කුලසේකර සහ චින්තකගේ දස්කම් මතින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

Road Safety World Series 2021

296
Road Safety World Series

Road Safety World Series 2021 තරගාවලියේ අද (19) දින පැවති දෙවන අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකානු Legends කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා Legends කණ්ඩායම සමත් වුනා. 

තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා Legends නායක තිලකරත්න ඩිල්ෂාන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීම දකුණු අප්‍රිකානු Legends කණ්ඩායමට ආරාධනා කළා. 

ඒ අනුව දකුණු අප්‍රිකානු Legends වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ Andrew Puttick සහ Morne van Wyk. 

පෙර තරගයේ සිදුවූ අඩුපාඩු නොවීමට වග බලාගත් Morne van Wyk වේගවත් ආරම්භයක් ලබාගැනීමට උත්සාහ කරත් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 18 දී කුලසේකරගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා පිටියෙන් ඉවත් වීමට Andrew Puttick ට සිදුවුනා. 

පසුව පිටියට පැමිණි Alviro Petersen සමඟින් එක්වූ van Wyk පළමු පන්දුවාර හය තුළදී ලකුණු පුවරුව 48ක් දක්වා ඉහළ නංවමින් ප්‍රතිවාදී පන්දු යවන්නට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වුනා. 

මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 65දී චාමර සිල්වා රැකගත් අගනා උඩපන්දුවක් නිසාවෙන් ලකුණු 27ක් රැස්කර සිටි Petersen පිටියෙන් ඉවත් කිරීමට ෆර්වීස් මහරුෆ් සමත් වුනා. 

ඉන්පසු පිටියට පිවිසි Jonty Rhodes හට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩ නොදී චාමර සිල්වා හට උඩපන්දුවක් ලබාදෙමින් ලකුණු 4 දී දවා ගැනීමට කෞෂල්‍යය වීරරත්න සමත් වුනා. 

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට ආරම්භයේ සිටම දැඩි හිසරදයක් වූ van Wyk පන්දු 41ක දී සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට සමත් වුනා. 

අර්ධ ශතකය වාර්තා කරගැනීමෙන් පසු වැඩි වේලාවක් van Wyk හට පිටියෙහි රැඳී සිටීමට ඉඩ නොදී ඔහු ලකුණු 53දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරමින් දවා ගැනීමට සනත් ජයසූරිය සමත් වුනා. 

දකුණු අප්‍රිකානු Legends ලකුණු පුවරුව 101 වන විට ලකුණු 7ක් රැස්කර ගෙන සිටි Zander de Bruyn දුවද්දී දැවී යාමකට හසුකර ගනිමින් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා. 

අවසන් පන්දුවාර කිහිපයෙහි ශ්‍රී ලංකා පන්දු යැවීමේ ශක්තිමත් බව පෙන්නුම් කරමින් ලකුණු 106 දී හයවන කඩුල්ල ලෙස Roger Telemachus පන්දුව කෙලින්ම කඩුල්ලේ වදිමින් දවා ගැනීමට නුවන් කුලසේකරට හැකි වුනා. ඉන්පසු පිටියට පිවිසියේ Makhaya Ntini. 

Ntini හටද සාර්ථක වීමට ඉඩනොදුන් කුලසේකර Ntini ලකුණු ලබාගැනීමට පෙර පළමු පන්දුවේ දීම පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගනිමින්. 

නැවතත් අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කරමින් ලකුණු 15ක් රැස්කර ගෙන සිටි Justin Kemp පිටියෙන් ඉවත් කිරීමට කුලසේකර සමත් වූයේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වද්දමින්. 

නැවත ක්‍රියාත්මක වෙමින් යොමුකළ අගනා පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වද්දමින් සිය පස්වෙනි කඩුල්ල ලෙස Monde Zondeki දවා ගැනීමට කුලසේකර සමත් වුනා. 

