විදෙස් නරඹන්නට ඔලිම්පික් දොරගුළු වැසෙයි

117

මෙම වසරේ ජූලි මාසයේ ආරම්භ වීමට නියමිත 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා විදෙස් රටවල නරඹන්නන් සහභාගි කර නොගැනීමට ජපාන රජය තීරණය කර ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ පිළිබඳව වාර්තා කරමින් Kyodo මාධ්‍ය සඳහන් කර තිබුණේ ලොව රටවල් කිහිපයක පැතිර යන විවිධ කොරෝනා වයිරස් ප්‍රභේද නිසාවෙන් පිටරටවල සිට පැමිණෙන පුද්ගලයන් කිසිදු උත්සව, ක්‍රීඩා තරගාවලි වැනි කටයුතු සඳහා සහභාගි නොකළ යුතු බව ජපාන රජය නිගමනය කර ඇති බවයි.

එමෙන්ම මේ පිළිබඳව අදහස් දක්වමින් ජපාන ඔලිම්පික් සංවිධායකයින් ප්‍රකාශ කර සිටියේ මෙවර ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය ද ප්‍රේක්ෂකයන්ට විවෘත නොකර තෝරාගත් පිරිසක් පමණක් සහභාගි කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

සමාරම්භක උත්සවය Fukushima හී ඊසානදිග ප්‍රාන්තයේ ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කළා. වසංගත තත්වය යටතේ විශාල ජනකායක් සහභාගි කර නොගැනීමට, ආරාධන කළ පුද්ගලයන් සහ පැමිණීමට අවසර හිමි වූ සීමිත පිරිසක් එම අවස්ථාවට සහභාගි වෙන්න නියමිතයි.

විදේශීය ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වය පිළිබඳව අවසන් තීරණයක් මෙම මස අවසානයේ දී රජය විසින් ගනී කියලා බලාපොරොත්තු වෙනවා යැයි ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

තවත් මලල ක්‍රීඩා පුවත්:

එමෙන්ම ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වය පිළිබඳව අදහස් දක්වමින් ටෝකියෝ ඔලිම්පික් කමිටුවේ ප්‍රධානී Seiko Hashimoto ප්‍රකාශ කර සිටියේ විදෙස් ප්‍රේක්ෂකයන් පිළිබඳ අවසන් තීරණය මෙම මස 25 වැනිදාට පෙර ගන්නා බවත්, තරගාවලියට සහභාගි වීමට අවසර හිමිවන ජපන් ප්‍රේක්ෂකයන් ගණන පිළිබඳව තීරණය අප්‍රේල් මාසය අවසානයේ ගන්නා බවයි.

පසුගිය වසරේ ජූලි මාසයේ ආරම්භ වීමට තිබූ 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ කල් දැමීමට සිදු වූ අතර තරගාවලිය මෙම වසරේ ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිත වේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<