කවුරුත් නොදන්න, කාටත් නොකියන Bumrahගේ ඇත්තම තත්වය!

2198

පිට කොන්දේ ඇති වී ඇති ආබාධ තත්වයක් නිසා දිගුකලක සිට ඉන්දීය ජාතික කණ්ඩායමෙන් ඉවත් වී සිටීමට සිදුව ඇති Jasprit Bumrahගේ ආබාධ තත්වය පිළිබඳ ඉන්දීය තේරීම් කමිටුව පවා හරි හමන් ලෙස යාවත්කාලීන නොවන බව ඉන්දීය මාධ්‍ය හෙළිදරව් කරනවා.

මෙම මස මුල දී Bumrah හට නවසීලන්තයේ දී ශල්‍යකර්මයක් සිදු කර තිබෙන නමුත් ඉන්පසු ඔහුගේ ආබාධය සුව වීම පිළිබඳ දැනුවත් වන්නේ හිටපු ඉන්දීය පිතිකරුවෙකු සහ වත්මන් ඉන්දීය ක්‍රිකට් ඇකඩමියේ (NCA) ප්‍රධානී වන VVS Laxman පමණක් බව BCCI නියෝජිතයකු විසින් ඉන්දීය මාධ්‍ය වෙත වාර්තා කර තිබෙනවා.

BCCI විසින් Bumrahගේ ආබාධය පිළිබඳ සියලුම තොරතුරු ලබා ගැනීමේ වගකීම Laxman හට පවරා ඇති අතර, Laxman හැර කිසිවකුත් Bumrahගේ සැබෑ තත්වය පිළිබඳ නොදන්නා බවත්, අඩුම තරමේ ඉන්දීය තේරීම් කමිටුව පවා ඒ පිළිබඳ යාවත්කාලීන නොවන බවත් එම නියෝජිතයා විසින් පවසා තිබෙනවා.

“BCCI එකෙත් බොහෝ දෙනෙක් Bumrahගේ ආබාධය ගැන විස්තර දන්නේ නැහැ. VVS Laxmanට විතරයි ඔහු සමඟ වගේම ඔහුගේ භෞතවේදීන් සමඟත් කතා කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. තේරීම් කමිටුව පවා කියලා තියෙන්නේ Bumrahගේ ආබාධය ගැන සහ සුව වීම ගැන අදාළ කාලයේ දී දැනුම් දෙන්නම් කියලා.”

එමෙන්ම 2022 විස්සයි විස්ස ලෝක කුසලානය අත ළඟ තිබිය දී ම Bumrahව නිසි සූදානමකින් තොරව නැවත කණ්ඩායමට ගෙන ඒමට ඔවුන් ඉක්මන් වූ වැඩි බවත් එම නියෝජිතයා පිළිගෙන තිබෙනවා.

දැනට 29 හැවිරිදි වියේ පසු වන Bumrah පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව ආබාධය නිසා ක්‍රීඩාවෙන් ඈත් වී සිටින අතර ඔහුට ඒ නිසා නිමා වූ ආසියානු කුසලානය මෙන්ම විස්සයි විස්ස ලෝක කුසලානය ද මග හැරී ගියා.

එමෙන්ම මෙම වසර මුල දී ශ්‍රී ලංකාව සමඟ පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගාවලියට ඔහුව සම්බන්ධ කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියත්, පසුව BCCI විසින් එම තීරණය වෙනස් කළා.

“කලින් වතාවේ Bumrahව ගේන්න ඉක්මන් වුනා. ඔහු සම්පූර්ණ සුවය ලබා නොසිටි නිසා ඔහු ඒකෙන් අපහසුතාවට පත් වුනා. ඒ නිසා මේ වතාවේ අපි ටිකක් ගතානුගතික තීරණයක් ගත්තා. වැරදි කැඳවීමකින් ඔහුගේ ක්‍රීඩා ජීවිතයට විශාල බලපෑමක් වෙන්න පුළුවන්,” BCCI නියෝජිතයා විසින් තවදුරටත් එසේ පවසා තිබුණා.

Bumrahට අමතරව Prasidh Krishna, Mukesh Choudhary වැනි ඉන්දීය වේගපන්දු යවන්නන් ද ආබාධවලට ලක් වී සිටින අතර ඒ කිසිවකු පිළිබඳ ව හෝ කිසිදු යාවත්කාලීන වීමක් නොවන බව Times of India විසින් අවධාරණය කරන්නේ NCA හී විනිවිදභාවය පිළිබඳ දැඩි ලෙස ප්‍රශ්න කරමිනුයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Time of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<