටත් ඒ තරමටම පහසුකම් නැහැ. වැඩි තරග ප්‍රමාණයක් සෙල්ලම් කරන්නත් නැහැ. ක්‍රීඩාංගණ පහසුකම් වුනත් ඒ තරමටම නෑ. නමුත් අපි ඉතා ඉහළ මට්ටමෙන් දක්ෂතා දක්වමින් ක්‍රීඩා කළා. ප්‍රීමා තරගාවලියේ එක් තරගයක දී විනිසුරුවන් ලෙසින් සහභාගී වූ ඒ. එම්. ප්‍රියන්ත සහ එල් එස්. සුවඳරත්න මහත්වරුන් මට මාතර සර්වේසස් විද්‍යාලයට පැමිණ ක්‍රිකට් ගහන්න ආරාධනා කළා.”

“අම්ම, තාත්තගේත් කැමැත්තත් එක්ක මම මාතර ආවා. මේ සඳහා රුචිර පල්ලියගුරුගේ සර් ගොඩක් උදව් කළා. ඔහු මට අවශ්‍ය හැම පහසුකමක් ම ලබා දුන්නා. ඒත් මොනරාගලින් ආවට මාතර ජීවිතයට හුරු වෙන්න ටික කාලයක් ගියා. හැම දෙයක්ම තනියම කරගන්න වුනා. වෙනදට ගෙදරදි අම්මා කරල දුන්න හැමදේම මට තනියම කරගන්න වුනා. රෙදි ටික පවා හෝදගන්න වුනා. මම ආවෙ ක්‍රිකට් ගහන්න. ඒ ආසාව නිසා, අනික් හැමදේම අමතක කරන්න පුරුදු වුනා.”

“සර්වේසස් එකේ පළමු අවුරුද්දේ මම සෙල්ලම් කළේ අවුරුදු 17න් පහළ තරගාවලියට. එම අවුරුද්දේ අපි Champion වුනා. මම තරග 5කට සෙල්ලම් කරලා කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 350කට වැඩි ගාණක් ගහනවා. අවසන් තරගයේ දී ලකුණු 39ක් ලබා ගන්නවා. 

වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ වීරයා වෙමින්

“මම සර්වේසස් කණ්ඩායමට එක් වෙන්නේ Wicket keeper, Batsman කෙනෙක් විදිහට. මේ ගමන පැමිණීමේ දී මට සර්වේසස් එකෙන් ලැබූ පෙරහුරුව සහ පන්නරය ගොඩක් වැදගත් වුනා. ඒ දවස්වල ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතයේ සිටීම නිසා සමහර තරග මඟ හැරුණා. ඒ වුනත් මම 2017 අවුරුද්දේ දී ලකුණු 550ක්, 2018 අවුරුද්දේ දී ලකුණු 815ක් සහ නිමා වූ 2019 තරගාවලියේ දී ලකුණු 790ක් ලබා ගැනීමට සමත් වුනා. ඒ වගේම නිමා වූ වසරේ දී සර්වේසස් කණ්ඩායම තරග 4ක දී මෙහෙයවන්නට මට අවස්ථාව හිමි වුනා. එහි දී කොළඹ ඩී. එස්. සේනානායක සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාල පරාජය කරන්න මට හැකි වෙනවා. ඒ වගේ ම පාසල් ක්‍රිකට් ජීවිතයේ දී අමතක නොවන මතකයක් වෙන්නේ සාන්ත තෝමස් විද්‍යාලය සමඟ පැවති 2018 වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී ලකුණු 112ක් ලබා ගනිමින් තරගයේ වීරයා වීම.”

”වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් තරගවල දී මම ඌව සහ ගාල්ල කණ්ඩායම් නියෝජනය කරනවා. එම කණ්ඩායමේ සහ පාසල් තරගවල දී පෑ දක්ෂතා හේතුවෙන් මට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සංචිතයට එක් වෙන්න අවස්ථාව උදා වෙනවා. ඒ 2018 අවුරුද්ද. ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩයම මෙරට සංචාරය කරද්දී මම ශ්‍රී ලංකා කණ්ඩායමේ Stand by ක්‍රීඩකයෙක් ලෙසින් ඉන්නවා. ඊට පස්සේ අවුරුද්දේ දී මෙරට සංචාරයක නිරත වූ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව මට ක්‍රීඩා කරන්න අවස්ථාව උදා වෙනවා.”

 

”තරගාවලියේ කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති තුන් දින තරගය මගේ අවුරුදු 19න් පහළ පළමු ජාත්‍යන්තර තරගය වුනා. එම තරගයේ දී මට පිතිකරුවෙක් ලෙසින් ලබා ගන්න හැකි වුනේ ලකුණු 15ක් පමණයි. නමුත් උඩ පන්දු 2ක් සහ Stumps 5ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීමට මට හැකි වෙනවා. එම තරගයෙන් අපි ජයග්‍රහණය කරනවා.”

”ඊට පසුව බංග්ලාදේශයේ පැවති ආසියානු කුසලානය සඳහා සහභාගී වූ කණ්ඩායමට එක් වීමට මට අවස්ථාව ලැබෙනවා. ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක් වූ මගේ පළමු තරග සංචාරය වුනේ ඒක.”

”අවාසනාවකට වගේ මට වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වෙන කණ්ඩායමේ තැනක් හිමි වුනේ නැහැ. පුහුණු තරගවල මට ක්‍රීඩා කරන්න ලැබුණ තරග දෙක තුනේ දී දක්ෂතා අතරට එන්න ලැබුණේ නැති නිසයි මට ඒ අවස්ථාව අහිමි වුනේ. ඒ ගැන මම අදටත් දුක් වෙනවා.”

”මේ වෙද්දී මම 19න් පහළ වයස් කාණ්ඩය පහු කරලා ඉන්නේ. වානිජ්‍ය අංශයෙන් උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙනවා. ක්‍රීඩාව වගේම අධ්‍යාපනයත් වැදගත්. මේ දවස්වල පාඩම් කටයුතු කරනවා. පසුගිය වසරේ කොළඹ BRC කණ්ඩායම නියෝජනය කරමින් වයස අවුරුදු 23න් පහළ තරගාවලියට සහභාගී වුනා. ඉදිරියේදිත් එම කණ්ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තු වෙනවා.”

”මම ආවේ ඉතා දුෂ්කර ගමනක්. අපි ක්‍රිකට් ගහද්දී කොළඹ ක්‍රිකට් මොන වගේ ද කියන හැඟිමක්වත් තිබුණෙ නැහැ. නමුත් මගේ මුල්ම පුහුණුකරු නිලන්ත ප්‍රසාද් ජයසිංහ සර් ක්‍රිකට් කොහේ ගැහුවත් එක වගේ කියන හැඟීම දුන්නා. අපිව නෙල්සන් මෙන්ඩිස් කුසලාන තරගාවලියටත් එක්ක ආවේ ඒ අරමුණින්. එතැනදි අපිට අපේ දක්ෂතා දක්වන්න අවස්ථාවක් ලැබුණා. මම විශ්වාස කරනවා, මා ආ මේ ගමනේ දී ප්‍රසාද් සර් ලබා දුන් ඒ ශක්තිය තමයි මට තවමත් තියෙන්නේ කියලා.”

තවත් විශේෂාංග ලිපි:

”එතැනින් පස්සේ මම මාතරට ආවට පස්සේ මාව දරුවෙක් වගේ බලා ගත්තේ රුචිර පල්ලියගුරුගේ සර්. රුචිර සර් මගේ ඕනෑ එපාකම් සොයා බලමින් මට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දුන්නා. යන්න ඕන මාර්ගය කියලා දුන්නා. හැසිරිය යුතු ආකාරය කියලා දුන්නා. ඒ වගේම සනත් ජයසූරිය සර්. ඔහුත් මගේ ගමනට විශාල සහයෝගයක් ලබා දුන්නා.”

”මේ අයත් සමඟ මගේ පුහුණුකරුවන් වූ ඒ. එම්. ප්‍රියන්ත, ටී. ඩී. මුණසිංහ, හිරාන් ගුණවර්ධන, රවීන්ද්‍ර පල්ලියගුරුගේ, චමින්ද කොඩිකාර, කසුන් මධුරංග, නීල් කමල් සහ මොනරාගල දිස්ත්‍රික් ක්‍රිකට් ලේකම් බණ්ඩාර යන මහත්වරුන් ඉදිරියෙන් ද සිටිනවා. ඔවුන් සෑම අවස්ථාවකම මාව දිරිමත් කළා. ඒ වගේම තවත් විශාල පිරිසක් මගේ ගමනට අත් වැල් ඇල්ලුවා. ඔවුන් සැම දෙනෙක්මත් මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. විශේෂයෙන්ම මා ඉගෙන ගත් පාසල් දෙකේ සියලු දෙනා ද මේ අතරට එක් විය යුතුයි.”

පාසල් තරගයක කඩුලු රකිමින්

”මේ සියලු දේ මට ලැබෙන්නේ මගේ දෙමාපියන් නිසා. ඔවුන් මට දීපු නිදහස නිසා. ඔවුන් හැකි සෑම වේලාවකම මම ක්‍රීඩා කරන තරග නරඹන්න එනවා. සමහර අවස්ථාවල දී මම ක්‍රීඩා කරයි කියන බලාපොරොත්තුවෙන් මොනරාගල සිට පැමිණ, මට ඒ තරගයේ අවස්ථාවක් නොලැබුනත් මගේ කණ්ඩායම වෙනුවෙන් අත්පුඩි ගහල ගිහිපු අවස්ථා තියෙනවා. මම ලකුණු අතර නොසිටි අවස්ථාවල මටත් වඩා දුක් වුන අවස්ථා තියෙනවා. ඉතිං ඒ අයගේ ඒ සෙනෙහස නොවන්නට මට මේ ගමන එන්න ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ ආශීර්වාදය මට අංක එක බවට පත් වුනා.”

”ඒ සියලු දෙනාගේ ආශිර්වාදයන් මතින් මම මගේ ගමන යන්න සූදානම් වෙනවා. කවදාහරි දවසක ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම මගේ බලාපොරොත්තුව. ඒ සඳහා ඉදිරි කාලය වැය කරනවා.”

මොනරාගල සිට පැමිණ තම දක්ෂතා වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම දක්වා ගෙන ආ චිහාන් කළිඳුගේ ඒ බලාපොරොත්තු ඉටු වේවායි ThePapare.com අපගේ ද පැතුමයි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<