ඉසිපතන සහ සාන්ත පීතර ක්‍රීඩකයින් නැවතත් කුසලාන සටනකට

1039
Dialog School Rugby Knockouts 2023

පාසල් රග්බි පිටියේ උණුසුම වැඩි කරමින් Dialog පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ අවසන් පූර්ව වටයේ  තරග පසුගිය දා පැවැත්වුණා. 

එහි දී සාන්ත ජෝසප් විද්‍යාලය සහ සහිරා විද්‍යාලය පරාජය කරමින් මෙම වසරේ නැවත වරක් අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට සහ ඉසිපතන විද්‍යාලයට හැකි වුනා. 

ඉසිපතන විද්‍යාලය සහ සහිරා විද්‍යාලය  

දෙවැනි අර්ධයේ පෙන්නුම් කළ කැපී පෙනෙන ක්‍රීඩා විලාසයෙන් පසුව සහිරා ක්‍රීඩකයින් ලකුණු 39-10ක් ලෙස පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉසිපතන ක්‍රීඩකයින් සමත් වුනා. 

ප්‍රබල ඉසිපතන ක්‍රීඩකයින්ට තරගය ආරම්භයේ දී ම දැඩි පීඩනයක් එල්ල කළ සහිරා ක්‍රීඩක එම්. ආර්. මොහොමඩ් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර අහමද් සාද් එහි ප්‍රවර්තනය සාර්ථකව එල්ල කළා.  

එයට පිළිතුරු ලෙස ක්‍රියාත්මක වූ ඉසිපතන ක්‍රීඩක හෂේන් රන්දිමල් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූවත්, එහි ප්‍රවර්තනය සාර්ථකව අවසන් කිරීමට රිනේෂ් සිල්වාට හැකි වුනේ නැහැ.

නමුත් එයින් කෙටි වේලාවකට පසු හිමි වූ දඬුවම් පහරක් සාර්ථකව එල්ල කරමින් තරගයේ පෙරමුණ සිය කණ්ඩායමට දිනා දීමට රිනේෂ්ට හැකි වුනා. 

එම අවස්ථාවෙන් පසු නැවතත් ක්‍රියාත්මක වූ හෂේන් තවත් උත්සාහක දිනුමක් සිය කණ්ඩායමට දිනා දීමට සමත් වුනේ තරගයේ වැඩි ගෞරව සිය කණ්ඩායමට නතු කරමිනුයි 

පළමු අර්ධය අවසන් වීමට පෙර හිමි වූ දඬුවම් පහරක් සාර්ථකව එල්ල කරමින් අඩු ලකුණු පරතරයකින් සිය කණ්ඩායම දෙවැනි අර්ධයට ගෙන යාමට අහමද් සාද්ට හැකි වුනා.  

දෙවැනි අර්ධය ආරම්භයේම සිය කණ්ඩායමේ ප්‍රබලත්වය පෙන්නුම් කළ ඉසිපතන ක්‍රීඩක චමිඳු චරිත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූවත් එහි ප්‍රවර්තනය සාර්ථකව එල්ල කිරීමට රිනේෂ්ට හැකි වුනේ නැහැ.  

සහිරා ක්‍රීඩකයින් තරගයේ ජයග්‍රහණය තවත් දුරස් කරමින් ඉසිපතන ක්‍රීඩක නිසජ ජයවීර උත්සාහක දිනුමක් වාර්තා කරද්දී, එහි ප්‍රවර්තනය ඉසිපතන නායක නවීන් කණිෂ්ක සාර්ථකව එල්ල කළා.  

එම උත්සාහක දිනුම වාර්තා කර වැඩි වේලාවක් ගත වීමට පෙර ක්‍රියාත්මක වූ ඉසිපතන ක්‍රීඩක ඉරෝෂන ගමගේ තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද සාර්ථකව එල්ල කිරීමට නවීන්ට හැකි වුනා.  

තරගය අවසන් වීමට පෙර සහිරා ක්‍රීඩකයින්ට තවත් පසුබෑමක් එක් කරමින් අවිශ්ක හිරාන් ඉසිපතනය වෙනුවෙන් අවසන් උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද ඔහු විසින් සාර්ථකව එල්ල කළා.  

