වසරක නිමාවට පෙර සුභවාදී බලාපොරොත්තුවක්?

1453

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුතු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලිය කටක් හිදී හෙට (20) ආරම්භ වේ. මේ ඒ පිළිබඳව  ThePapare.com කරන පෙර විමසුමයි.

සිංහ හදවතැ’ති වේග පන්දු තරුව – සුරංග ලක්මාල්

ධරම්සාලා නුවර හිමාචල් ප්‍රදේශ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ තරගයක් අහිමි කර ගැනීමට..

මුහුණට මුහුණ

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වූ එක්දින තරග තුනෙන් දෙකක් පරාජයට පත්ව මෙම තරගාවලිය සඳහා අවතීර්ණ වෙයි.

වර්ෂ 2009 සිට මේ දක්වා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අන්තර්ජාතික විස්සයි විස්ස ක්‍රිකට් තරග 11කට ක්‍රීඩා කර ඇති අතර, එයින් තරග 7ක ජය ඉන්දීය කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කර ඇත.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දැනට විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි 5ක් පවත්වා ඇති අතර, එයින් තරගාවලි 4ක ජය ඉන්දියානුවන් සතුවන විට, ශ්‍රී ලංකාව එක් තරගාවලියක් හෝ ජයග්‍රහණය කර නොමැත. තවද එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. අවසන් වරට පැවැත්වූ විස්සයි විස්ස තරග පහෙන් හතරක්ම ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වෙද්දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණි.

ප්‍රහාරත්මක ක්‍රීඩකයින්

ධනුෂ්ක ගුණතිලක

තරග තහනමකට පසුව නිමා වූ පාකිස්තානු විස්සයි – විස්ස තරගාවලියට සහභාගි වූ ධනුෂ්ක, ශ්‍රී ලංකා  විස්සයි – විස්ස කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරනු ඇත. ඔහු ඉන්දීය පන්දු යවන්නන්ට එදිරිව විස්සයි විස්ස තරග දෙකකට සහභාගි වී ඇති අතර ජාත්‍යන්තර මට්ටමේ විස්සයි විස්ස තරග 8කට සහභාගි වී ලකුණු 169ක් ලබාගෙන ඇත්තේ 119.01කට ආසන්න වේගයක් රඳවා ගෙනයි.

මහේන්ද්‍ර සිං දෝනි

ඉන්දීය කණ්ඩායම සතුව සිටින තවත් අත්දැකීම් බහුල ප්‍රබල ක්‍රීඩකයෙකු වන දෝනි, ඉතාමත් ජවසම්පන්න ප්‍රහාරවලින් ද සපිරි පිතිකරුවෙකි. ඔහු ශ්‍රී ලංකා විස්සයි විස්ස පන්දු යවන්නන්ට එදිරිව තරග 11ක් ක්‍රීඩා කර ඇත. එහි දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 109ක් ලබාගෙන ඇති දෝනි, කිසිදු ශතකයක් හෝ අර්ධ ශතකයක් ලබාගෙන නැත. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 32.50ක් වන අතර ප්‍රහාරත්මක වේගය 119.26කි.

උපුල් තරංග

නිමා වූ ඉන්දීය එක්දින තරගාවලිය තුළ දී ද දස්කම් අතරට පැමිණි වමතින් පිත්ත හසුරුවන තරංග, ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන මෙම සුවිශේෂී විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සිටින අත්දැකීම් බහුලම පිතිකරුවෙකි.

ඔහු බොහෝ දුරට ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරනු ඇති අතර ඉන්දීය පන්දු යවන්නන්ට විරුද්ධව විස්සයි – විස්ස තරග දෙකක් සඳහා ක්‍රීඩා කර ඇත. 115.10ක් වැනි හොඳ මට්ටමේ ප්‍රහාරත්මක වේගයක් සහිත තරංග, ලකුණු 13.00ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ද රඳවා ගෙන ඇත.

රෝහිත් ශර්මා  

පළමු වරට 2007 දී ඉන්දියානු විස්සයි – විස්ස කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ශර්මා, මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 68කට ක්‍රීඩා කර ඇති අතර ඒ තරග 68 තුල දී ලකුණු 1485ක් ලබාගෙන ඇත්තේ 30.30ක් වැනි සාමාන්‍යයක් රඳවා ගෙනයි. තවද විස්සයි විස්ස ශතකයක් හා අර්ධ ශතක 12ක් ලබාගෙන ඇති මොහු ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කර ඇත්තේ විස්සයි – විස්ස තරග 10ක් පමණි.

