ශ්‍රී ලංකා ජිම්නාස්ටික් වලට සකුරා දේශයෙන් තෑග්ගක්

258

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා මෙරට ජිම්නාස්ටික් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ තොගයක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත පසුගිය දා (31) පරිත්‍යාග කළේය.

කොළඹ ටොරින්ටන් කායවර්ධන මධ්‍යස්ථානයේ දී මෙසේ භාර දුන් ජිම්නාස්ටික් උපකරණ තොගය එම අවස්ථාවේ දී ම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ලේකම් ආර්. ඒ. කේ. ජීවන්ත මහතාට ප්‍රදානය කරන ලදි.

මෙසේ ප්‍රදානය කළ ජිම්නාස්ටික් උපකරණ අතර Vaulting Table, Runway for Vaulting Table, Vaulting Boards, Landing Mat, Safety Collar for Vaulting Board and a Mat for Hands අන්තර්ගත ය.

මෙරට ජිම්නාස්ටික් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ජපානයේ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජපානයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ජපාන ජිම්නාස්ටික් සංගමය මෙම ප්‍රදානය කර තිබේ.

ජිම්නාස්ටික් ක්‍රීඩාව හා බැඳී පවතින දිගුකාලීන සමීප සබඳතාවක් ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින අතර 2006 වර්ෂයේ සිට ජපාන පුහුණුකරුවන් විසින් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීම ඒ අතර කැපී පෙනෙයි.

මෙවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි ද සිල්වා ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සඳහා අවශ්‍ය වන සුදුසුකම් සපුරාලීමට සමත් වූවාය. 

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රතිපාදන යටතේ ජපානයේ ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට සමත් වූ මිල්කා ගෙහානි ටෝකියෝ නුවර දී විශේෂ පුහුණුවීම්වල නිරත වන අතර ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ඉතිහාසයේ පළමු වතාවට ඔලිම්පික් තරගාවලියක දී ජිම්නාස්ටික් ඉසව්වෙන් මාතෘ භූමිය නියෝජනය කිරීමට ඇය සූදානමින් සිටින්නීය.

ටෝකියෝ‍ ඔලිම්පික් සහ පැරාලිම්පික් තරගාවලි සඳහා දෙමසකටත් අඩු කලක් තිබිය දී මෙවැනි ක්‍රීඩා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමෙන් සංකේතවත් වනුයේ ගෝලීය අභියෝගයක් වන COVID-19 තත්ත්වය යටතේ පවා ජපානය ක්‍රීඩා ක්ෂේත්‍රය ඔස්සේ සිය මිත්‍රත්වයේ බැඳීම තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා කරනු ලබන නොනිමි කැපවීමයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<