ThePapare.com තරගයේ වීරයා: නිසජ ජයවීර (ඉසිපතන විද්‍යාලය)  

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 39 (6T 3C 1P) – 10 (1T 1C 1P) සහිරා විද්‍යාලය 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්, 

  • ඉසිපතන: හෂේන් රන්දිමල් 2T, චමිඳු චරිත් 1T, ඉරෝෂන ගමගේ 1T, නිසජ ජයවීර 1T, අවිශ්ක හිරාන් 1T & 1C, රිනේෂ් සිල්වා 1P, නවීන් කනිෂ්ක 2C. 
  • සහිරා: එම්. ආර්, මොහොමඩ් 1T, අහමද් සාද් 1C & 1P. 

සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය  

දෙවැනි අර්ධයේ පෙන්නුම් කළ සුපිරි නැවත පැමිණීමෙන් පසුව සාන්ත ජෝසප් විද්‍යාලය පරාජය කරමින් Rev. Fr. Basil Weeratunga පලිහ ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ලීග් ශූර සාන්ත පීතර ක්‍රීඩකයින් සමත් වුනා.  

ලීග් ශූරයින් පළමු අර්ධය තුළ සිය පාලනයට ගත් සාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් නවීන් මාරසිංහ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වුනේ සිය කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ලබා දෙමිනුයි. 

එම අර්ධය තුළ හිමි වූ දඬුවම් පහරක් සාර්ථකව එල්ල කිරීමට සාන්ත ජෝසප් ක්‍රීඩක Iwano Whiteට හැකි වූ අතර එම අර්ධය තුළ කිසිදු ලකුණක් ලබා ගැනීමට සාන්ත පීතර ක්‍රීඩකයින්ට හැකි වුනේ නැහැ.  

නමුත් දෙවැනි අර්ධය තුළ සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහර දෙකක් ඉතා සාර්ථකව එල්ල කිරීමට යුමෙත් ශිහාරට හැකි වුනේ සිය කණ්ඩායම තරගයට අවතීර්ණ කරමිනුයි 

අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ අශේන් මදුගස්පේ සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් තරගයේ පළමු වරට සිය කණ්ඩායම පෙරමුණට ගෙන ආවා.  

නමුත් එයින් කෙටි වෙලාවකට පසු හිමි වූ දඬුවම් පහරක් එල්ල කිරීමේ වගකීම ගත් සාන්ත ජෝසප් ක්‍රීඩක Iwano White ඉතා සාර්ථකව එම අවස්ථාව ලබා ගනිමින් ලකුණු තත්වය සම කළා.  

තරගය අවසන් වීමට කෙටි වේලාවක් තිබිය දී ක්‍රියාත්මක වූ සාන්ත පීතර ක්‍රීඩක ප්‍රනීත් වාර්තා කළ උත්සාහක දිනුම නිසා සාන්ත ජෝසප් බලාපොරොත්තු සුන් කරමින් අවසන් මහා තරගයට පිවිසීමට සාන්ත පීතර ක්‍රීඩකයින්ට හැකි වුනා.  

ThePapare.com තරගයේ වීරයා: රනිතු රිද්මල් (සාන්ත පීතර විද්‍යාලය) 

අවසන් ලකුණු තත්වය: සාන්ත පීතර විද්‍යාලය 16 (2T 2P) – 11 (1T 2P) සාන්ත ජෝසප් විද්‍යාලය 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්, 

  • සාන්ත පීතර – අශේන් මදුගස්පේ 1T, යුමෙත් ශිහාර 2P, ප්‍රනීත් 1T. 
  • සාන්ත ජෝසප් – නවීන් මාරසිංහ 1T, Iwano White 2P’ 

ඒ අනුව 2023 Dialog පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහා තරගය සාන්ත පීතර විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවැත්වීමට නියමිත අතර මෙම වසරේ ලීග් රග්බි තරගාවලියේ ශූරයින් තීරණය කළ තරගය ක්‍රීඩා කළේ මෙම කණ්ඩායම් දෙක වීම ද විශේෂත්වයක්. 

එම තරගයේ ඇතුළු දෙස් විදෙස් රග්බි පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ. 

>>තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න<<