ඉන්දීය ප්‍රධාන පුහුණුකරුට කොරෝනා ආසාදනය වෙයි

262

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන Ravi Shastri හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා. ඉන්දීය කණ්ඩායම තුල සිදු කරන ලද දෛනික පරීක්ෂාවේ දී ඒ බව තහවුරු වී තිබෙනවා. මේ බව ඉන්දීය ක්‍රිකට් ආයතනය ද නිල වශයෙන් තහවුරු කරනු ලැබුවා.

Ravi Shastri හට කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමඟින් ඔහු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර පිතිකරණ පුහුණුකරු Bharat Arun, පන්දු රැකීමේ පුහුණුකරු R Sridhar සහ භෞත චිකිත්සකවරයා වන Nitin Patel ද පූර්ව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසා සිටියා. ඔවුන් මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

පුහුණුකරුවන් සියලු දෙනා අද (05) රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කෙරුණු අතර ඔවුන් ඉන්දීය එංගලන්ත ටෙස්ට් තරගය පැවැත්වෙන ඕවල් ක්‍රීඩාංගණයට පැමිණ තිබුණේ නැහැ.

“පසුගිය දා සිදු කළ පාර්ශ්වීය ප්‍රවාහ පරීක්ෂාවේ දී (Lateral flow test) ප්‍රධාන පුහුණුකරු වුන Ravi Shastri හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වුනා. ඉන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කණ්ඩායම විසින් ඔහුව ස්වයං නිරෝධායනයට යොමු කරලා තියනවා. පිතිකරණ පුහුණුකරු Bharat Arun, පන්දු රැකීමේ පුහුණුකරු R Sridhar සහ භෞත චිකිත්සකවරයා වන Nitin Patel යන අයත් ස්වයං නිරෝධායනයට ලක් කරන්න තීරණය කළා. ඒ පූර්ව සූදානමක් ලෙසින්.

ඔවුන් මේ වෙද්දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරලා තියනවා. අපගේ වෛද්‍ය කණ්ඩායම ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ලබා දෙන තුරු ඔවුන් හෝටලයේ රැඳී සිටිනවා. ඔවුන් කණ්ඩායම සමඟින් ක්‍රීඩාංගණයට යන්නේ නැහැ. ඉන්දීය කණ්ඩායමේ සෙසු නිලධාරීන් පසුගිය දා රාත්‍රියේ සහ අද උදෑසන පාර්ශ්වීය ප්‍රවාහ පරීක්ෂණ දෙකකට සහභාගී වුනා. ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයට ඔවුන් සහභාගී වුනේ ඔවුන්ගේ වාර්තා පැමිණීමෙන් අනතුරුවයි”, ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසා සිටියා.

ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර තිබූ සති 3ක විවේකය අතරතුර ඉන්දීය ක්‍රීඩක Rishabh Pant හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබුණා. ඉන්දීය කණ්ඩායම ඉන් අනතුරුව මෙලෙස දෛනික පාර්ශ්වීය ප්‍රවාහ පරීක්ෂණ සඳහා සහභාගී වනවා.

ඉන්දීය පුහුණුකරු Ravi Shastri හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්තේ පසුගිය දා ඔවුන් රැඳී සිටින හෝටලයේ පැවති උත්සවයකින් අනතුරුව බව ඉන්දීය ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා. ඔහු විසින් රචිත ග්‍රන්ථයක් එළිදැක්වීම සඳහා එම උත්සවය සංවිධානය කර තිබුණා. මේ සඳහා පිටස්තර පුද්ගලයින් ද සහභාගී වී තිබීම විශේෂත්වයක්.

“මේ වෙද්දී එංගලන්තයේ කොරෝනා සම්බන්ධ නීති එතරම් දැඩි නැහැ. ඒ Ravi Shastriගේ ග්‍රන්ථය එළිදැක්වීම සඳහා පිටස්තර පුද්ගලයින්ට සහභාගී වෙන්න අවසර ලැබිලා තිබුණා. මේ පුද්ගලයන් ඔහුගේ සමීප ආශ්‍රිතයන් විදිහට අපි හඳුනා ගෙන තියනවා. ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කරලා තියනවා”, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ප්‍රකාශකයෙකු පවසා සිටියා.

“අපි ගොඩක්ම කනගාටු වෙන්නේ Bharath Arun පිළිබඳව. වෙනත් කෙනෙකුට වයිරසය ආසාදනය වීම නිසා ඔහුට ස්වයං නිරෝධායනයට ලක් වෙන්න සිදු වුන දෙවැනි අවස්ථාව මේක. මීට කලින් ඔහු Dayanand Garani හට කොරෝනා ආසාදනය වීම නිසා ස්වයං නිරෝධායනයට ලක්වුනා”, ඔහු තවදුරටත් පවසා සිටියා.

ඉන්දීය එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ටෙස්ට් තරග 5ක් ඇතුළත් වනවා. අද තරගයේ සිව්වැනි දිනයයි. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 191ක් වාර්තා කළ අතර එංගලන්තය එයට පිළිතුරු ලෙස ලකුණු 290ක් වාර්තා කළා. ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 466ක් වාර්තා කළේ එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 368ක ඉලක්කයක් ලබා දෙමින්. 

තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ අතර දෙවැනි තරගයේ ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායමටත්, තුන්වැනි තරගයේ ජයග්‍රහණය එංගලන්ත කණ්ඩායමටත් හිමි වුනා.

Indian Express ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<