Karthik නායකත්වයෙන් ඉල්ලා අස්වේ

365
Dinesh Karthik & Eoin Morgan

2020 Indian Premier League තරගාවලියේ Kolkata Knight Riders හි නායකයා වූ ඉන්දීය ක්‍රීඩක Dinesh Karthik නායකත්වයෙන් ඉවත්ව නව නායකයා ලෙස එංගලන්ත ක්‍රිකට් නායක Eoin Morgan තේරීපත්ව ඇත.

පිතිකරණය සඳහා වැඩි අවධානයක් ලබා දෙමින් කණ්ඩායම වෙනුවෙන් තමන්ට හැකි උපරිම සේවය ලබා දීමේ අරමුණින් තමන් නායකත්වයෙන් ඉවත් වන බවත්, තමන් ඉවත් වූ පසු කණ්ඩායම් නායකත්වය Eoin Morgan හට ලබා දීමට කැමැත්තෙන් පසුවන බවත් Dinesh Karthik කණ්ඩායමේ පරිපාලන මණ්ඩලයට දැනුම් දෙමින් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

Kolkata Knight Riders කණ්ඩායමේ නිල වෙබ් අඩවියේ සටහනක් තබමින් මෙම පුවත නිල වශයෙන් තහවුරු කර ඇති අතර මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් කණ්ඩායමේ කළමනාකරු Venky Mysore ප්‍රකාශ කර සිටියේ Karthik සෑමවිටම කණ්ඩායම පෙරමුණේ තබා තීරණ ගන්නා අයෙකු බවත්, ඔහුගේ මෙම තීරණය පිළිබඳව ඔවුන් සියලු දෙනාම ඉතා විමතියට පත්වූ බවයි.

“ඒ වගේම අප තවත් වාසනාවන්තයි 2019 එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ නායකයා වගේම අපගේ උපනායකයා වන Eoin Morgan කණ්ඩායම ඉදිරියට මෙහෙය වීමට කැමැත්තෙන් පසුවීම ගැන.

මෙම තරගාවලිය අතරතුර දී Karthik සහ Morgan ඉතා සහයෝගයෙන් කැපී පෙනෙන අයුරින් එක්ව වැඩ කළා, ඒ නිසා Morgan නායකයා ලෙස වැඩ භාරගත්ත ද, මෙය දෙදෙනා අතර භූමිකා හුවමාරුවක් පමණක් වන නිසාවෙන් එය ඉතා ඵලදායී වනු ඇතයි අප අපේක්ෂා කර සිටිනවා” යැයි ඔහු ප්‍රකාශ කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

පෙර තරග වාරයන්වල දී කැපී පෙනෙන කණ්ඩායමක් වූ Kolkata Knight Riders මෙම වසර තුළ දී යම් පසුබෑමකට ලක් වීමක් පෙන්නුම් කරන්නට වූ අතර කණ්ඩායමේ නායකත්වය අත්දැකීම් බහුල නායකයෙකු වන Eoin Morgan හට ලබා දීමට කටයුතු කළ යුතු බවට ද බොහෝ දෙනා මත පලකර සිටින්නට විය.

එංගලන්තය බිහි කළ සාර්ථකම සීමිත පන්දුවාර නායකයා ලෙස සැලකෙන Eoin Morgan පන්දුවාර 20 තරග 51ක දී සිය කණ්ඩායම මෙහෙයවා එයින් තරග 28ක් ජය ගැනීමට සමත්ව ඇති අතර 2019 එක්දින ලෝක කුසලානයේ දී එංගලන්ත කණ්ඩායම මෙහෙයවමින් සිය කණ්ඩායමට කුළුඳුල් එක්දින ලෝක කුසලානය දිනා ගැනීමට මහඟු සේවයක් ඉටු කරන ලදි.

Kolkata Knight Riders කණ්ඩායම මෙවර Indian Premier League තරගාවලියේ දී තරග 7කට මුහුණ දෙමින් එයින් තරග 4ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 8ක් සමඟ සිව්වැනි ස්ථානයේ පසුවෙන අතර ඔවුන් සහභාගි වන මීළඟ තරගය අද (17) රාත්‍රි 7.30ට ප්‍රබල Mumbai Indians කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<