මැක්ස්වෙල්ගේ ගිණිකෙළි මැද ඉන්දියාව මව් බිමේ දී ම දණ නමයි!

628

පසුගිය මාස කිහිපය පුරාවට මුනිවත රැකි ග්ලේන් මැක්ස්වෙල්ගේ පිත්ත කතා කිරීමට පටන් ගත්තේ මීට දින කිහිපයකට පෙර ඕස්ට්‍රේලියානු පිළේ ඉන්දීය තරග සංචාරය ආරම්භ වීමත් සමඟයි. තම රටේ තණතිලි වලටත් වඩා ආසියානුකරයේ තණතිලි ප්‍රිය කරන ඔහු ඊයේ දිනයේ (27) රැස්කළ ප්‍රවේගකාරී ශතකය නිසා පළමු වරට ඉන්දියාව ඔවුන්ගේ මව්බිමේ දී ම විස්සයි විස්ස තරගාවලියකින් පරාජය කිරීමට ඕස්ට්‍රේලියානුවන්ට හැකි විය.

ඉන්දියාව දණ ගැස්වූ කැන්ගරුවන්ගේ අවසන් පන්දුවේ වික්‍රමය!

විස්සයි විස්ස තරගවල දී ඉන්දියාව පරාජය කිරීම….

බැංගලෝර් නුවර චින්නස්වාමි ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය දෙපිළටම අතිශයින්ම වැදගත් වූයේ මෙම තරග සංචාරයට විස්සයි විස්ස තරග දෙකක් පමණක් ඇතුළත් වන බැවිනි. දෙරට අතර පැවති පළමු T20 තරගය ඕස්ට්‍රේලියානුවන් අවසන් පන්දුවේ දී ජය ගත් නිසා සත්කාරක ඉන්දීය කණ්ඩායම ද මෙම තරගයට මුහුණ දුන්නේ තරමක චකිතයකින් යුතුවයි. කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් මුලින් පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ඇරයුම් කළේ ද එවන් පීඩනයක් හමුවේ පිතිකරණයේ යෙදීම අපහසු බව දන්නා නිසයි. අනෙක් අතට ඉන්දියාව යනු ලෝකයේ හොඳම ලකුණු හඹා යාමේ කණ්ඩායමක් වන නිසා අනවශ්‍ය අවදානමක් ලබා නොගන්නට ඔහු තීරණය කරන්නට ඇත.

ඒ අනුව සුපුරුදු පරිදි ඉන්දියාව හොඳ ආරම්භයක් ලබාගත් අතර පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 61ක් එක් කිරීමට ඔවුන් සමත් විය. පළමු තරගයට ක්‍රීඩා කළ රෝහිත් ශර්මා වෙනුවට ඊයේ ලෝකේෂ් රාහුල් ඉනිම ආරම්භ කළ අතර ඔහු ලකුණු 47ක් ලබා ගත්තේ පන්දු 26ක දීයි. ඔහුගේ ඉනිම හතරේ පහර 3කින් සහ ඔහුටම ආවේණික තාක්ෂණය කැටිවුණු හයේ පහර 4කින් අලංකාරවත් විය. අනෙක් අන්තයේ සිටි ශිකර් ධවාන් ඊයේ එතරම් හොඳින් තණතිල්ලේ හැසිරීම හඳුනා ගෙන නොසිටි නිසා ඔහු පන්දු 24ක් වැය කරමින් ලබා ගත්තේ ලකුණු 14ක් පමණි. අවසානයේ ඔහු නවක ක්‍රීඩක ජේසන් බෙරන්ඩෝෆ්ට කඩුල්ල හිමිකර දෙමින් දැවී ගියේය.

කොල්පැක් නිසා ද. අප්‍රිකා දඟයෙක් වසර 3කට ක්‍රීඩාවට සමුදෙයි

දකුණු අප්‍රිකානු නැගීඑන වේගපන්දු යවන්නෙකු ….

IPL තරග අති විශාල සංඛ්‍යාවක දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කර ඇති විරාත් කෝලි මෙම ක්‍රීඩාංගණයේ තණකොළ ගසක් ගානේ හොඳින්ම දන්නා නිසා ඔහුට ලකුණු අතරට පැමිණීමට කිසිදු අපහසුවක් නොවීය. පන්දු 38කට මුහුණ දුන් ඔහු ඊයේ ලකුණු 72ක් නොදැවී රැස්කර ගත්තේ තරගය නැරඹීමට පැමිණ සිටි 40,000 පමණ වූ ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමිනි. කෝලිගේ මෙම සුපිරි ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 6ක් ඇතුළත් විය. කලින් තරගයේ දී මන්දගාමී ක්‍රීඩා රටාවක් අනුගමනය කළ දෝනි ඊයේ නැවතත් තමා කවුදැයි පෙන්වා දෙමින් ලකුණු 40ක් රැස් කළේ පන්දු 23කට පමණක් මුහුණ දෙමිනි.