තරගයේ අවසන් පන්දුවේ දී Thandi Tshabalala දුවද්දී දැවී යාමකට හසුකර ගමින් දකුණු අප්‍රිකානු Legends ක්‍රීඩකයන් නියමිත පන්දුවාර විස්ස තුළ සියල්ලන් දැවී ලකුණු 125කට සීමා කිරීමට ශ්‍රී ලංකා Legends ක්‍රීඩකයන් සමත් වුනා. 

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර ලකුණු 25කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර සනත් ජයසූරිය, ෆර්වීස් මහරුෆ් සහ කෞෂල්‍යය වීරරත්න අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:  

අවසන් මහා තරගයේ අසුන වෙන්කරවා ගැනීමට ශ්‍රී ලංකා Legends ක්‍රීඩකයන්ට ලකුණු 126 ඉලක්කයක් හිමිවුනා. 

එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා Legends ඉනිම ආරම්භ කළේ තිලකරත්න ඩිල්ෂාන් සමඟින් සනත් ජයසූරිය. 

දකුණු අප්‍රිකානු Legends කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ලබාදෙමින් තරගාවලිය පුරාවට ලකුණු අතර සිටි නායක තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 18කට දවා ගැනීමට Makhaya Ntini සමත් වුනා. 

ඉන්පසු පිටියට පිවිසි උපුල් තරංග සමඟින් එක්වූ සනත් ජයසූරිය හතරේ පහර කිහිපයකින් ප්‍රතිවාදීන්ට සංග්‍රහ කළේ ප්‍රේක්ෂකයන්ද වසර ගණනාවක් අතීතයට ගෙන යමින්. 

නමුත් දකුණු අප්‍රිකානු Legends කණ්ඩායමට කඩුල්ලක් අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ Alviro Petersen තමන් වෙත පෙරලා පැමිණි උඩපන්දුවක් රැකගනිමින් ලකුණු 18ක් රැස්කර ගෙන සිටි සනත් ජයසූරිය පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනා. ඉන්පසු පිටියට පිවිසියේ චින්තක ජයසිංහ. 

උපුල් තරංග හා එක්වූ චින්තක ජයසිංහ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකා Legends කණ්ඩායමට ගෙන ඒමට සමත් වුනා. 

ඔවුන් දෙදෙනා ගොඩනැගූ ලකුණු 70ක නොබිඳුනු සම්බන්ධතාවය නිසාවෙන් පන්දුවාර 17.2ක දී කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකිරීමට ශ්‍රී ලංකා Legends කණ්ඩායම සමත් වුනා. 

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චින්තක ජයසිංහ පන්දු 25ක දී නොදැවී ලකුණු 47ක් සහ ඉවසිලිමත් ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග පන්දු 44ක දී නොදැවී ලකුණු 39ක් රැස්කළා. 

පන්දු යැවීමේ දී Alviro Petersen සහ Makhaya Ntini අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. 

තරගයේ වීරයා සම්මානය මෙතෙක් තරගාවලියේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කරමින් ලකුණු 25ක් තුළ කඩුලු 5ක් දවාගත් නුවන් කුලසේකර හට හිමිවුනා. 

ඒ අනුව ශ්‍රී ලංකා Legends කණ්ඩායම එළඹෙන ඉරිදා දින (21) ඉන්දීය Legends කණ්ඩායම සමඟින් තරගාවලියේ කිරුළ වෙනුවෙන් සටන් වදිනු ඇත. 

දකුණු අප්‍රිකා Legends – 125/10 (20): Morne van Wyk 53, Alviro Petersen 27, නුවන් කුලසේකර 5/25, සනත් ජයසූරිය 12/1, ෆර්වීස් මහරුෆ් 1/12. 

ශ්‍රී ලංකා Legends – 129/2 (20): චින්තක ජයසිංහ 47*, උපුල් තරංග 37*, Alviro Petersen 1/15, Makhaya Ntini 1/27. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<