සුපිරි පන්දු යවන්නන්

තිසර පෙරේරා

දකුණතින් වේගපන්දු යවන නායක තිසර පෙරේරා පිත්තෙන් ද දස්කම් දැක්වීමට හැකි ක්‍රීඩකයෙකි. තිසර පිතිකරුවන්ට එදිරිව සුදු පන්දුවෙන් විස්සයි විස්ස තරග 8ක් ක්‍රීඩා කර ඇත. ඔහු තරග 8ක දී කඩුලු 5ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ එක් පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු 7.85ක් වැනි දළ ලකුණු ලබා දීමක් සිදු කරමිනි.

ඔහුගේ හොඳම පන්දු යැවීම ලකුණු 24කට කඩුලු 3ක් ලෙස සටහන්ව ඇති අතර එය වර්තමාන විස්සයි – විස්ස ශ්‍රේණිගත කිරීමේ කිරුළ දරා සිටින ප්‍රබල පාකිස්තානු ක්‍රීඩකයින්ට එදිරිව සිදු කර ඇත. තවද තිසර යනු දේශීය මෙන්ම විදේශීය ක්‍රිකට් තරග රැසක අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකි.

ජාස්ප්‍රිට් බුම්රා

ඉන්දීය වේගපන්දු යවන්නන්ගේ බල ඇණිය සතුව සිටින තවත් එක් ප්‍රබල තුරුම්පුවක් වන හසන් ජාස්ප්‍රිට් බුම්රා, හොඳ පන්දු සංකලනයක් සහිත ක්‍රීඩකයෙකි. ඔහු විස්සයි විස්ස ක්‍රිකට් තරග 30ක් ක්‍රීඩා කරමින් කඩුලු 40ක් දවා ගැනීමට සමත්ව ඇත. බුම්රාට එදිරිව ජාත්‍යන්තර පිතිකරුවන් එක් පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු 6.74ක් ලබා ගෙන ඇත. ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 18.40කි.

විශ්ව ප්‍රනාන්දු

වමතින් වේගපන්දු යවන 26 හැවිරිදි විශ්ව, ශ්‍රී ලංකාව වෙනුවෙන් තවමත් විස්සයි විස්ස වරම් දිනා නොගත් ක්‍රීඩකයෙකු වන නමුත් මෙවර තරගාවලිය තුල ඔහු එම සිහිනය නිසැකවම සාක්ෂාත් කර ගනු ඇත. නිමා වූ T10 තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් දක්ෂ පන්දු යැවීමක නිරත වීමට විශ්වට හැකි විය.

යුස්වේන්ද්‍ර චහාල්

අප කොයි කවුරුත් හඳුනන 27 හැවිරිදි චහාල් මෑත කාලය තුළ ඉන්දීය කණ්ඩායම විසින් සොයාගත් පා දඟපන්දු යැවීමට උපන් හැකියාවක් ඇති ක්‍රීඩකයෙකි. දකුණතින් පන්දු යවන මොහු ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 12ක දී කඩුලු 18ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ එක් පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු 7.45ක් පමණක් ලබා දෙමිනි. ශ්‍රී ලංකාවට එරෙහිව එක් විස්සයි – විස්ස තරගයකට ක්‍රීඩා කර ඇති ඔහු එහි දී කඩුලු 3ක් දවා ගැනීමට සමත් වී ඇත.

කටක් තණතීරුව පිටිය හා කාලගුණය

(Image courtesy – www.espncricinfo.com)

ප්‍රේක්ෂකයන් 45,000කට පමණ අසුන් ගැනීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර කිසිදු විස්සයි විස්ස තරගයක් මේ දක්වා පවත්වා නොමැත. මෙහි අවසන් වරට විස්සයි විස්ස තරගයක් පවත්වා ඇත්තේ 2015 වර්ෂයේ දී ය.

බින්දුමාල් විසින් චන්දිමාල් වෙතට

මා ඔබට මේ ලිපිය ලියන්නේ ඔබ විසින් ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඉතා විශිෂ්ට..

මෙම තණතීරුව ද පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද ඉතා උචිත තණතීරුවක් ලෙස හැසිරේ. පළමු විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, දෙවනුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.

කාලගුණ තත්ත්වය දෙස බැලූ විය විස්සයි – විස්ස ක්‍රිකට් තරගයකට ඉතාමත් උචිත කාලගුණයක් බලාපොරොත්තු වීමට හැකිය. ක්‍රීඩාංගණය අවට උෂ්ණත්වය 15°C – 26°C පමණ විය හැකි අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 07-11ක් වැනි අගයක් ගනු ඇත.

