ICC නීති වෙනසින් ඉන්දියාවට අසාධාරණයක් වුනා ද?

335

පසුගිය වසරේ දී ලෝක ටෙස්ට් ශූරතාවලියේ නීති රීති වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ගත් තීරණය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු Ravi Shastri සිය අප්‍රසාදය පලකර තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම පසුගිය සතියේ දී සමත් වුනේ එංගලන්ත කණ්ඩායම සමඟින් පැවති ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කරමින්. කෙසේ වෙතත් ඉන්දීය පුහුණුකරු Ravi Shastri පවසන්නේ පසුගිය වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ගත් තීරණ කීපයක් නිසා ඉන්දීය කණ්ඩායමට මෙම තරගාවලියේ අවසන් තරගය සඳහා පැමිණීම තරමක් සංකීර්ණ වූ බවයි.

පසුගිය වසරේ නොවැම්බර් මාසය වන විට මුළු ලකුණු 360ක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණට පත්ව සිටියා. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තරගාවලියේ නීති රීති වෙනස් කිරීමට ගත් තීරණයත් සමඟින් ලකුණු 296ක් ලබා සිටි ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණට පත්වුනා.

පසුගිය වසරේ දී කොරෝනා වයිරසය පැතිර යාම ආරම්භ වීමත් සමඟින් ටෙස්ට් තරගාවලි රැසක් අවලංගු කිරීමට සිදු වුනා. එහි දී සියලු කණ්ඩායම්වලට අසාධාරණයක් නොවන ලෙස කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් විශේෂ තීරණ කීපයක් ගෙන තිබුණා.

එහි ප්‍රධාන තීරණයක් වූයේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සඳහා මුළු ලකුණු ප්‍රමාණය සලකා බැලීම වෙනුවට ලකුණු සාමාන්‍ය (Average Points) සලකා බැලීමටයි. ඒ අනුව එක් එක් කණ්ඩායම් ක්‍රීඩා කළ තරගාවලි ප්‍රමාණය මත ලකුණු සාමාන්‍ය රඳා පැවතීම නිසා කිසිදු කණ්ඩායමකට අසාධාරණයක් නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පෙන්වා දී තිබුණා.

ලෝක ටෙස්ට් ශූරතාවලියට ආරම්භ වීමට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පනවා තිබූ නීති රීති මෙලෙස වෙනස් කිරීම ඉන්දීය පුහුණුකරු Ravi Shastriගේ අප්‍රසාදයට පත්ව තිබුණා.

පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී ඔහු ඒ බව පවසා සිටියා. එහි දී මාධ්‍යවේදීන් ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවන වටය සඳහා ඉන්දීය කණ්ඩායමේ සූදානම කෙසේ දැයි විමසා සිටියා.

මම දෙවන වටය ගැන හිතන්නේ නැහැ. මට ප්‍රශ්නයක් තියෙන්නේ පළමු වටය ගැන. මම කියන්නේ ගෝල් කණු වෙනස් කරන්න එපා. කොරෝනා වයිරසය දරුණු ලෙස පැතිර ගිය ඔක්තෝබර් මාසයේ දී මම ගෙදර හිටියේ. ඒ වෙද්දී අපි ලකුණු 360ක් ලබාගෙන ලකුණු සටහනේ පෙරමුණේ හිටියේ. ඊට සතියකට පස්සේ තරගයක්වත් ක්‍රීඩා කරන්නේ නැතිව යම් නීතියක් ගෙනල්ලා අපි අංක 1 ඉඳන් අංක 3 වුනා.

