Buttlerට දඩ; හේතුවක් ගැන සඳහනක් නැහැ!

IPL 2023

841

පසුගිය බ්‍රහස්පතින්දා (11) Kolkata Knight Riders සමඟ පැවැත්වුණු තරගයේ දී IPL චර්යාධර්ම කඩ කිරීමක් නිසා Rajasthan Royals ආරම්භක පිතිකරු Jos Buttler හට අදාළ තරග ගාස්තුවෙන් 10%ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

මෙම තරගයෙන් කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට රාජස්තානය විසින් සමත් වූ අතර, තරගයෙන් පසුව IPL වෙතින් නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ රාජස්තානයේ Jos Buttler තරගාවලියේ 56 වැනි තරගයේ දී IPL චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි.

මෙහි දී Buttler විසින් පළමු මට්ටමේ වරදක් සිදු කරමින් “ක්‍රීඩාව අපකීර්තියට පත් කරවන අන්දමේ හැසිරීමක්” පෙන්වූ බවයි එම නිවේදනයේ සඳහන් වී ඇත්තේ. එමෙන් ම පළමු මට්ටමේ වරදක් වෙනුවෙන් තරග තීරක විසින් ලබා දෙන තීරණය අවසන් තීරණය බවත්, Buttler විසින් ද එය පිළිගෙන ඇති බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

නමුත් මෙම වරද කුමක් ද යන්න පිළිබඳ ව කිසිදු සඳහනක් එම නිවේදනයේ සඳහන් වී නැහැ. කෙසේ වෙතත් මෙම පුවත වාර්තා කරන Hindustan Times වෙබ් අඩවිය මඟින් පවසන අන්දමට මෙය එදා තරගයේ Buttlerගේ දැවී යාම හා සම්බන්ධ විය හැකි.

මෙම තරගයේ පළමු පන්දුවාරයේ දී IPL ඉතිහාසයේ වාර්තාවක් පවා පිහිටුවමින් (IPL ඉතිහාසයේ ඉනිමක පළමු පන්දුවාරයට ලබා ගත් වැඩි ම ලකුණු = 26) විශිෂ්ට ඉනිමකට ආරම්භය ලබා ගත් Yashasvi Jaiswal විසින් ඉනිමේ දෙවන පන්දුවාරයේ දී (සිව්වැනි පන්දුවේ දී) පිතිකරණ අන්තයේ සිටි Jos Buttler හට ඉක්මන් ලකුණක් කරා දිව යාමට ආරාධනා කළා. නමුත් Buttlerගෙන් එයට එතරම් දිරිමත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. කෙසේ වෙතත් ඒ ගැන නොතැකූ Jaiswal විසින් වේගයෙන් ලකුණ කරා දිව ආ අතර අවසානයේ Buttler විසින් අනෙක් අන්තය කරා දිව ගියා.

කෙසේ වෙතත් එය දැන දැන ම සිය කඩුල්ල Jaiswal වෙනුවෙන් පූජා කිරීමක් බව ඔප්පු කරමින් Buttler සිය සීමා ඉර වෙත ළඟා වීමට ප්‍රථම Andre Russell විසින් කඩුල්ල බිඳ දැමීමට සමත් වුනා.

ඒ වහා ම Jaiswal දෙසට හැරුණු Buttler විසින් සිය හිස දෙපසට සලමින් මෙම දැවී යාම පිළිබඳ සිය කලකිරීම පෙන්වූ අතර, ක්‍රීඩාගාරය වෙත යන තෙක් ම ඔහු එම දැවී යාම පිළිබඳ කනස්සල්ලකින් පසු වූ බව පෙනී ගියා.

නමුත් Buttler විසින් සිය කඩුල්ල පූජා කිරීම වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කළ Jaiswal විසින් IPL ඉතිහාසයේ වේගවත් ම අර්ධ ශතකය ද සමඟින් ලකුණු 98ක් වාර්තා කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් Buttler හට දඩ නියම වීමට හේතුව ඔහු සිය දැවී යාමෙන් අනතුරුව දැක්වූ හැසිරීම විය හැකි බවයි Hindustan Times අනුමාන කරන්නේ.

නමුත් එය එම මොහොතේ උණුසුම නිසා සිදු වූ දෙයක් පමණක් බව සනාථ කරමින් තරගයෙන් පසුව Buttler සහ Jaiswal එකිනෙකා වැළඳ ගන්නා ආකාරය ද දකින්නට ලැබුණා.

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<