සනත් ජයසූරියගේ ක්‍රිකට් තහනම ඉවතට

656

හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරුවෙකු වන සනත් ජයසූරියට පනවා තිබූ වසර දෙකක ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ICC දූෂණ මර්දන ඒකකය තීරණය කර තිබෙන බව ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

ICC දූෂණ මර්දන වගන්ති අංක 2.4.6 හා 2.4.7 කඩ කිරීම නිසා සනත් ජයසූරිය හට 2019 පෙබරවාරි මාසයේ 26 වැනිදා සිට වසර දෙකක කාලයක් සඳහා මේ දඬුවම ලබා දෙන ලදි. ඒ ICC දූෂණ මර්දන ඒකකය පවත්වා ගෙන යන පරීක්ෂණයකට සහය නොදීම, ICC දූෂණ මර්දන ඒකකය පවත්වා ගෙන යන පරීක්ෂණයකට බාධා කිරීම යන චෝදනා නිසයි. ඒ නිසාවෙන් එදා සිට  සනත්ට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ කටයුතු සඳහා සහභාගී වීම තහනම් විය.

දූෂණ විරෝධී පනතේ 2.4.6 වගන්තිය – දූෂණ විරෝධී අංශය විසින් සිදු කරන ලද ඕනෑම පරීක්ෂණයක් සමඟ සහයෝගීව කටයුතු නොකිරීම, සාධාරණීකරණය කිරීමකින් තොරව, ප්‍රතික්ෂේප කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම, එවැනි පරීක්ෂණයක කොටසක් ලෙස දූෂණ විරෝධී අංශය විසින් ඉල්ලා සිටින ඕනෑම තොරතුරක් හෝ ලියකියවිලි නිවැරදිව සම්පූර්ණ කිරීම සඳහා අසමත් වීම.

දූෂණ විරෝධී පනතේ 2.4.7 වගන්තිය – දූෂණ විරෝධී අංශය විසින් සිදු කළ ඕනෑම පරීක්ෂණයකට බාධා කිරීම, ප්‍රමාද කිරීම එම විමර්ශනයට අදාළ විය හැකි වෙනත් තොරතුරු, සාක්ෂි හෝ දූෂිත සාක්ෂි සොයා ගැනීම සඳහා හේතු විය හැකි සාධක ලේඛන හෝ අදාළ සාක්ෂි විනාශ කිරීම.

සනත් ජයසූරිය මහතා සිය සමාජ මාධ්‍ය ජාලා හරහා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, තමන්ට පනවා තිබූ සම්බාධක කාලය ඉකුත් වූ බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සහ එහි දූෂණ මර්දන ඒකකය දැනුම් දුන් බවයි.

තමන්ට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට අවස්ථාව හිමි වීම පිළිබඳව තමා සතුටට පත්වන බව ද ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එසේම ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ, ක්‍රිකට් ක්‍රීඩාවේ දී තමන් සෑම විටම තම අවංකභාවය පවත්වා ගනිමින් කටයුතු කළ බවයි.

සෑම විටම රට වෙනුවෙන් කැප වූ බවත්, ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියල්ලන්ම මැනවින් දන්නා බවත් ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. අසීරු අවස්ථාවේ දී තමන්ට ශක්තියක් වූ‍ ක්‍රීඩාලෝලීන්ට සහ සියලු ලක් වැසියන්ට ස්තුතිවන්ත වන බව ද එහි සඳහන් වේ.

එමෙන්ම මේ අවස්ථාවේ දී සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට, එහි දූෂණ මර්දන ඒකකයට, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ නීතිඥ විශ්ව ද ලිවේරා තෙන්නකෝන් යන මහත්වරුන්ට ඔහු සිය ස්තුතිය පළ කර සිටියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූ ජයසූරිය 1996 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් ද වේ. ඔහු 2011 වසරේ දී අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට මුළු ලකුණු 13,430ක් හා මුළු කඩුලු 323ක් දවා ගනිමින් දස්කම් දක්වා තිබුණි.

2014 වසරේ බංග්ලාදේශයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ වසරේ දී ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළේ ජයසූරියයි, එය සුවිශේෂී වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <