Shamiගේ වැඩ ගැන Afridiගේ අප්‍රසාදය

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

11551

හිටපු පාකිස්තාන නායක Shahid Afridi විසින් ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Mohammed Shamiගේ Twitter ප්‍රකාශයක් පිළිබඳව සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

ඊයේ (13) එංගලන්තය හමුවේ පාකිස්තාන කණ්ඩායම ලද පරාජය නිසා විස්සයි විස්ස ලෝක කුසලානයේ අනුශූරතාව දිනා ගැනීමෙන් සෑහීමකට පත් වීමට සිදු වීම පිළිබඳ සිය කනගාටුවට ප්‍රකාශ කරමින් හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වූ Shoaib Akhtar විසින් Twitter හී බිඳුණු හදවතක (💔) ඉමෝජියක් පල කර තිබුණා.

එයට පිළිතුරු ලෙස Twitter ප්‍රකාශයක් නිකුත් කළ Shami කනගාටුයි සහෝදරයා, ඒකට කියන්නේ කර්මය කියලා” යනුවෙන් සඳහන් කර තිබුණා.

Shamiගේ මෙම ප්‍රකාශය කුමක් අරඹයා සිදු වූවක් ද යන්න හරි හැටි නො දන්නා නමුත්, බොහෝ දෙනා විශ්වාස කරන්නේ ආබාධයකට ලක් වූ Jasprit Bumrah වෙනුවට මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් Mohammed Shamiව ඉන්දීය කණ්ඩායමට ආදේශ කළ අවස්ථාවේ Akhtar විසින් එය ප්‍රශ්න කිරීම හේතුවෙන් මෙම ගැටලුව ආරම්භ වන්නට ඇති බවයි.

මේ අතර මෙම සිදුවීම පිළිබඳ Shahid Afridiගේ මතය කුමක් ද යන්න පාකිස්තාන රූපවාහිනී නාලිකාවකින් විමසා තිබුණා. එම සිදු වීම පිළිබඳ සිය අප්‍රසාදය පල කරමින්, ඉන්දියාවේ සහ පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩකයින් යනු දෙරටේ ප්‍රතිරූපය පිළිබිඹු කරනා චරිත බවත්, ඔවුන් දෙරටේ බැඳීම වැඩි කරවන ආකාරයෙන් හැසිරිය යුතු බවත් Afridi විසින් පවසා තිබුණා.

තමන්ගේ ක්‍රියාවන් සමඟ වෛරය වර්ධනය කර නො ගන්නා ලෙසත්, ජාතීන් අතර සමගිය වර්ධනය කිරීමේ දී ආදර්ශමත් පුද්ගලයින් වගකීමක් නොමැතිව කටයුතු කරයි නම් සාමාන්‍ය ජනතාවගෙන් වැඩි යමක් බලාපොරොත්තු විය නො හැකි බව ද Afridi විසින් පවසා තිබුණා.

“අපි වෛරය වර්ධනය වන ආකාරයේ දේවල් නො කළ යුතුයි, අපි එවැනි දේවල් පටන් ගත්තොත් සාමාන්‍ය ජනතාවගෙන් මොනවද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

අපි ක්‍රිකට් ක්‍රීඩකයෝ. අපි තානාපතිවරු සහ සමාජයට ආදර්ශමත් පුද්ගලයෝ. අපි මේ හැම දෙයකම අවසානයක් දකින්නටයි උත්සාහ කරන්න ඕන. අපි අසල්වාසීන්. අපිට ක්‍රිකට් හරහා අපේ බැඳීම් දියුණු කර ගන්න පුළුවන්. අපිට ඔවුන් සමග ක්‍රීඩා කිරීමට අවශ්‍යයි. ඔවුන් පාකිස්තානයේ ක්‍රීඩා කරනවා දකින්න අවශ්‍යයි,” යනුවෙන් Afridi එහි දී පවසා සිටියා.

තවදුරටත් අදහස් දැක්වූ Afridi සඳහන් කළේ, ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් ක්‍රීඩකයින් පවා මෙවැනි මතභේද ඇති කර නො ගත යුතු බවයි. එමෙන්ම තවමත් ක්‍රීඩා කරන Shamiට ද එවැනි ප්‍රකාශ සිදු කිරීමෙන් වැළකී සිටින්නටත් ඔහු විසින් අවවාද කළා.

“ඔබ විශ්‍රාම ගෙන සිටියා වුනත් මෙවැනි දේවල් නො කළ යුතුයි. නමුත් ඔබ වත්මන්  කණ්ඩායමේ සාමාජිකයෙක්. ඔබ මේ දේවල් වලින් ඈත් ව සිටිය යුතුයි.”

ඊයේ තරගයේ දී පාකිස්තාන පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිකරණය හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට පහසුවෙන් ම දෙවැනි වරටත් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට අවස්ථාව හිමි වුනා.

මෙම සියලු සිදුවීම් සිදු වන්නේ එම තරගයේ නිමාවත් සමඟයි.

Shoaib Akhtarගේ Twitter සටහනට Shami විසින් දැමූ මෙම උපහාසාත්මක පිළිතුර මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක් වන අතර ඊට විවිධාකාරයේ පිළිතුරු හතර වටින්ම ගලා ගෙන එමින් පවතිනවා.

තවත් මෙවැනි ක්‍රීඩා තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

wionews ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<