සුපිළිපන් සම්මානයෙන් පිදුම් ලැබූ ක්‍රීඩිකාව “ඉනෝකා”

333
ඉනෝකා රත්නවීර මහත්මියගේ Facebook ගිණුමෙන්

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මගින් පුරවැසියන්ට අවංකව සේවය සලසන රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පිරිනමන “සුපිළිපන් ප්‍රණාම – 2020” සම්මානයෙන් පිදුම් ලබන්නේ ගාල්ල, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් ඉනෝකා හිමාලි රත්නවීර මහත්මිය යි. රාජ්‍ය සේවා භූමිකාවට අමතර ව විවිධ ක්‍රීඩාවන් හි ද දක්ෂතා දක්වා ඇති ඇය ගැන ThePapare.com තබන සටහනකි මේ. 

“වර්තමානයේ ගොඩාක් දරුවන් අධ්‍යාපනය නිසා ක්‍රීඩාවෙන් ඈත් වෙනවා. දෙමාපියන් වුනත් පෙළඹිලා තියෙන්නේ දරුවන් පොතපතට විතරක් යොමු කරන්න. ක්‍රීඩාව අධ්‍යාපනයට බාධාවක් කියලයි හිතන්නේ. පොඩි දවස්වල ඉඳලා ඒ ආකල්පයෙන් ළමුන් හැඩ ගස්සනවා. ඒක ලොකු වරදක්. 

අධ්‍යාපනයෙන් ම පමණක් සමබල මිනිසෙක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒකට ක්‍රීඩාවත් උපයෝගී කර ගත යුතුයි. ක්‍රීඩාවෙන්  සමබල මිනිසෙක් සේ ම කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන මිනිසෙක් නිර්මාණය වෙනවා. ඒ නිසා අපි අධ්‍යාපනය සේ ම ක්‍රීඩාව ද සම තත්ත්වයෙන් සැලකිය යුතුයි. මගේ ජයග්‍රහණයන්ගේ සුවිශේෂි සෙවණැල්ල ක්‍රීඩාව. අධ්‍යාපනයෙන් මාව හොඳ රාජ්‍ය නිලධාරිණියක් කළ අතර ක්‍රීඩාවෙන් මාව කාර්යශූර තැනැත්කියක් කළා” ඉනෝකා හිමාලි රත්නවීර මහත්මිය අප සමඟ කතාවට එක්වෙමින් පැවසුවා. 

“මම මුලින්ම පාසල් ගියේ හපුතලේ හල්දුම්මුල්ල කනිෂ්ඨ විද්‍යාලයට. අවුරුදු දෙකක් පමණ ගියා. ඉස්කෝලේ හාවා පනින සෙල්ලමේ සිට ම ක්‍රීඩා කළා. තාත්තා බිස්නස් කළේ හම්බන්තොට. මේ නිසා අපි ගෙදර සියලුම දෙනා හම්බන්තොටට එනවා. එහේ දී ඇතුළත් වෙන්නේ හම්බන්තොට ප්‍රාථමිකයට. එතැනදිත් වැඩේ ම ක්‍රීඩා කරන එක. උස පැන්නා. මීටර් 50 – 75 දිවීමේ තරගවලට සහභාගී වුනා. මේවලින් මාණ්ඩලික තරගවලට පවා ගියා. සහතික ගත්තා.”

පුංචි දවස්වල ඉඳලම ඉනෝකා පොත පතේ දැනුමට වගේ ම ක්‍රීඩාවටත් දක්ෂයි. හැබැයි ඉතිං, එක පොත. පාසලෙනුත් ඉනෝකා ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒවා ඉෂ්ට කරමින් ඉනෝකා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වෙනවා. ඒ ප්‍රතිඵලත් සමඟ ඉනෝකාගේ පාසල නැවතත් වෙනස් වෙනවා. ඊට පස්සේ යන්නේ හම්බන්තොට සාන්ත මරියා විද්‍යාලයට.