මෙම ඉනිම තුන නිසාවෙන් ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 190ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට හැකි විය. පන්දු යැවීමේ දී තනි ක්‍රීඩකයෙකු වශයෙන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සාර්ථක නොවූ අතර ඉන්දීය පිළේ බිඳ වැටුණු කඩුලු 4 පන්දු යවන්නන් සිව් දෙනෙකු අතරේ බෙදී ගියේය. මෙහි දී නවක බෙරන්ඩෝෆ් හැරුණු කොට පැට් කමින්ස්, කෝල්ටර්නයිල් සහ රිචඩ්සන් යන අනෙක් වේගපන්දු යවන්නන් තිදෙනාම දැඩි ප්‍රහාරයකට ලක්වෙනු දැකගන්නට ලැබුණි. පන්දු යවන්නන්ගේ මෙම අසාර්ථකත්වයට රාත්‍රිය උදාවත්ම ක්‍රීඩාංගණයට පින්න පතිත වීමත් හේතු වූ බව පෙනෙන්නට තිබුණි.

මෙම දැවැන්ත ඉලක්කය හඹා යන්නට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිළේ මුල් කඩුලු දෙකම ලකුණු 22ක් වෙද්දී බිඳ වැටුණු අතර ඉන්දියාවට තරගාවලිය බේරා ගැනීමට හැකි වන අයුරක් පෙනෙන්නට තිබුණි. මේ අවස්ථාවේ දී පිහිටට ආ ග්ලේන් මැක්ස්වෙල් ඉන්දියානු පන්දු යවන්නන්ට හොඳ හැටි සංග්‍රහ කරමින් නොදැවී ශතකයක් වාර්තා කළේය. ඒ පල්ලෙකැලේ දී ඔහු එල්ල කළ සුපිරි ප්‍රහාරය නැවත වරක් සිහියට නංවමිනි. මැක්ස්වෙල්ගේ මෙම ලකුණු 113ක සුපිරි ඉනිමට වැය වූයේ පන්දු 55ක් පමණි. ඒ අතරතුරේ දී පන්දුව සත්වරක් හතරේ සීමාව පසු කළ අතර අවස්ථා 9ක දී එය ගුවනේ පාවී ගොස් ප්‍රේක්ෂකාගාර මත පතිත විය.

සසායිගේ ප්‍රහාරය නිසා වැඩිම T20 ලකුණු වාර්තාව ඇෆ්ගනිස්තානයට!

2007 සිට පුරා වසර 9ක් තිස්සේ ලොව වැඩිම විස්සයි….

මැක්ස්වෙල් ලකුණු අතරට පැමිණි දාට අනෙක් පිතිකරුවන්ට කරන්නට දෙයක් ඉතිරි නොවන නිසා අනෙක් අන්තයේ සිටි පීටර් හැස්කොම්බ් නොදැවී ලකුණු 20ක් ලබාගෙන නිසොල්මනේ සිටියේය. අවසන් පන්දුවාරයේ තෙවැනි පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ලකුණු සමකළ මැක්ස්වෙල්, මීළඟ පන්දුවට වැර යොදා හතරේ පහරක් එල්ල කළේ තමන් නැවතත් ලකුණු අතරට පැමිණි බව සනාථ කරන ජය ඝෝෂාවක් ද සමඟිනි. පළමු විස්සයි විස්ස තරගයේ දී ද අර්ධ ශතකයක් ලබා ගත් ග්ලේන් මැක්ස්වෙල්ට වඩා තරගාවලියේ වීරයා සම්මානයට සුදුස්සෙක් මෙම තරග දෙකේ දී දැකිය නොහැකි විය.

ඒ අනුව මීට සතියකට පමණ ඉහත දී බිග් බෑග් ලීග් (BBL) කිරුළ තමන් නියෝජනය කරන මෙල්බර්න් රෙනෙගේඩ්ස් පිළට ලබා දීමට නායකත්වය දුන් ඒරන් ෆින්ච් තවත් මිල කළ නොහැකි කුසලානයක් දෝතට ගන්නට ඊයේ දිනයේ සමත් විය. ඒ ඉන්දියාවේ දී ඕනෑම ආකාරයේ තරගාවලි ජයග්‍රහණයක් ලැබීම යනු ලොව කුමන කණ්ඩායමක වුවද සිහිනයක් වන බැවිනි. ඕස්ට්‍රේලියානුවන්ගේ මෙම පිබිදීමත් සමඟ එක්දින තරගාවලිය ද අතිශයින්ම උණුසුම් මුහුණුවරක් ගැනීමට ඉඩ ඇති අතර එහි පළමු තරගය මාර්තු දෙවැනි දා හයිද්‍රාබාද් හිදී ආරම්භ වීමට නියමිතව ඇත.

ඉන්දියාව – කඩුලු 4ක් දැවී ලකුණු 190 (පන්දුවාර 20)

විරාත් කෝලි 72*, ලෝකේෂ් රාහුල් 47, එම්. එස්. දෝනි 40, ශිකර් ධවාන් 14, ජේසන් බෙරන්ඩෝෆ් 1/17, ඩී. ආචි-ශෝට් 1/29, නේතන් කෝල්ටර්නයිල් 1/33.

ඕස්ට්‍රේලියාව – කඩුලු 3ක් දැවී ලකුණු 194 (පන්දුවාර 19.4)

ග්ලේන් මැක්ස්වෙල් 113*, ඩී. ආචි-ශෝට් 40, පීටර් හැස්කොම්බ් 20*, විජේ ශංකර් 2/38, සිද්ධාර්ත් කෞල් 1/45

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<