මම පිළිගන්නවා යම් ප්‍රශ්නයක් තිබුණා. සමහර රටවල් සංචාර සඳහා එක්වුනේ නැහැ. ඒක පිළිගන්න පුළුවන් හේතුවක්. ඒත් මට ඕනේ මේ වෙනස්කම් පසුපස ඔවුන් ඉදිරිපත් කරන තර්කය තේරුම් ගන්න. අපි ලකුණු සටහනේ අංක 1 විදිහට ඉද්දී අපිට තවත් තරගාවලි දෙකක් තිබුණා ක්‍රීඩා කරන්න. අපි ලකුණු 60-70ක් වගේ ගාණකින් ඉදිරියෙන් හිටියේ. ඒත් මේ වෙනසෙන් පස්සේ ඔවුන් කිව්වා දැන් ඔබ ඕස්ට්‍රේලියාවට යනවා. ඔබට ලකුණු සටහනේ පෙරමුණට එන්න ඕනේ නම් ඕස්ට්‍රේලියාව පරාජය කරන්න ඕනේ කියලා. පසුගිය අවුරුදු 10ක් කාලය තුල මොන කණ්ඩායමද ඕස්ට්‍රේලියාව තුල දී ඕස්ට්‍රේලියාව පරාජය කළේ? එහෙම කරන්න පුළුවන් කියලා වගකීමකින් කියන්න පුළුවන් ද?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ මෙම නීති වෙනසට පෙර ඉන්දීය කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේ අසුනක් වෙන්වන බව පැහැදිලිව පෙනෙන්නට තිබුණා. නමුත් ඉන් අනතුරුව ඔවුන්ට එල්ල වුණු අභියෝගය එතරම් පහසු එකක් නොවෙයි.

තවත් ක්‍රිකට් පුවත්:

ඔවුන්ගේ පළමු ඉලක්කය වූයේ ඕස්ට්‍රේලියාව තුල දී ඕස්ට්‍රේලියාව පරාජය කිරීමයි. එහි දී සාර්ථක වූ ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාව 2-1ක් ලෙස පරාජය කළා. නමුත් නවසීලන්ත කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමත් සමඟින් ඉන්දීය කණ්ඩායමේ අවසන් තරග බලාපොරොත්තු කල් දැමීමට සිදු වුනා.

මේ නිසා ඉන්දීය කණ්ඩායමට දෙවන ඉලක්කයක් හිමි වූනා. ඒ එංගලන්ත කණ්ඩායම ඉන්දියාව තුල දී පරාජය කිරීමටයි. එංගලන්ත තරගාවලියේ පළමු තරගය පරාජය වීමත් සමඟින් ඉන්දීය කණ්ඩායම තරමක අර්බුදයකට මුහුණ දී තිබුණා.

මේ ලකුණු සාමාන්‍ය නීතිය ආවට පස්සේ අපිට සිදු වුනා ඕස්ට්‍රේලියාවට ගිහින් ඕස්ට්‍රේලියාව පරාජය කරන්න. අපි ඕස්ට්‍රේලියාව පරාජය කළේ නැත්නම් අපිට සිදු වෙනවා ඉන්දියාවට ඇවිල්ලා එංගලන්තය 4-0ක් ලෙස පරාජය කරන්න. එතකොට අපිට ලකුණු 500ක් ලැබෙනවා. ඒත් අපිට අවසන් තරගයට යන්න බැහැ. අපි ලොකු පීඩනයක හිටියේ. මේකෙන් ජයග්‍රහණය කරන්න විදිහක් හොයමින් හිටියේ. අවසානයේ දී අපිට පුළුවන් වුනා මේ දේ කරන්න. අපිට පුළුවන් වුනා ලකුණු 520ක් එක්ක ලෝකයේ ලොකුම තරගාවලියේ අවසන් තරගයට යන්න.

පුහුණුකරුවෙක් විදිහට මට සතුටු වෙන්න බැහැ මගේ කණ්ඩායමට මුහුණ දෙන්න සිදු වුන දේවල් ගැන. ලෝකයේ කිසිම තරගයක් නැති වෙලාවක ගෙදර කාමරයේ ඉද්දී අංක 1න් අංක 3ට වැටෙන එක බලාගෙන ඉන්න ගොඩක් අමාරු දෙයක්. ඒත් ඊට පස්සේ අපි හැමදේකින්ම ආයෙත් 1 වෙලා අවසන් තරගයට යනවා. මුළු ලකුණු, ලකුණු සාමාන්‍ය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ශ්‍රේණිගත කිරීම් හැම එකකින්ම. හෙට තවත් නීති ගෙනාවත් අපි ඒවගෙන් වුනත් අංක 1 වේවි, Ravi Shastri පවසා සිටියා.

Cricbuzz ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<