“පිළිවෙළක් නොමැතිව කරපු ක්‍රීඩාවලට ප්‍රමිතියක් ඇතිව ඉගෙන ගන්නේ එතැන දී. නෙට්බෝල්, වොලිබෝල් සහ එල්ලේ කණ්ඩායම් තරගවලට සහභාගී වුනා. තනි තරග අතරින් මීටර් 100 සහ 200 වගේ තරගවලට සහභාගී වෙලා ජය ගත්තා. නෙට්බෝල්වලින් හැම අවුරුද්දේ ම සමස්ත ලංකා මට්ටමට ආවා. නමුත් අපිට මෙඩ්ල් එකක් ගන්න බැරි වුනා. පාසල් යන දවස්වල ම ජාතික තරුණ සේවා සභාවේ යෞවන ක්‍රීඩා උළෙලට සහභාගි වුනා.  නෙට්බෝල් සහ වොලිබෝල් අපේ පළාතෙන් දිනාගෙන සමස්ත ලංකා ආවා.”

සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ඉනෝකාගේ පාසල නැවත වතාවක් වෙනස් වෙනවා. එවර ඇයගේ අලුත් පාසල වෙන්නේ තංගල්ල බාලිකාව. එතැනදිත් ඉනෝකා මේ සියලු ක්‍රීඩා කරනවා. කලාප, දිස්ත්‍රික් සහ පළාත් තරගවලට සහභාගී වෙනවා. ජාතික මට්ටමේ දක්ෂතා නොවූවත් ඉනෝකාගේ ෆයිල් එකේ විවිධ ක්‍රීඩාවලින් ලැබුණ සහතිකවලින් පිරෙනවා. ඒ අතර පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙසත්, පරිසර භට කණ්ඩායමේත් සහ සෞඛ්‍ය දාන කණ්ඩායමේත් ප්‍රබල මෙන් ම කැපී පෙනෙන සාමාජිකාවක් ද වුනා. 

“පාසල් කාලය ගැන මම අද දවසේ කතා කරන්නේ ඉතා තෘප්තිමත්ව. අපි එක තැනකට හෝ එක විෂයකට හිරවෙලා හිටියේ නැහැ. ඉගෙන ගන්න දේවල් වගේ ම, ක්‍රීඩා සහ බාහිර දේවල්වලටත් සහභාගි වුනා. පාසල් කාලයේ මම තරම් පිට්ටනිවල හිටපු කෙනෙක් තවත් නෑ වගේ. මගේ පොත්වල පාසල් වැඩ ලිව්වෙ මගේ යාළුවෝ. ඒත් මම පංතියේ ඉන්න කාලයේ දී ගුරුවරුන්ට හොඳින් ඇහුම්කන් දුන්නා. කොච්චර සෙල්ලම් කළත් දවසකට පැයක් දෙකක් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කළා. විභාග කාලවල දී මාස දෙකකට තුනකට කලින් ක්‍රීඩා නතර කරලා අධ්‍යාපනය වෙනුවෙන් ඒ කාලයත් වැය කළා. මේ නිසා ගෙදරින් වුනත් කිසිම බලපෑමක් ආවේ නැහැ. ඔවුන් මා කෙරෙහි තැබූ විශ්වාසය මම ඒ ආකාරයෙන් ම ඉෂ්ට කළා.”

තවත් විශේෂාංග ලිපි:

ඉනෝකා උසස් අධ්‍යාපනයට තෝර ගන්නේ රුහුණු විශ්වවිද්‍යාලය. 

“කැම්පස් එකේදිත් මම ගත කළේ පාසල් කාලයේ ගත කළා වගේම ජීවිතයක් තමයි. නෙට්බෝල් ගැහුවා, වොලිබෝල් ගැහුවා, එල්ලේ ගැහුවා. ඒ ක්‍රීඩා තුනෙන් ම අන්තර් විශ්වවිද්‍යාලයීය වර්ණ දිනා ගත්තා. කණ්ඩායම් තරගවලට ක්‍රීඩා කළත් ඒ වෙද්දී මගෙන් තනි තරග ඉසව් ටිකක් දුරස් වුනා. අවසන් වසරේ දී මම ඉගෙන ගත් විද්‍යා අංශයේ ක්‍රීඩා නායිකාව වුනා.”

විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා අතර ම ඉනෝකාට රක්ෂාවක් කිරීමට ද අවස්ථාව උදා වෙනවා. 

“මගේ මුල් ම රැකියාව වුනේ ලිපිකරු තනතුරක්. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට තමයි මුල්ම පත්වීම ලැබෙන්නේ. ඒ 1996 අවුරුද්දේ. කැම්පස් යනවා, රස්සාවට යනවා. ඒ අතර ක්‍රීඩා කරන එකත් කරනවා. මේ දේවල් මම ඉතා ආසාවෙන් කළා. මේක මට අලුත් අත්දැකීමක් වුනෙත් නැහැ. පුංචි දවස්වල සිට ම එක විට වැඩ දෙක තුනක නිතර වෙන්න මට හැකියාව තිබුණා. හැබැයි මේ එකක් නිසාවත්, වෙනත් එකක් මඟහැරුනෙ නැහැ. මට අවශ්‍ය වුනේ කරන හැමදේකට ම සාධාරණයක් ඉටු කරන්න.”

