ක්‍රිශාන් සහ හිමේෂ්ගේ දක්ෂතාවයෙන් SSC ශූරයන් වෙයි

ශ්‍රී ලංකා පළමු පෙළ විස්සයි විස්ස තරගාවලිය 2020/21

179
SSC crowned T20 Champions

ශ්‍රී ලංකා පළමු පෙළ විස්සයි විස්ස තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට SSC ක්‍රීඩා සමාජය අද (20) සමත් වුනා. ඒ යුධ හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 29කින් පරාජය කරමින්. තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව SCC නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

SSC ඉනිමේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පළමු පන්දුවාරයේ දී ම ලකුණකට දැවී යාමත් සමඟින් SSC කණ්ඩායම තරමක පීඩනයකට මුහුණ දුන්නා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව පිටියෙහි එක්වූ ක්‍රිශාන් සංජුල සහ ආරම්භක පිතිකරු නිපුන් ධනංජය දෙවන කඩුල්ල සඳහා ලකුණු 46ක් එක් කිරීමට සමත් වුනා.

SSC ඉනිමේ දෙවන කඩුල්ල ලකුණු 51 දී දැවී යාමත් සමඟින් පිටියට පිවිසි නුවනිදු ප්‍රනාන්දු ස්ථාවර වෙමින් ක්‍රිශාන් සංජුල සමඟින් ලකුණු 48ක් ලකුණු පුවරුවට එක් කළා.

ඉන් අනතුරුව SSC පිතිකරුවන් එතරම් සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් වුනේ නැහැ.

කෙසේ වෙතත් දක්ෂ පිතිකරණයක නිරත වූ ක්‍රිශාන් සංජුල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 71ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ එම ඉනිමට හතරේ පහර 5ක් ඇතුළත් වූ අතර පන්දු 62ක් වැයවී තිබුණා.

ක්‍රිශාන්ගේ ස්ථාවර ඉනිමත් සමඟින් SSC කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී ලකුණු 146ක් වාර්තා කිරීමට සමත් වුනා.

නිපුන් ධනංජය සහ නුවනිදු ප්‍රනාන්දු SSC ඉනිම වෙනුවෙන් ලකුණු 27 බැගින් වාර්තා කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී යුධ හමුදා කණ්ඩායම වෙනුවෙන් හෙශාන් හෙට්ටිආරච්චි කඩුලු 2ක් දවා ගත් අතර ජනිත් සිල්වා, සීකුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්න එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

ජයග්‍රහණය සඳහා ලකුණු 147ක ඉලක්කයක් හඹා ගිය යුධ හමුදා කණ්ඩායම සිය ඉනිම සඳහා වේගවත් ආරම්භයක් ලබා ගැනීමට සමත් වුනා. යුධ හමුදා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ අශාන් රන්දික සහ නායක දුශාන් විමුක්ති පළමු පන්දුවාර දෙක තුල දී ලකුණු 20ක් ලකුණු පුවරුවට එක් කළා. කෙසේ වෙතත් තුන්වැනි පන්දුවාරයේ දී යුධ හමුදා නායකයා පිටියෙන් ඉවත් කිරීමට SSC කණ්ඩායම සමත් වුනා.

ඉන් අනතුරුව තරගයේ පීඩනය දිගින් දිගටම යුධ හමුදා කණ්ඩායමට එල්ල කිරීමට SSC කණ්ඩායම සමත් වුනේ තරගයේ වාසිය තමන් වෙත හරවා ගනිමින්.

යුධ හමුදා ක්‍රීඩකයන්ට පිටියේ ස්ථාවර වීමට අවස්ථාව ලබා නොදුන් SSC ක්‍රීඩකයන් ප්‍රතිවාදීන්ගේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයන් වන සීකුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්න ඉක්මනින් දවා ගැනීමට සමත් වුනා. ඔවුන් දෙදෙනා වාර්තා කළේ ලකුණු 6ක් සහ ලකුණු 9ක් පමණයි.

දිගින් දිගටම බිඳ වැටුණු යුධ හමුදා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු අශාන් රන්දික ලකුණු 44ක් වාර්තා කිරීමට සමත් වුනා. ඒ පන්දු 35කින්. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් වාර්තා වී තිබුණා.

යුධ හමුදා කණ්ඩායම වෙනුවෙන් හිමාෂ ලියනගේ ලකුණු 32ක් වාර්තා කළා. සෙසු කිසිදු යුධ හමුදා පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසුකර ගියේ නැහැ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ SSC පන්දු යවන්නන් යුධ හමුදා ඉනිම ලකුණු 117කට සීමා කිරීමට සමත්වූයේ ලකුණු 29ක ජයග්‍රහණයක් වාර්තා කරමින්.

SSC කණ්ඩායම වෙනුවෙන් හිමේෂ් රාමනායක කඩුලු 3ක් දවා ගත් අතර කළණ පෙරේරා සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

යුධ හමුදා කණ්ඩායම ලකුණු 29කින් පරාජය කරමින් මෙවර පළමු පෙළ විස්සයි විස්ස තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට SSC කණ්ඩායම සමත් වුනා.

SSC ක්‍රීඩා සමාජය 146/5 (20): ක්‍රිශාන් සංජුල 71*, නුවනිදු ප්‍රනාන්දු 27, නිපුන් ධනංජය 27, හෙශාන් හෙට්ටිආරච්චි 2/27 

යුධ හමුදා ක්‍රීඩා සමාජය 117 (19.2): අශාන් රන්දික 44, හිමාෂ ලියනගේ 32, හිමේෂ් රාමනායක 3/23, කළණ පෙරේරා 2/15, තරිඳු රත්නායක 2/21

SSC කණ්ඩායම ලකුණු 29ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <