චන්දිමාල් කැපුවේ මාලිංගයි

99

හෙට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා පාකිස්තාන් විස්සයි – 20 ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරා ගත් ශ්‍රී ලංකා සංචිතයට, පසුගියදා නිමාවූ එක්දින තරගාවලියේ සාර්ථකම පිතිකරුවකු වූ දිනේෂ් චන්දිමාල් ඇතුලත් කර නැත්තේ ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ බලපෑමක් මත බව හිටපු තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වා ඇති හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසන්නේ දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් කිරීම පිළිබඳව තමා පුදුමයට පත්වන බවයි. පසුගිය එක්දින තරගාවලියේ සාර්ථක පිතිකරුවන් දෙදෙනෙක් එලෙස කණ්ඩායමෙන් ඉවත් කර ලකුණු අතර නොසිටින චාමර කපුගෙදර වසර තුනකට පසු නැවත කැඳවීම ගැටලුවක් බවත් නවක ක්‍රීඩකයන් 5 දෙනකුම කණ්ඩායමට ඇතුළත් කිරීම කුමන පදනමකින් සිදුවූවාදැයි සිතාගත නොහැකි බවත්ය.

ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ පසුගියදා නිමා වූ ශ්‍රී ලංකා- පාකිස්තානු එක්දින තරගාවලිය විකාශය කළ පාකිස්තානු රූපවාහිනී වැඩසටහනක (ර්ථීඊඍ රූපවාහිනි නාළිකාව) විශේෂඥ විස්තර විචාරකයකු ලෙස සහභාගි වෙමිනි.

එහිදී දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කිරීමට මාලිංගට ඇති වුවමනාව කුමක්දැයි..? අදාළ රූපවාහිනී ආයතනයේ නිවේදකවරයා සනත්ගෙන් විමසූ විට “මාලිංගට අවශ්‍ය කුසල් ජනිත්ව කඩුලු රකින්නා ලෙස යොදාගෙන කණ්ඩායම ගෙනියන්න” යනුවෙන්ද පැවැසීය.
මෙම කතාබහට පාකිස්තානු හිටපු සුපිරි ක්‍රීඩකයන් දෙපළක් වන ජාවෙඩ් මියන්ඩාඩ් සහ සක්ලේන් මුෂ්ටාක්ද සහභාගි වී සිටියහ.