CR&FC සියවස් ශූරතාවය මහනුවරට

CR&FC සියවස් සත් සාමාජික රග්බි තරගාවලිය 2023

405

මෙරට ප්‍රබල ක්‍රීඩා සමාජයක් වන CR&FC හි සියවස් සැමරුමට සමගාමීව සංවිධානය කළ සියවස් සත් සාමාජික රග්බි තරගාවලිය අප්‍රේල් 30 වැනිදා සිට 02 වැනිදා දක්වා CR&FC ක්‍රීඩා පිටියේ දී පැවැත්වුනා.

තරගාවලියේ පිරිමි ශූරතාවය මහනුවර කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් වූ අතර ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් සහභාගී වූ Burray Rays කණ්ඩායම කාන්තා රග්බි ශූරතාවය දිනා ගත්තා. පාසල් ශූරතාවය දිනා ගත්තේ බම්බලපිටිය සාන්ත පීතර ක්‍රීඩකයින් විසිනුයි.

දින තුනක් මුළුල්ලේ පැවති මෙම තරගාවලිය සඳහා පිරිමි කාණ්ඩය යටතේ කණ්ඩායම් 08ක් සහ කාන්තා කාණ්ඩය යටතේ කණ්ඩායම් 6ක් සහභාගී වූ අතර පාසල් කාණ්ඩය යටතේ කණ්ඩායම් 12ක් සහභාගී වුනා.

කාන්තා අදියර

මෙම කාණ්ඩයේ කණ්ඩායම් හය අනෙක් කණ්ඩායම් සියල්ල සමඟ තරග කර පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. තුන සහ හතර ස්ථාන ලබා ගත් කණ්ඩායම් පලඟ ශූරතාවය සඳහාත්, අවසන් ස්ථාන ලැබූ කණ්ඩායම් පලිහ ශූරතාව සඳහාත් තරග වැදුණා.

තරගාවලියේ සත්කාරකත්වය දැරූ CR&FC කාන්තා ක්‍රීඩිකාවන් පළමු වටය අවසානයේ හයවැනි ස්ථානයේ පසු වූ අතර එම වටයේ පස්වැනි ස්ථානය දිනා ගත් Doha RFC කණ්ඩායම හමුවේ ඔවුන් පලිහ අවසන් තරගය පරාජයට පත් වුනේ 10-07ක් ලෙසයි.

කාන්තා කාණ්ඩයේ පලඟ ශූරතා අවසන් තරගය නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර පැවති පැවැත්වුනා. එම තරගයේ සිය ආධිපත්‍ය රඳවා ගත් නාවික හමුදා ක්‍රීඩිකාවන් තරගය ජයග්‍රහණය කළේ ලකුණු 52-00ක් ලෙසයි.

එම කාණ්ඩයේ වැඩි අවධානයක් දිනා ගත් යුද හමුදා ක්‍රීඩිකාවන් පළමු වටය ඉතා ශක්තිමත්ව අවසන් කිරීමට සමත් වෙද්දී, ඕස්ට්‍රේලියාව නියෝජනය කරන Burray Rays ක්‍රීඩිකාවන් දෙවැන්නා ලෙස මූලික වටය අවසන් කළා.

නමුත් අවසන් මහා තරගයේ යුද හමුදා ක්‍රීඩිකාවන්ට දැඩි අභියෝගයක් එල්ල කළ Burray Rays ක්‍රීඩිකාවන් අවසන් මහා තරගය ලකුණු 15-07ක් ලෙස ජයග්‍රහණය කරමින් ශූරතාවය දිනා ගත්තා.

Burray Rays

පාසල් අදියර

කණ්ඩායම් 12ක් සහභාගී වූ මෙම කාණ්ඩයේ කණ්ඩායම් තුන බැගින් කාණ්ඩ 4කට වෙන් කරමින් තරග පැවැත්වුවා.

එක් එක් කාණ්ඩයේ මූලික වටය අවසානයේ පළමු ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් දෙක කුසලාන සහ පලඟ අර්ධ අවසන් තරගවලට සුදුසුකම් ලබා ගනිද්දී, අවසන් කණ්ඩායම් බඳුන අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලැබුවා.

