Ritzbury වෙතින් විදුදය – Ritzbury පිහිනුම් ශූරතාවලිය යළිත් සවිබල ගැන්වේ

Vidudaya Ritzbury Swimming Championship 2023

127

ශ්‍රී ලංකාවේ අංක 1 චොක්ලට් සන්නාමය වන Ritzbury, “2023 විදුදය – Ritzbury පිහිනුම් ශූරතාවලිය” සඳහා පූර්ණ අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටින බව ඊයේ (16) පැවති තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේ දී නිවේදනය කළා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශය මගින් තුන්වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මැයි 26 සහ 27 දෙදින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය පිහිනුම් සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි.

මාධ්‍ය හමුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෙනෙට් සභා ශාලාවේ දී පැවති අතර එහි දී තුන්වැනි වරටත් මෙම තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට හැකි වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බව Ritzbury පාර්ශවයේ අදහස විය.

Photos – Ritzbury – Vidudaya Inter School Swimming Championship 2023 – Press Conference

පාසල් සහ පිහිනුම් ක්‍රීඩා සමාජ 300කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000කට අධික පිරිසක් මෙම තරගාවලියට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තරගාවලිය තුල කේවල තරග ඉසව් 108ක් සහ සමූහ තරග ඉසව් 20ක් පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 10න් පහළ, 12න් පහළ, 14න් පහළ, 16න් පහළ සහ 18න් පහළ වශයෙන් කාණ්ඩ 5ක් යටතේ තරග පැවැත්වීමට නියමිත අතර එම සියලු කාණ්ඩ යටතේ ජයග්‍රාහකයින් වෙත කාන්තා සහ පිරිමි වශයෙන් කේවල ශූරතා පිරිනමනු ලැබේ. තවද එම කාණ්ඩ යටතේ බාලක සහ බාලිකා අංශවලින් පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමි කරගන්නා ජයග්‍රාහකයින් වෙත පදක්කම් ප්‍රදානය කරනු ලැබේ. බාලක සහ බාලිකා සමූහ තරග ඉසව් ජයග්‍රාහී කණ්ඩායම් ද්විත්වය වෙත තරගයේ සමස්ත ශූරතා පිරිනමනු ලැබේ. එලෙසම සියලු තරගකරුවන් හා තරගකාරිණියන් වෙත සහභාගීත්වය වෙනුවෙන් සහතික පතක් පිරිනමනු ලැබේ.

Ritzbury පුරා දශකයකට අධික කාලයක් මෙරට තරුණ පරපුරේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමට උත්සහ දරණ අතර, ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. දේශීය චොක්ලට් සන්නාම අතර ප්‍රමුඛයා වශයෙන් මෙම තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා තුන්වැනි වරටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමඟ අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් අභිමානයක්,” යැයි BCL Foods International පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිළුපුල් ද සිල්වා මහතා පැවසීය.

“ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ලැබෙන මෙවැනි සහයෝග අතිශය වැදගත්. මීට පෙරත් මේ ශූරතාවලිය සාර්ථක ලෙස පැවැත්වීම සඳහා Ritzbury වෙතින් අපට විශාල සහයෝගයත් ලැබුණා. මේ වසරේ දීත් සුපුරුදු පරිදි එම සහයෝගය ලබා දීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් Ritzbury වෙත අපගේ ස්තුතිය හිමි විය යුතුයි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා කැප වී සිටින Ritzbury වැනි දේශීය හවුල්කරුවෙකු සමඟ කටයුතු කිරීමට ලැබීම අපට මහත් සතුටක්,” ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂිකා නිශාන්ති විදානගේ මහත්මිය පැවසුවා.

පිහිනුම් ක්‍රීඩාවට අමතරව, Super 16 Junior Carnival, Ritzbury Sir John Tarbet Athletics Championship, Ritzbury Junior National Squash Championship, Ritzbury Junior Rugby Carnival සහ SLTA All Island Schools Kids Tennis Play වැනි තරගාවලි රාශියකට ද Ritzbury සිය අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබේ. රටේ තරුණ පරපුර අතර ක්‍රීඩා කුසලතා නැංවීමේ අරමුණින් Ritzbury අඛණ්ඩව මෙම මෙහෙවරට උරදෙමින් සිටි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<