ඉන්දොරේ තණතීරුව පිටිය හා කාලගුණය

(Image courtesy – www.cricbuzz.com)

සිය මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයට සැරසෙන මෙම පිටියේ ප්‍රේක්ෂකයන් 30,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇත. තණතීරුව ද පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද ඉතා උචිත ලෙස හැසිරේ. දෙවන තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දුවට පහර දීම වඩාත් යෝග්‍ය වේ.

විස්සයි විස්ස ක්‍රිකට් තරගයකට ඉතාමත් උචිත කාලගුණයක් බලාපොරොත්තු වීමට හැකිය. 12°C – 25°C දක්වා වූ උෂ්ණත්වයක් ඉන්දොරේ අවට තිබිය හැක. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 9-15ක් වැනි අගයක් ගනු ඇත.

මුම්බායි තණතීරුව පිටිය හා කාලගුණය

(Image courtesy – AFP)

මෙම ක්‍රීඩා පිටියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර කිසිදු විස්සයි විස්ස තරගයක් පවත්වා නැත. මෙහි අවසන් වරට විස්සයි විස්ස තරගයක් පවත්වා ඇත්තේ 2016 වර්ෂයේ දී ය.

එසේම මෙම තණතීරුව ද පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද ඉතා උචිත ලෙස හැසිරෙන අතර ප්‍රේක්ෂකයන් 45,000කට පමණ එකවර තරග නැරඹීමට හැකිය. තෙවන විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, දෙවනුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.

කාලගුණ තත්ත්වය නිරීක්ෂණය කළ විට 22°C – 30°C පමණ උෂ්ණත්වයක් මුම්බායි අවට ප්‍රදේශය තුල තිබේ. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 9-17ක් අතර අගයක් ගනු ඇත.

වර්තමාන තත්ත්වය

ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන අතර, ඔවුන්  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි  ස්ථානයේ පසුවෙයි (දෙසැම්බර් 19 වන විට). ඔවුන් එම ශ්‍රේණිගත කිරීමේ දී ලකුණු 2965ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 119ක් හිමි කර ගෙනයි. 8 වන ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 2177ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 91ක් අතැතිවයි. එම නිසා මෙම තරගාවලියේ අවසන් ප්‍රතිඵල මත මෙම ශ්‍රේණිගත කිරීම්වල ද, යම් යම් වෙනස්කම් සිදුවීමට හැකිය.

අජන්ත මෙන්ඩිස් නැවතත් ක්‍රිකට් පිටිය හොල්ලයි

දකුණු අප්‍රිකාවේ පැවැත්වූ ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය..

අවසන් නිගමනය

මෙම තරගාවලියට  ඇතුළත් සියලු තරග රාත්‍රි තරග වන අතර දෙපිලේම බහුතරයක්ගේ ක්‍රීඩා විලාසයන් දෙපිලේම ක්‍රීඩකයින් මනාව හඳුනා ගෙන නොමැත. එසේම තරග ඉතිහාසය පිරික්සා බලන කල ඉන්දීය කණ්ඩායම පෙරමුණේ පසු වුවත්, අඩුපාඩු හා දුර්වලතා අවම මට්ටමක පවත්වාගත් කණ්ඩායම ජයග්‍රහණයේ මං පෙත් විවර කරගනු ඇත.

විස්සයි – විස්ස තරග කාලසටහන

  • පළමු තරගය – දෙසැම්බර් 20 කටක් හිදී
  • දෙවන තරගය – දෙසැම්බර් 22 ඉන්දොරේ හිදී
  • තෙවන තරගය – දෙසැම්බර් 24 – මුම්බායි හිදී

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය – තිසර පෙරේරා (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, නිරෝශන් දික්වැල්ල , දසුන් ශානක, සධීර සමරවික්‍රම, කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා , සචිත් පතිරණ, අකිල ධනංජය , දුශ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු.

ඉන්දීය විස්සයි විස්ස සංචිතය – රෝහිත් ශර්මා (නායක), මහේන්ද්‍ර සිං දෝනි, හාර්දික් පාන්ඩ්‍යා, දිනේශ් කාර්තික්, බැසිල් තම්පි, ජාස්ප්‍රිට් බුම්රා, යුස්වේන්ද්‍ර චහාල්, ශෙර්යාස් අයියර්, දීපාක් හූඩා, කුලදීප් යදෙව්, මොහොමඩ් සිරාජ්, මනීශ් පාන්ඩ්‍යා, ලෝකේශ් රාහුල්, ජාදෙව් උනද්කට්, වොශින්ටන් සුන්දර්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<