පාසල් කාලයේ මීටර් 100 – 200 දුවපු ඉනෝකා රාජ්‍ය සේවයට එක් වුනාට පස්සේ තනි ඉසව් විදිහට තෝර ගත්තේ හෙල්ල වීසි කිරීම සහ කවපෙත්ත දැමීම යන ක්‍රීඩා. ඒ කාලේ වොලිබෝල්, නෙට්බෝල්, එල්ලේ ක්‍රීඩාවන්ට අමතරව ක්‍රිකට් ගහන්නත් පටන් ගන්නවා. මේ දවස්වල ම ශ්‍රී ලංකා තරුණ සේවා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්නත් ඉනෝකාට අවස්ථාව ලැබෙනවා. 

“ඒ දවස්වල ඉඳලම ඉදිරිපත් වෙන හැම එකකම ජයග්‍රහණය ලබන්න ඕන කියන උණ තිබුණා. නමුත් පසුකාලීනව දැන ගන්නවා ක්‍රීඩාව කියන්නේ අපේ ජීවිතේට පාර කියන මාර්ගෝපදේශකයෙක් කියලා. ජයග්‍රහණය කරන්න නම් ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක්, විශ්වාසයක් ගොඩනගා ගන්න ඕන. ධනාත්මක වෙන්න ඕන. අපිට නැහැ හෝ බැහැ කියලා හිතන්න හොඳ නැහැ. මම හම්බන්තොට දී වැඩ කළේ ලුණුගම්වෙහෙරෙ. හරිම දුෂ්කර කාලයක්. දුෂ්කර පළාතක්. ක්‍රීඩා පුහුණු වෙන්න ක්‍රීඩාංගණයක් හෝ තිබුණෙ නැහැ. අපි තංගල්ලට ආවා පුහුණු වෙන්න. එහෙම වුනා කියලා වැඩ අතහැරියෙ නැහැ. පුළුවන් විදිහට කළා. ලැබූ ජයග්‍රහණවලින් ලොකු සතුටක් ලැබුවා.“

හම්බන්තොටින් පස්සේ ඉනෝකා පත්වීම් ලබන්නේ බද්දෙගමට. 

“බද්දේගම වැඩ කරද්දී ඒ ඉසව්වලින් ම පදක්කම් ගත්තා. අලුතෙන් ඉසව්වක් විදිහට උස පැන්නා. බද්දේගම දී ක්‍රීඩාවට විශාල ලෙස කාලය ගත කරන්න ලැබුණෙ නැහැ. නිතර පැමිණි ගංවතුර වගේ උවදුරුවලට මුහුණ දෙන්න සිදු වුනා. නමුත් බද්දේගම දී පැවති ප්‍රජා පොලිස් දින වොලිබෝල් තරගාවලියෙන් අපිට ශූරතාව දිනා ගැනීමට හැකි වෙනවා.”

ඉන් අනතුරුව ඉනෝකාගේ වැඩබිම වෙන්නේ ගාල්ල, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. 

“ගාල්ලෙ දී ටිකක් වැඩ වැඩි වෙනවා. විවිධ පිරිස් සමඟ වැඩ කටයුතු කරන්න වෙනවා. මේක මට අලුත් අත්දැකීමක් නොවුනත් වැඩියෙන් වැඩ කරල පුරුදු මම, ඒව ආසාවෙන් කරනවා. මේ අතර ඉඩ ලැබෙන විදිහට ක්‍රීඩාවටත් සම්බන්ධ වෙනවා. ගාල්ලෙ දී 2019 දිසාපති කුසලාන කබඩි ශූරතාව දිනා ගත්තා. නෙට්බෝල් අනුශූරතාව දිනා ගත්තා. වොලිබෝල්, බැඩ්මින්ටන් සහ එල්ලේ තුන්වැනි ස්ථාන දිනා ගන්නවා. 2020 දී මේ තරගාවලිය වෙනුවෙන් පැවති වොලිබෝල් තරගාවලියේ දක්ෂතම ප්‍රහාරිකාව ලෙසින් තේරී පත් වෙනවා.”