බඳුන අවසන් පූර්ව වටයේ දී පිළියන්දල මධ්‍ය මහා ක්‍රීඩකයින් 22-07ක් ලෙස පරාජය කරමින් වෙස්ලි ක්‍රීඩකයින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිද්දී, සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 31-12ක් ලෙස පරදවා විද්‍යාර්ථ ක්‍රීඩකයින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

සිය ප්‍රබලත්වය අවසන් තරගයේ දී ප්‍රදර්ශනය කළ විද්‍යාර්ථ ක්‍රීඩකයින් තියුණු තරගයකින් පසුව වෙස්ලි විද්‍යාලය පැරදුවේ ලකුණු 15-14ක් ලෙසයි.

විද්‍යාර්ථ විද්‍යාලය

පලඟ අවසන් පූර්ව තරගයේ දී ඩී. එස්. සේනානායක විද්‍යාලය 22-07ක් ලෙස පරාජය කළ සහීරා ක්‍රීඩකයින් සහ කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් 17-07ක් ලෙස පරාජය කළ ඉසිපතන ක්‍රීඩකයින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

තරගාවලියේ වඩාත් අවධානය දිනා ගත් තරගයක් වූ එහි සම්පූර්ණ කාලය අවසන් වුනේ 19-19ක් ලෙස කණ්ඩායම් දෙකම සමව තබමිනුයි. නමුත් අතිරේක කාලයේ දී උත්සාහක දිනුමක් වාර්තා කළ ඉසිපතන ක්‍රීඩකයින් පලඟ ශූරතාව ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

ඉසිපතන විද්‍යාලය

පාසල් කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම් ද්විත්වය වූ රාජකීය විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය කුසලාන අවසන් පූර්ව වටයේ දී තරග වැදුණු අතර ලකුණු 17-12ක් ලෙස රාජකීය ක්‍රීඩකයින් එම තරගය ජයග්‍රහණය කළා.

ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 20-07ක් ලෙස පරාජය කළ බම්බලපිටිය සාන්ත පීතර ක්‍රීඩකයින් කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර අවසන් තරගයේ දී රාජකීය විද්‍යාලය 21-00ක් ලෙස පරාජය කළ සාන්ත පීතර ක්‍රීඩකයින් පාසල් කාණ්ඩයේ ශූරයින් ලෙස අභිෂේක ලැබුවා.

සාන්ත පීතර කණ්ඩායම

පිරිමි අන්තර් සමාජ කාණ්ඩය

කණ්ඩායම් අටක් කාණ්ඩ දෙකකට බෙදා වෙන් කර පැවති මෙම කාණ්ඩයේ මූලික වටයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක කුසලාන සහ පලඟ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගනිද්දී, අවසන් කණ්ඩායම් දෙක බඳුන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

තරගාවලිය පුරාවට කැපී පෙනෙන ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ යුද හමුදා ක්‍රීඩකයින් විසින් නාවික හමුදාව 21-17ක් ලෙස පරදවා බඳුන අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර පොලිස් ක්‍රීඩකයින් විසින් ලකුණු 15-12ක් ලෙස යුද හමුදාව පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

යුද හමුදා කණ්ඩායම

අවසන් තරගයේ දී පොලිස් ක්‍රීඩකයින් ලකුණු 26-12ක් ලෙස පරාජය කරමින් බඳුන ශූරතාවය දිනා ගත්තේ යුද හමුදාවයි.

තරගාවලියේ අපරාජිත කණ්ඩායමක් වූ CH&FC ක්‍රීඩකයින් අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල මහනුවර ක්‍රීඩකයින් හමුවේ ලකුණු 31-07ක් ලෙස පරාජය වූ අතර සත්කාරක CR&FC ක්‍රීඩකයින් Havelocks කණ්ඩායම හමුවේ ලකුණු 17-12ක අනපේක්ෂිත පරාජයක් ලැබුවා.

Havelocks හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජයෙන් පසු පලඟ අවසන් තරගයේ දී CR&FC ක්‍රීඩකයින් විසින් CH&FC කණ්ඩායම ලකුණු 31-12ක් ලෙස පරාජය කරමින් පලඟ ශූරතාව දිනා ගත්තා.

CR&FC කණ්ඩායම

2019 වසරෙන් පසු සත් සාමාජික තරගාවලියක් නියෝජනය කළ මහනුවර ක්‍රීඩකයින් අවසන් මහා තරගය ලකුණු 21-07ක් ලෙස ජයග්‍රහණය කරමින් සත් සාමාජික පිටියේ සිය නැවත පැමිණීම සටහන් කළා.

රග්බි පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<