ආණ්ඩුකාර කුසලාන අවසන් සටනට යුනයිටඩ් සදර්න් සහ ලියෝ සුදුසුකම් ලබයි

ආණ්ඩුකාර කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

198

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ‘2022 ආණ්ඩුකාර කුසලාන’ (Governor’s Trophy) ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (26) ක්‍රියාත්මක වුනා.

එහි දී ලියෝ ක්‍රිකට් සමාජය ලකුණු 2කින් මැලේ ක්‍රිකට් සමාජය පරාජය කරමින් එක් අවසන් පූර්ව තරගයක් ජයගත්තා. අනෙක් අවසන් පූර්ව තරගයේ දී ගියවර අනුශූරතාවය දිනාගත් ආදි ධර්මපාල කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමින් අවසන් මහා තරගයේ සිය අසුන වෙන් කරගැනීමට යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සමත් වුනා.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මැලේ ක්‍රිකට් සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ලියෝ කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් පන්දුවාර 49කුත් පන්දු 5ක දී සියල්ලන්ම දැවී ලකුණු 214ක් රැස් කරගත්තා.

එහි දී ප්‍රිමාෂ් ඔබ්‍රිස් පන්දු 89ක් තුළ 4 පහර 3ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 57ක් රැස් කරගෙන ඔවුන්ගේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර නිශාන් ජයමාල් ලකුණු 46ක් වාර්තා කරගනිමින් දස්කම් අතරට පැමිණියා. පන්දු යැවීමේ දී දිමුත් සමරක්කොඩි කඩුලු 3ක් දවා ගත් අතර මදුෂික සඳරුවන් සහ සවිඳු උත්සර අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම දියත් කළ මැලේ ක්‍රිකට් සමාජය පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී රැස් කරගැනීමට සමත් වුනේ ලකුණු 212ක් පමණයි. මැලේ ආරම්භක පිතිකරු කලන මදුශංක පන්දු 140ක දී 4 පහර 12ක් එල්ල කරමින් ලකුණු 102ක් රැස් කරගෙන දස්කම් දැක්වූ නමුත් තියුණු සටනකට පසුව ඔහුගේ කණ්ඩායමට අවාසනාවන්ත ලෙස තරගය පරාජයට පත්වීමට සිදුවුනා.

දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අනෙක් තරගයේ කාසියේ වාසිය දිනාගත් යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය පළමුව පන්දු යැවීමට තීරණය කළා. එහි දී ආදි ධර්මපාල කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 190ක් රැස් කරගත්තා. තරිඳු අමරතුංග සහ මදුමාල් වීරසිංහ ලකුණු 40කට වඩා වැඩියෙන් වාර්තා කරගනිමින් ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්වුනා. රුසිරු රාජපක්ෂ සහ වොෂිත අමරසිංහ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය වෙනුවෙන් කඩුලු 3 බැගින් දවා ගත්තා.

ලකුණු 191ක ඉලක්කයක් හඹා ගිය යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය වෙනුවෙන් නායක තරින්ද නිර්මාල් (ලකුණු 53) සහ වොෂිත අමරසිංහ (ලකුණු 74) අර්ධ ශතක වාර්තා කරගනිමින් ඔවුන්ගේ ජය තහවුරු කළ අතර වොෂිත දැක්වූ තුන් ඉරියව් දස්කම් මෙහි දී කැපී පෙනුනා.

ලකුණු සාරංශය,

මැලේ ක්‍රිකට් සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගය

ලියෝ ක්‍රිකට් සමාජය – 214 (49.5): ප්‍රිමාෂ් ඔබ්‍රිස් 57, නිශාන් ජයමාල් 46. 

මැලේ ක්‍රිකට් සමාජය – 212/9 (50): කලන මදුශංක 102, මංගල ප්‍රදීප් 25, සුපුන් ඩිල්ශාන් 3/28, බුද්ධික ප්‍රසාද් 2/37, හංසජ විශ්වජිත් 2/46. 

ලියෝ ක්‍රිකට් සමාජයට ලකුණු 2ක තියුණු ජයක්.

ආදි ධර්මපාල සහ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය අතර තරගය

ආදි ධර්මපාල – 190/8 (50): තරිඳු අමරතුංග 49, මදුමාල් වීරසිංහ 45, රුසිරු රාජපක්ෂ 3/30, වොෂිත අමරසිංහ 3/40. 

යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය – 193/5 (42.2): වොෂිත අමරසිංහ 74, තරින්ද නිර්මාල් 53, පැතුම් මෙන්ඩිස් 20.

යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයට කඩුලු 5ක ජයක්.

ඒ අනුව මෙහි අවසන් මහා තරගය යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එම තරගය මේ මස 28 වැනිදා පැවැත්වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<