රාජ්‍ය සේවයට එක් වූ දවසේ සිට ම ඉනෝකා රාජ්‍ය සේවා තරගාවලියට සහභාගී වෙනවා. හම්බන්තොට, බද්දේගම, ගාල්ල කියා වෙනසක් වෙන්නෙ නැහැ. මේ අතුරින් රාජ්‍ය සේවා තරගාවලියේ මෙතෙක් හෙල්ල විසිකිරීම, කවපෙත්ත දැමීම සහ උස පැනීමෙන් පදක්කම් දිනාගෙන තිබෙනවා. 

“රාජ්‍ය සේවා තරගවල දී තරගකාරීත්වය වැඩියි. ඊට සහභාගී වෙනවා නම් නිසි පුහුණුවක් ලැබිය යුතුයි. නමුත් අපිට ඒ ඉඩකඩ ලැබෙන්නේ බොහොම කලාතුරකින්. කණ්ඩායම් තරගයක දී ක්‍රීඩකයන් එකට පුහුණු වීම් කරන්න ඕන. අදහස් හුවමාරු කර ගන්න ඕන. නමුත් අපිට මේ අවස්ථාවන් හිමිවෙනවා අඩුයි. අපි පුහුණුවීම් කළේ තැන තැන ගිහිල්ලා. දැන් නම් අපිට සෙල්ලම් කරන්න දඩැල්ල ක්‍රීඩාංගණය තියෙනවා. මේ අඩු-පාඩු සමඟ අප ගිය වසරේ රාජ්‍ය සේවා වොලිබෝල් තරගාවලියේ තෙවැනි තැන ලබා ගන්නවා. අපි බන්ධනාගාර කණ්ඩායම පවා පරාජය කරනවා. ඇත්තට ම ඒක ලොකු ආඩම්බරයක්. අපි මේ තරගාවලියට සහභාගී වුනේ පළමුවැනි වතාවට.”

ඉනෝකාගේ තනතුර අනුව ක්‍රීඩා තරගයක ක්‍රීඩා කරනවා තබා තරගාවලියක ආරාධිත අමුත්තා ලෙසින් හෝ සහභාගී වීමත් මහත් අසීරු කාර්යයක්. නමුත් ඇය පවසන්නේ රාජකාරියත් සමග කිසිවක් තමන් කිසිදාක පටලවා නොගත් බවයි. 

“කොතරම් කාර්ය බහුල වුනත් හැමදාම සෙල්ලම් කරනවා. ඒ සඳහා සුදුසු වෙලාවක් හදා ගන්නවා. ඒක අපේ කාර්ය බහුල ජීවිතයට විශාල අස්වැසිල්ලක්. විශේෂයෙන්ම කණ්ඩායම් ක්‍රීඩාවක් කරනවා නම් අපිට අපේ ජීවිතයට ලබා ගත හැකි බොහෝ දේ තිබෙනවා. කණ්ඩායමක් වුනහම එකට සෙල්ලම් කරන්න ඕන. අදහස් එකිනෙකා අතර හුවමාරු වෙනවා. ඒවා හරියට කළමනාකරණය කිරීමෙන් තමයි ජයග්‍රහණයක් ලැබෙන්නේ. මම මගේ රැකියාවෙන් තෘප්තියක් ලබන්නේ තනියම කරන දෙයින් නෙමේ, සාමූහිකව කරන දෙයින්. මම හිතන්නේ මම ඒක ක්‍රීඩාවෙන් ලබා ගත් දෙයක්.”

ඉනෝකට තම ජීවිතයේ දුක-සැප බෙදා ගන්න සහකාරයා හමුවෙන්නේත් විශ්වවිද්‍යාල ජීවිතයේ දී. ඔහුත් ක්‍රීඩකයෙක්. විශ්වවිද්‍යාලයේ දී බර ඉසිලීමේ ප්‍රමුඛ සාමාජිකයෙක්. නමින් බන්දුල ලියනගේ. වර්තමානයේ දී ඔහුත් රාජ්‍ය සේවයට සම්බන්ධ කෙනෙක්. පාපන්දු ක්‍රීඩකයෙක්. හිමත් ලියනගේ සහ සිනදි ලියනගේ නමින් ඔවුන්ට පුතෙකුත් දුවකුත් ඉන්නවා. ඉගෙනුම ලබන්නේ ගාල්ල පෞද්ගලික පාසලක. ඔවුනුත් අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවටත් උනන්දුයි. 

