ටෙස්ට් තරගවල ක්‍රීඩක ආදේශය ගැන Mickey Arthurගෙන් යෝජනාවක්

4484
Mickey Arthur speaks on test injury

ටෙස්ට් තරග අතරතුර ක්‍රීඩකයන්ට සිදු වන ආබාධ සඳහා ආදේශක ක්‍රීඩකයන් යොදාගැනීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමු විය යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන Mickey Arthur මහතා පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය ආරම්භ කරමින් පසුගිය 26 වැනිදා ආරම්භ වූ ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් සුබදායී වූයේ නැත. ආබාධ කීපයක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරමක පසුබෑමකට ලක්ව ඇති අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන Mickey Arthur මහතා මෙම තත්ත්වය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදයි. ශ්‍රී ලංකා මැදපෙළ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ ආබාධයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිම අසාර්ථක වූ අතර එය ලකුණු 180 කට සීමා විය.

ටෙස්ට් තරග අතරතුර ක්‍රීඩකයන් ආබාධයට ලක්වීමේ දී එම කණ්ඩායමට විශාල බලපෑමක් එල්ල වන බව Mickey Arthurගේ මතයයි.

පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය තුල ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ආබාධ කීපයක් වාර්තා වූ අතර ලහිරු කුමාර, වනිඳු හසරංග සහ දිනේෂ් චන්දිමාල් ඒ අතරින් ප්‍රධාන විය. තරගයේ ඉතිරිව ඇත්තේ ක්‍රීඩකයන් හය දෙනෙකු පමණක් බවත් Mickey Arthur සිය අදහස් දැක්වීමේ දී ප්‍රකාශ කර තිබේ.

තවත් ක්‍රිකට් පුවත්:

තුන්වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 160ක් පසුපසින් සිටියේ කඩුලු 8ක් අතැතිවය. නමුත් ආබාධ නිසා පිටියෙන් ඉවත් වූ ක්‍රීඩකයන් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ඉතිරිව තිබුණේ කඩුලු කීපයක් පමණි. කෙසේ වෙතත් ආබාධයකට ලක්ව සිටි කසුන් රාජිත සහ ලහිරු කුමාර පන්දුවට පහරදීමට පැමිණ තිබුණි.

තම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව අඩුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් Mickey Arthur පවසා සිටියේ කොරෝනා වයිරසය නිසා පනවා ඇති සෞඛ්‍ය නීති හමුවේ තරගාවලිය සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් නොලැබීම මෙලෙස ක්‍රීඩකයන් ආබාධයට ලක්වීමට ප්‍රධාන හේතුව බවයි. 

“මේ තරගයෙන් පස්සේ මම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ක්‍රිකට් කමිටුව එක්ක මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම දැක්කා ඉන්දීය ඕස්ට්‍රේලියා තරගයේදීත් ඉන්දීය ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වෙනවා. මම හිතන්නේ ක්‍රීඩකයන්ට මේ තියන විශාල තරග සංඛ්‍යාවත් එක්ක ඉදිරියේ දී තවත් කණ්ඩායම් වලින් මේ වගේ ආබාධ වාර්තා වේවි. කොරෝනා වයිරසය එක්ක නිරෝධායන නීති සහ මේ සෞඛ්‍ය නීති එක්ක ක්‍රීඩකයන්ට තරග වලට සූදානම් වෙන්න ප්‍රමාණවත් කාලයක් තිබුණේ නැහැ.” 

“අපි තවමත් වයිරසයක් එක්ක ජීවත් වෙන්නේ. තාමත් ලෝකය සාමාන්‍ය අතට පත්වෙලා නැහැ. ඒ නිසා මේ සෞඛ්‍ය නීති අපිට නොසලකා හරින්න බැහැ. ඒත් මම හිතනවා මේ වෙලාවේ අපිට ක්‍රිකට් නීති තරමක් වෙනස් කරන්න හැකියාවක් තියනවා කියලා. මම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය එක්ක මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.” 

“කණ්ඩායමේ තත්ත්වය එක්ක අපිට සම්පූර්ණ යෝග්‍යතාවකින් ඉන්න ක්‍රීඩකයන් 6ක් විතරයි ඉන්නේ. මේ තත්ත්වය එක්ක අපිට ටෙස්ට් තරගයක් අවසන් කරන්න ගොඩක් අමාරුයි. මම හිතනවා ඕනෑම කණ්ඩායමකට ඒක අසීරු දෙයක්.” 

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරය සඳහා 21 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබිණි. මෙම තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ජනවාරි 14 වැනිදා එංගලන්තය සමඟින් තරගාවලියක් සඳහා සහභාගී වීමට නියමිතය.

“අපි ක්‍රීඩකයන් 21ක් සමඟින් දකුණු අප්‍රිකාවට ආවේ. ඒක නිසා තරමක වාසියක් තියනවා. නැත්නම් Grant Flower අංක 3 විදියටත් මට අංක 4 විදිහටත් දෙවෙනි තරගයට සෙල්ලම් කරන්න වේවි” Mickey Arthur සිනාමුසු මුහුණින් පවසා තිබුණි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ජනවාරි 3 වැනිදා ජොහැන්ස්බර්ග් හිදී ආරම්භ වීමට නියමිතය. 

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<