කරාතේ සහ ටෙනිස් දියුණුවට නව ගිවිසුම්

144

ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගැනීමේ මට්ටමට මෙරට ටෙනිස් සහ කරාතේ ක්‍රීඩා දියුණු කිරීම සඳහා අදාළ සංගම් සමඟින් ගිවිසුම් අත්සන් තැබීම ඊයේ (24) සිදු කෙරුණා.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථානයේ දී ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සමඟත්, ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමය සමඟත් එම ගිවිසුම් අත්සන් තැබීම සිදු කර තිබුණා.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එම ක්‍රීඩාවන්හි එක් අවුරුදු උසස් දක්ෂතා ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මෙම ගිවිසුම්ගත වීම හා මූල්‍ය ප්‍රදානයන් ද සිදු කෙරුණා.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමය වෙනුවෙන් එහි සභාපති එච්. එම්. සිසිර කුමාර මහතාත්, ශ්‍රී ලංකා ටෙනිස් සංගමය වෙනුවෙන් එහි සභාපති බින් ඉසැක් මහතාත් අදාළ ගිවිසුම්වලට අත්සන් තැබුවා.

තවත් ක්‍රීඩා පුවත්:

එමෙන්ම එම ගිවිසුම් අත්සන් තැබීමේ දී කරාතේ ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ඔවුන්ව දිරි ගැන්වීමේ අරමුණ ඇතිව රුපියල් 20,300,000/-ක මුදලක් ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමයටත්, ටෙනිස් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට රුපියල් 19,464,000/-ක මුදලක් ශ්‍රී ලංකා ටෙනිස් සංගමයටත් මෙම ගිවිසුමට සමගාමීව ප්‍රදානය කිරීමටත් ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළා.

මෙම අවස්ථා සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමයේ සහ ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ නිලධාරි මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වී සිටියා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<