“මට මීට ටික කාලයකට පෙර අවුරුදු දෙකක ශිෂ්‍යත්වයක් ලැබුණා ජපානයට යෑමට. අපි සියලුම දෙනා එහේ ගියා. එහේ අධ්‍යාපනයත් මෙහේ අධ්‍යාපනයත් හාත් පසින්ම වෙනස්. හරි සරල ලෙසින් හැම දෙයක් ම ඉගැන්වෙන්නේ. ලංකාවට ආවට පස්සේ අපි දෙන්නගෙම කැමැත්ත වුනේ පුතත් දුවත් ජාත්‍යන්තර පාසලක ඉගෙනුමට යොමු කරන්න. ඒ අනුව අපි එතැන තෝරා ගත්තා. දැන් දෙන්නම එහේ පිහිනුම් ක්‍රීඩාවේ නිරත වෙනවා.”

කොච්චර කාර්ය බහුල වුනත් ඉනෝකා මේ අයගේ උවමනා එපාකම් ද සොයා බලනවා. රාජකාරියේ දී වගේ ම ඒ කාර්යයේදීත් කිසිදු අඩුවක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලයි ඇය කියන්නේ. 

“මම කැමතියි නිතරම කාර්ය බහුල වෙලා ඉන්න. මහජනයාට සේවය සලසන එක තරම් සතුටක් තවත් නැහැ. ඒකට වෙලාවක් කලාවක් නැහැ. මාව හමුවෙන්න එන කෙනෙක් සතුටු කරල යවන එක මගේ යුතුකමක්. රාජ්‍ය සේවය තුළින් මහජනයාට යහපතක් කරන්න ඕන. ලැබුණ සම්මානය පවා ඒ ගැන මතක් කරන සිහිවටනයක් වගේ. සමහර වෙලාවල්වලදී රාජකාරියේ දී විවිධ බලපෑම් කළා. යෝජනා කළා. මම හිටියේ මහජනතාවගේ පැත්තේ. රාජ්‍ය සේවකයාගේ පළමු තේරීම මහජනයා විය යුතුයි. ලැබුණ සම්මානය කටු ඔටුන්නක් කරගන්න මම වැඩ කරන්නේ නැහැ. දැන් මාව මේ වටා ආරක්ෂා වෙලා තියෙනවා කියලා හිතෙනවා. තව තවත් නිහතමානීව මහජනතාවට වැඩ කිරීම තමයි මගේ අසාව” ඉනෝකා පවසනවා. 

ඇය අප සමඟ කතාව අවසන් කරමින් ක්‍රීඩාව ගැනත් පැවසුවා. 

“අපි දෙයක් කරන කොට ගොඩාක් සැලසුම් කරනවා. තරගවලදීත් ඒ වගේ. මේ තරගයේ දී වුනත් අවසන් 5 දෙනා අතරට මාව තේරුණාට පස්සේ මම දිනන්නේ කොහොමද කියල සැලසුම් කළා. එහෙම නැතිව බැහැ. අපි තරගයක දී පැරදුණා නම් පැරදුණේ අපේ වරදින් නෙමේ. ප්‍රතිවාදීන් අපිට වඩා දක්ෂයන් වූ නිසා. ඔවුන්ට අපිට වඩා වාසනාව තිබුණ නිසා. අපි නිවැරදි පුහුණුවක් නොලැබුවා නම්, ඊට නිසියාකාරව සූදානම් නොවුනා නම් ඒක අපේ වරද. මේ නිසා ඒ වරද සිදු වෙන්න ඉඩ තියන්න එපා. අපිට වඩා දක්ෂයෝ ඇති. ඔවුන් ජය ගනිවි. නමුත් අපට ලබන්න පුළුවන් ජයග්‍රහණ ඔවුන්ට පුදන්න එපා. තරගයකට යනවා නම් හෝම් වර්ක් හරියට කරල යන්න. ඔබට වරදින්නේ නැහැ” රටක් ජය ගත් ඉනෝකා පැවසුවා.

කාන්තාවක ලෙසින් තීන්දු තීරණ ගැනීමේ දී ජවයකින් යුතුව කටයුතු කරමින් අනිසි බලපෑම්වලට යට නොවී අභීත රාජ්‍ය සේවිකාවක් ලෙසින් සම්මානනීය වූ ඔබට ThePapare.com හි සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<