‘හැම ක්‍රීඩකයෙක්ම වෙනස්. එක එක ක්‍රීඩකයාට වෙනස් විදියට සලකන්න ඕනේ’ Mickey Arthur

308

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු Mickey Arthur ඉතා සංවේදී චරිතයක් ලෙස ක්‍රීඩා ලොව ප්‍රචලිතයි. ICC විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර ඔහු මාධ්‍යයට පවසා තිබුණේ තමන් වෙනස් වීමට කිසිසේත්ම අපේක්ෂා නොකරන බවයි.

මම ආශාවෙන් තරග බලන්න කැමතියි, මම එහි උද්‍යෝගයට කැමතියි. මම කැමති ඉහළ පහළ යන හැඟීම්වලට.”

සමහරු කියනවා පුහුණුකරුවන්ට හැඟීම් නොපෙන්වන ගලක් වගේ මුහුණක් තියෙන්න ඕනේ කියල හා වාඩි වෙලාම ඉන්න ඕනේ කියලා. ඒක මගේ ස්වභාවය නෙවෙයි. මට එහෙම කරන්න බැහැ.”

වසර 16ක ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණුකරු ධුරය තුළ Arthur කණ්ඩායම් හතරකට සිය දායකත්වය දක්වා තිබෙනවා. ඔහු දකුණු අප්‍රිකානු දේශීය තරග පිටිය තුළ ලකුණු 10,000කට වඩා රැස් කරගෙන සිටින අතර දකුණු අප්‍රිකානු A කණ්ඩායමට ද ක්‍රීඩා කර තිබෙනවා.

Arthur ඉතා තරුණ වියේ දී ම පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු ආරම්භ කළ අයෙක්. දේශීය තරග පිටිය තුළ සාර්ථක පුහුණුකරුවෙකු වූ නිසා ඔහුට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කිරීමට අවස්ථාව හිමි වුනා.

දකුණු අප්‍රිකානු කණ්ඩායමක් සමඟ ඔහු වසර 43කට පසුව එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළා. පසුව ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ද ඕස්ට්‍රේලියාවේ දී ම පරාජය කරන්නට ඔහු සමත් වුනා. පසුව Arthur ඕස්ට්‍රේලියාවේ පළමු විදෙස් ප්‍රධාන පුහුණුකරු බවට පත් වූ අතර පාකිස්තානය සමඟ 2017 ICC ශූරයින්ගේ කුසලානය දිනන්නට ද ඔහු සමත් වුනා.

මම හිතන්නේ ඔබ පළමුවෙන් තේරුම් ගන්න ඕනේ මේ හැමදේම ක්‍රීඩකයින් ගැන කියලා. වාතාවරණය හැදෙන්න ඕනේ ක්‍රීඩකයින්ට ඒ වගේම අපි මෙතන ඉන්නේ ඒ අවශ්‍ය පරිසරය හදල දෙන්න. හැම ක්‍රීඩකයෙක්ම වෙනස්. එක එක ක්‍රීඩකයාට වෙනස් විදියට සලකන්න ඕනේ.”

හැමදේටම හරි යන අය මේ රස්සාවේ දී හමුවෙන්නේ නැහැ. හැම ක්‍රීඩකයෙකුගෙන්ම උපරිමය ගන්න නම් ඔබට සිදුවෙනවා හැම ක්‍රීඩකයෙක් එක්කම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න.”

මට අනුව වැදගත්ම දේ තමා ක්‍රීඩකයින්ගේ සංවර්ධනය. යොවුන් ක්‍රීඩකයින් කණ්ඩායමට ඇවිල්ලා ඔවුන් සංවර්ධනය වෙනවා සහ ඔවුන් ජාත්‍යන්තර තලයේ දී සාර්ථක වීම තමා වැදගත්ම දේ වෙන්නේ. ක්‍රීඩකයෙකුගේ සංවර්ධනයට පොඩි හරි උපකාරයක් වීම තම මේ ලෝකේ පුහුණුකරුවෙක්ට වැදගත්ම දේ.”

Arthur පවසා සිටින්නේ එක තරගයක් හෝ එක මොහොතකින් තරගාවලියක් ගැන තීරණය කරන්නට බැරි බවයි. “පරාජයකින් ඉගෙන ගන්න පුළුවන් දේවල් ගොඩක් තිබෙනවා. හැම වෙලාවේම දිනන කණ්ඩායමක් හා පරදින කණ්ඩායම් ඉන්නවා. කොහොමහරි ඔබ පරාජය වෙනවට වඩා දිනන්නයි ඕනේ.”

ඕස්ට්‍රේලියාව ටිකක් වෙනස්. මම වැරැද්දක් කළා මම හිතන්නේ ඕස්ට්‍රේලියාවත් දකුණු අප්‍රිකාව වගේමයි කියල හිතලා. ඒත් ඒක එහෙම වුනේ නැහැ. කොහොම වුනත් මම ඉන්දියානු උපමහද්විපයේ ක්‍රීඩාවට තිබෙන ආශාවට, උමතුවට (passion) කැමතියි. පාකිස්තානයත් එක්ක මම ගතකරපු ඒ වසර තුන හරිම පුදුම සහගතයි , විශිෂ්ටයි වගේම සංස්කෘතික වශයෙනුත් මට ගොඩක් වෙනස් වෙන්න සිදු වුනා.”

විස්සයි විස්ස ලෝක කුසලානයට එක්වන කණ්ඩායම් 16 අතරින් කණ්ඩායම් හතකම පුහුණුකරුවන් දකුණු අප්‍රිකානුවන් වීම විශේෂත්වයක්. Arthurට සිය සහෝදර දකුණු අප්‍රිකානුවන් සිටින කණ්ඩායම් දෙකක්ම A කාණ්ඩයේ පළමු වටයේ දී හමුවීමට නියමිතයි. ඒ Pierre de Bruyn පුහුණුකරු ලෙස කටයුතු කරන නැමීබියාව හා Graham Ford පුහුණුකරු ලෙස කටයුතු කරන අයර්ලන්තයයි.

Ford දෙවතාවක් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කර තිබෙනවා. ඒ 2012 සිට 2014 දක්වා හා 2016 සිට 2017 දක්වා කාල සීමාවේ දීයි. 2017 ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව පාකිස්තානය හමු වූ අතර එහි දී Arthur පුහුණුකරු ලෙස කටයුතු කළ පාකිස්තානය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළා. පසුව පාකිස්තානය ICC ශූරයින්ගේ කුසලානය ද ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

t20worldcup.com ඇසුරින්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<